Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"චීන ජාතිකයෝ එක ම ගසේ එක පැත්තක අතු
රෝස කුසුමයෙන් බර කරන්නටත්,
අනෙක් පැත්තේ අතු පෙයාර්ස්වලින් බර කරන්නටත් ඉගෙන ගත්හ.
චීනුන් ගසට කරන්නට උගත් දේ
අපිට මිනිසුන්ට කරන්නට නොහැකි ද?"

-ෆෙඞ්රික් නීෂේ (මිනිස් වගාව ගැන)

නීෂේ දාර්ශනිකයාගේ ඉහත උදෘතය අප උපුටා ගත්තේ එරික් ඉලයප්ආරච්චිගේ "කලාව සහ කතිකාව" නම් ලිපි එකතුවක් සහිත කුඩා කෘතියෙනි.

එරික් ඉලයප්ආරච්චි යනු නූතන ලාංකේය කලා, සංස්කෘතික, දෘෂ්ටිවාදී කතිකාවට නිර්මාණයන්ගෙන් සහ විචාර ප‍්‍රවේශයන්ගෙන් අනලස්ව දායකත්වය සපයමින් සිටින්නෙකි.

වාසනාවකට ඔහු සිය නිර්මාණ කාර්යය සහ විචාර කාර්යය නිවැරදිව වටහා ගෙන කටයුතු කරන්නෙකි. අවාසනාවකට ඔහුගේ නිර්මාණ කෘති සහ විචාර මැදිහත්වීම් ගැන සාකච්ඡා වෙන්නේ ඉතා අඩුවෙනි. එයට හේතුව සමහරවිට ඔහු සාකච්ඡා කරන්නාවූ විෂය ප‍්‍රදේශයන්හි සංකීර්ණතාව හෝ වෙනත් විශේෂ කරුණක් විය හැකිය. වෙසෙසින් නූතන කවිය විෂයෙහි වෙසෙස් සළකුණක් තැබූ එරික් නවකතා, කෙටිකතා, නාට්‍ය, චාරිකා කතා සහ ඔපෙරා ආදී නිර්මාණයන් ද සිය කලාත්මක මැදිහත්වීම් ගොන්නට එක් කර ගත්තේ වෙයි.

"කලාව සහ කතිකාව" නමින් යුත් විචාර කෘතිය ඔහු විසින් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ 2012 වර්ෂයේ දී ය.

මෙම කෘතිය සමකාලීන ලාංකේය මොහොත ගිල ගනිමින් සිටින, බොහෝ විට ගිලගෙන අවසන් පවා විය හැකි අතිමහත් ව්‍යසනය වන විනෝද කර්මාන්තය පිළිබඳව වන තිසීසයක් ලෙස සලකන්නට අප කැමති ය. ධනවාදයේ දෘෂ්ටිවාදය ජන විඥානයට එන්නත් කිරීමම ආත්ම කොටගත් මෙකී විනෝද සහ ප‍්‍රමෝද කර්මාන්තය ගැන අගනා දෘෂ්ටිමය ආලෝක කදම්භයක් මේ කුඩා කෘතිය විසින් එල්ල කරනු ලැබෙයි.

මූලික වශයෙන් විචාර කෘතියක් වන මෙහි පහත දැක්වෙන සංරචක කෙරහි මාතෘකානුගත විවරණ සපයා ඇත.

ස්ලම්ඩෝග් මිලියනර්- ආකාස කුසුම්- ද රීඩර්- රිවොලියුෂනරි රෝඞ් යන සිනමා කෘති, රූපවාහිනිය සංස්කෘතික ගබඩා කොල්ල කෑම, පොප් සංගීතයේ සමාජ ද්වාරය මයිකල් ජැක්සන්, සරච්චන්ද්‍ර-නීෂේ සහ කේමදාස, කේමදාස පශ්චාත් මරණ කතිකාව, ග‍්‍රීසිය සොයා යාමේ අභීත ප‍්‍රයත්නයක්- අග්මෙම්නොන්, ජීවිතය නැති සාහිත්‍ය කඩදාසි නැති ගෙයක් වගෙයි ආදී වශයෙනි. මෙහි දී එරික් සිය මැදිහත්වීම හරහා නූතන සංස්කෘතියේ අශ්ලීල ලෝලයන්, එහි දෘෂ්ටිවාදී මැදිහත්වීම්හි ස්වභාවයන් සිය විචාරයට භාජනය කරයි. ඒ අතරම මෙම කෘතියේ දී ලාංකේය සංගීතය, කේමදාසයන් ගේ මැදිහත්වීම, මයිකල් ජැක්සන් පිළිබඳ කතිකාව ආදිය කෙරෙහි වීමංසනය සඳහා කියවන්නා වෙත නව මානයන් සපයා ඇත.

කෙසේ වෙතත් අප පෙර සඳහන් කළ පරිදි විනෝද කර්මාන්තයේ මැදිහත්වීම පිළිබඳ තිසීසයක් ලෙස සලකන්නට අප කැමති වන්නේ ඇයි දැයි කිව යුතු ය. බොහෝ විට රූපවාහිනිය වැනි නූතන මාධ්‍ය උපකරණයක් කෙරෙහි විවේචන එල්ල කරන්නන් එය සිදු කරනවා අප දකින්නේ ඉතාමත් පටු සංස්කෘතික (වැවයි දාගැබයි ගමයි පන්සලයි පන්නයේ) විවේචනයන් ය. එය රූපවාහිනිය වැනි මෙවලමක දෘෂ්ටිවාදී මැදිහත්වීම සහ නව දෘෂ්ටිවාදයක මැදිහත්වීම මෙල්ල කිරීමට වන බලපෑම අතිශය සරලමතික කිරීමකි.

අවශේෂ ලිපි වලිනුත් අඩු වැඩි වශයෙන් මතු කෙරෙන්නේ වුව ද ‘රූපවාහිනිය සංස්කෘතික ගබඩා කොල්ලකෑම’ නම් ලිපිය මේ පෙර කියන ලද විනෝද කර්මාන්තයේ බලපෑම කෙරෙහි බරපතල ලෙස සවිඥානක වෙයි. රූපවාහිනිය නමැති බියකරු ප‍්‍රතිනිෂ්පාදන තර්කණය හුදෙක් ම කිසිවක් නිෂ්පාදනය නොකරන්නක් බව මෙහිදී පෙනී යන කරුණකි. ඔහු විසින් මේ ලිපිය හරහා මතු කරන "රූපවාහිනී වැඩසටහනක් දෙස බැලිය යුත්තේ ප‍්‍රතිනිෂ්පාදන තර්කනය තුළින් විනා කලාත්මක තර්කනය තුළින් නොවේ" යන වාක්‍ය අතිමහත් වැදගත් කමකින් යුතු වෙයි. අද මෙරට බොහෝ මතවාදී මැදිහත් වන්නන් එය වටහා නොගෙන තමා වෙත දමා ඇති ‘විලංගු වල කැටයම් කපමින් සිටින’ ස්වභාවයක් පෙන්නුම් කරන්නේ මේ සත්‍යය වටහා නොගනිමිනි.

"එය නොනවතින යන්ත‍්‍ර සහිත නිෂ්පාදන යන්ත‍්‍රාගාරයකි. රූපවාහිනී නිෂ්පාදන කාලය පුරා හෝ ඊට වැඩියෙන් හෝ එම යන්ත‍්‍රාගාර ක‍්‍රියාත්මක විය යුතු ය. මේ නිසා එම යන්ත‍්‍රාගාර තුළ ක‍්‍රියාත්මක විය හැක්කේ එක ම එක නිෂ්පාදන තර්කණයකට පමණි. එනම්, අඛණ්ඩ ප‍්‍රතිනිෂ්පාදන තර්කණයයි. මේ නිසා කිසියම් රූපවාහිනී වැඩසටහනක් දෙස බැලිය යුත්තේ ප‍්‍රතිනිෂ්පාදන තර්කනය තුළින් විනා කලාත්මක තර්කනය තුළින් නොවේ. කලාත්මක විය හැකි අවකාශයක් හෝ අවශ්‍යතාවක් හෝ එයට නැත. ප‍්‍රතිනිෂ්පාදන යන්ත‍්‍රාගාරයේ ධාවක පටිය හෙවත් කන්වේය බෙල්ටය ලෙස ක‍්‍රියාත්මක වන්නේ ‘බෙල්ටය’(Belt) නමින් ම හඳුන්වා දෙනු ලබන ඒකකය විනා ‘වැඩසටහන්’ නැමති ඒකකය නොවේ. මෙහි දී සමහර වැඩසටහන් කලාත්මක වන්නේ ද සමස්ත බෙල්ටයේ හෝ සමස්ත චැනලයේ ක‍්‍රියාකාරිත්වය වෙනුවෙනි. එවැනි කලා වැඩසටහන් බොහෝ කෙටි විය යුතු ය."

මේ කරුණ ඔහු තවත් ආකාරයකින් උත්ප‍්‍රාසාත්මකව පවසන ආකාරයයි මේ. කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරන යමක් එහි යාන්ත‍්‍රික බෙල්ටයක් දිගේ එන්නේ කවරාකාරයෙන් ද රූපවාහිනී බෙල්ටය දිගේ නිෂ්පාදනයන් එන්නේ ද ඒ ආකාරයෙන් ම යනුවෙනි.

මාධ්‍යය විසින් පණිවුඩය ගෙනියනවා පමණක් නොව එය දෘෂ්ටිවාදය බවට ද පත් වන අයුරු ඔහු පෙන්වා දෙයි. එහිදී ඔහු පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් නම් කිසිදු කලාත්මක නිෂ්පාදනයක් සිදු නොකරන රූපවාහිනිය පෙර යුගයන් හි ඉතිරි වුණු දෑ ඇති සංස්කෘතික ගබඩාව (පුළුල් අරුතිනි) කොල්ලකෑම නම් අපූරුවට සිදු කරන බවයි.

"සරල නිදසුනක් ගෙන හැර දක්වන්නේ නම් ජෝ අබේවික‍්‍රම හෝ ගාමිණි ෆොන්සේකා හෝ මාලනී ෆොන්සේකා හෝ මෙරට සංස්කෘතික ලේඛනාගාරය තුළ ගබඩා කර තිබෙන මුල් පිටපත් ය. එවැනි සංස්කෘතික ඔරිජිනල බිහි කරන්නට රූපවාහිනියට නොහැකි ය."

රූපවාහිනිය නමැති මජර විනෝද කර්මාන්තය විසින් කරන්නේ ඒවා කොල්ලකෑම බව ඉතා පැහැදිලි ය. ඊට හොඳම නිදසුන නම් ‘සුපර් ස්ටාර්’ නම් වැඩසටහනයි. එමගින් පැරණි සංස්කෘතික ගබඩා සොයා පාදා කොල්ල කෑව ද කිසිදු ඊනියා සුපිරි තරුවකට සංස්කෘතික ඔරිජිනලයක් වන්නට නොහැකි වීම විමසා බලනු වටී.

මේ ලිපිය හරහා මතු කෙරෙන අනෙක් වැදගත් ම කරුණ නම් මේ විනෝද කර්මාන්ත ව්‍යසනය කෙරෙහිවන සක‍්‍රීය මැදිහත්මක් ගැන කතුවරයා වෙතින් කෙරෙන ඉඟි කිරීමයි.

"මේ නිසා අද දවසේ රූපවාහිනිය සම්බන්ධයෙන් සලකා බලන විට අමාධ්‍ය සමාජයක් හෝ ප‍්‍රතිමාධ්‍ය සමාජයක් (non – media society)-(anti – media society) සඳහා වූ මහජන අරගලයකින් මෙපිට ගැලවීමක් පොදු මහජනයාට නැත. මෙම විරෝධතා සමාජය දැනටමත් පවුල් තුළ ගොඩනැගෙමින් පවතින නමුත් එය තවම ආරවුල්කාරී කුටුම්භගත උපසමාජයකට සීමා වී තිබේ. එය අමද්‍යප ව්‍යාපාරය වැනි සමාජ ව්‍යාපාරයක් විය යුතු අතර ප‍්‍රතිනිෂ්පාදන තර්කණය තේරුම්ගත හැකි ක‍්‍රීඩා හා ප‍්‍රහේලිකා ආදිය නිර්මාණත්මක ලෙස හඳුන්වා දිය යුතු ය."

මේ කෘතියේ අන්තර්ගතයෙන් අතිමහත් වැදගත්කමකින් යුතු සහ ක‍්‍රියාකාරීත්වයකට මඟ පෙන්වන ප‍්‍රමාණ වාක්‍යය මේ යැයි හඟිමි. මේ බියකරු ව්‍යසනයට එරෙහිව මහජන ක‍්‍රියාකාරිත්වයක් වෙනුවෙන් මඟ හසර සලසා ගැනීමක් කළ යුතු ය. එනම් සියලූ ප‍්‍රබුද්ධ දේශපාලන ක‍්‍රියාකාරිත්වයන් සහ කතිකාවන්, සංස්කෘතික ක‍්‍රියාධරයන්, කලාකරුවන් එක් පියස්සක් යටට කැඳවා ගැනීමයි.

සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails