Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අධ්‍යාපන අමාත්‍යංශයේ​ ​දිගුකාලීන සැලසුමක අවධානය සඳහා ය!
අනුමාතෘකාව- වෙනත්, දියුණු අධ්‍යාපන ක‍්‍රමවේද සැසඳීම සහ වඩාත් ක‍්‍රමවත් පිළිවෙල, ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමවේදය සේ සකසා ගැනීම.
ඉලක්කය- බුද්ධිමතුන් සහ නැණවතුන් බිහිකිරීම සඳහා මනා සංවර්ධිත සමාජයක, අනාගතය සැලසුම් කිරීම.

2015 වසර ආරම්භයේ දී​,​ පාසලට දරුවන් ලියාපදිංචි කිරීම සඳහා දෙමව්පියන්ට අසන්නට ලැබුණේ සුබාරංචියකි. දරුවන් පාසලට බඳවා ගැනීමේ දී​,​ චක‍්‍රලේඛ වලට පටහැනි කිසිදු මුදලක් අය නොකරන මෙන් නව අධ්‍යාපන ඇමතිවරයා​,​ විදුහල්පතීන් ඇතුළු නිළධාරීන් ට නියෝග කළේ ය. එතෙක්, කාලයක් තිස්සේ පාසලට දරුවා ඇතුළත් කරගැනීමේ මහා සටනකට මුහුණ දෙන්නට දෙමව්පියන්ට සිදුව තිබුණු බැව් රහසක් නොවේ. පාසලට ඇතුළත් කිරීමේ එම මුදල යනු පහසුකම්​ ​සහ සේවා​​ ගාස්තු වැනි කිසිවක් නොවේ. එය එක්තරා ආකාරයකට අල්ලස් ගැනීමක් බඳු ව තිබුණි යැයි ද පැවසිය හැකි ය. පාසල් සංවර්ධනය සඳහා වුව ද, එය එසේ විය යුතුව නොතිබුණු බැව් කවුරුත් දනී. දරුවා පාසලට ඇතුළු කර ගැනීමේ දැඩි අවශ්‍යතාව මත එම මුදල කෙසේ හෝ සොයා දෙන්නට​ ​මව්පියන් නොගත් උත්සාහයක් නැත. වැඩි මුදලක් ලබා දෙන්නා​,​ වැඩි ආයෝජනයක් කළා සේ කිසිදු අපහසුවකින් තොරව අදාළ පාසල වෙත දරුවා ඇතුළු කරගත් අතර, දුප්පතුන්ට ඉතිරි වූයේ තේරී අවසන් වූ, පහසුකම් තබා​,​ ප‍්‍රමාණවත් ගුරුවරු ද නැති ගමේ පාසල් දොර ය. එමෙන් ම ඇති හැකි අය නගර වලට ඇදී, නිසි අයුරින් ද, අනිසි අයුරින් ද තම දරුවා ජනප‍්‍රිය පාසලකට ඇතුළු කර ගන්නට පොර බදයි. ඒ සඳහා ලියාපදිංචි සහතික වැනි දෑ ව්‍යාජ ලෙස සකසන්නට ද, සමහරු තම දරුවා වෙනුවෙන් අදාළ පාසල ආශ‍්‍රිතව කුළී නිවෙසක පදිංචි වන්නට ද උත්සුක වෙයි.

ඇත්තෙන් ම​,​ එය තරඟයකි​. ​එම ​තරඟයෙන් දිනන්නෝ තම දරුවන් එම ජනප‍්‍රිය පාසල් වෙත ඇතුළු කර ගනිති. ක‍්‍රමවත්ව ද, අක‍්‍රමවත්ව ද සිදු වන්නේ තම දරුවාගේ අනාගතය වෙනුවෙන් දෙමව්පියන් ඕනෑම දෙයක් කරන්නට ඉදිරිපත් වීම බැව් අපට වටහා ගත හැකි ය. මට කතා කරන්නට අවශ්‍ය වන්නේ එම ක‍්‍රියාදාමය පිළිබඳ ව නොව එම ක‍්‍රියාදාමය සිදුවන්නේ ඇයි ද යන්න සහ තව දුරටත් මෙය සිදු විය යුතු ද යන්නත්, නොවේ නම්, ඒ සඳහා ඇති විසඳුම් කවරේ ද යන්නත් පමණි.

​***​****

අප ට ද ඇත්තේ, බොහෝ වෙනත් රට වල මෙන්, පළමු වසර සිට 12 වසර දක්වා දිවෙන පාසල් පද්ධතිය යි. දරුවකු​,​ අවුරුදු 14 දක්වා අනිවාර්යයෙන් පාසල් යා යුතු යැයි සඳහන් වෙයි.​ ​ එමෙන්ම එය, ප‍්‍රාථමික සහ ද්විතියික පාසල් ක‍්‍රමවේදය කි. වයස අවුරුදු පහ සපුරා ඇති දරුවකු ප‍්‍රාථමික පාසල ට බඳවා ගන්නා අතර, ද්විතියික අධ්‍යාපනයට ඇතුළත් කරනු ලබන්නේ ප‍්‍රාථමික අධ්‍යාපනය නිසි ලෙස සම්පූර්ණ කළ, අවශ්‍ය මූලික නිපුණතා ඇති දරුවන් ය. ප‍්‍රශ්නය යම් තරමකට පටන් ගැනෙන්නේ එතැනින් යැයි මට සිතේ. අප කෙසේ කීව ද, අප කෙසේ බලාපොරොත්තු වූව ද, විවිධ ගැටලු හේතුවෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය පවා සපුරා ගත නොහී අසමත් වන දරුවන් ගේ අනාගතය කෙබඳු වේ ද? අසමත් දරුවන් එකම ශ්‍රේණියක කොතරම් කලක් තබා ගත හැකිද? ඉන් පසු ඔවුන් කොතැනකට දැයි අප සිතා බැලිය යුතු වෙමු.

"බැවේරියා පාසල් ක‍්‍රමවේදය" නිදසුනක් ලෙස ගෙන හැර දක්වන්නට සිතන්නේ, එය වටහා ගැනීමට පහසු වනු පිණිස ය.

ජර්මනිය යනු ප‍්‍රාන්ත රාජ්‍යය කි. එහි ප‍්‍රාන්ත රාජ්‍යයන් හෙවත් පළාත්​,​ කොටස් 16 කි. එකී ප‍්‍රාන්තයන් හි බලය බෙදී ගොස් තම ප‍්‍රාන්තයේ සංවර්ධන කටයුතු සිදු වන අතර, ම්‍යධම රජයෙන් පාලනය වෙයි. පාසල් සංවර්ධන කටයුතු අදාළ වන්නේ ද, අදාළ ප‍්‍රාන්තයට ම බැවින් මා ගෙනහැර දක්වන්නට අදහස් කළේ බැවේරියා ප‍්‍රාන්තයේ පාසල් පද්ධතිය පිළිබඳව යි.

වයස අවුරුදු හය සම්පූර්ණ කළ සියළු දරුවන් අධ්‍යාපනය ලැබීම සඳහා සුදුසුකම් ලබන අතර, ජර්මනියේ වෙසෙන දරුවකු අනිවාර්යයෙන් වසර 9​ ​ක කාලයක් පාසල් යා යුතු වෙයි. ප‍්‍රාථමික අධ්‍යාපනය පළමු වසර 4 දක්වා ය. ඉන්පසු පාසල් පද්ධතිය බෙදීමකට ලක් වෙයි.​ ​4 වන ශ්‍රේණිය යනු දරුවකුගේ පාසල්​ ​කඩඉම් වසර යි. පාසල්, වර්ග තුනකි. ඉන්, තරමක් දස්කම් නොදක්වන දරුවන් තෙවන කොටසට ද, සාමාන්‍ය දස්කම් දක්වන දරුවන් දෙවන කාණ්ඩයට ද අයත් වෙයි. ඔබට වැටහෙන පරිදි පළමු කොටස දක්ෂම දරුවන් ය. මෙය කෙතරම් සාධාරණ ක‍්‍රමවේදයක් දැයි අපට පළමුවෙන් නැගෙන පැනය විය හැකි වුව ද, මෙම ලිපියේ ප‍්‍රධාන අරමුණ වනුයේ, දරුවන්ගේ කුසලතා මත, අතරමඟ නොනැවතී ඉදිරියට යාමේ විවිධ මාර්ග සකසා ඇති ආකරයේ සූක්ෂමතාව පැහැදිලි කරගැනීමයි.

සියලු දේ පරිද්දෙන්, දරුවන්ගේ දක්ෂතා ද, අවශ්‍යතා ද විෂම සහ විවිධ බව අප තේරුම් ගත යුතු ය. එමෙන්ම රැකියා වෙළඳපල සහ දරුවාගේ කැමැත්ත ද වැදගත් කොට සකසා ඇති එම සැලසුම් ක‍්‍රම, අනාගතයේ දරුවාට කුමන හෝ රැ​කියාවක් සඳහා යොදා ගැනීමට මඟ තනයි.

තෙවන කාණ්ඩයට සමත් දරුවන්​:

5 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා පාසල් කාලය වන අතර, ඉන් පසු විවිධ කර්මාන්ත සඳහා වන පාඨමාලා සකසා ඇත. 9 වන ශ්‍රේණි විභාගයෙන් ඉතා ඉහළින් සමත් වන දරුවන් සඳහා ඉන් ඉහළට ඉගෙන ගැනීමට අතුරුපාර ද වෙයි. (වෙනත් විභාග)​

දෙවන කාණ්ඩයට සමත් දරුවන්​:

5 වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා පාසල් කාලය යි. ඉන් පසු විවිධ අධ්‍යාපන පාඨමාලා සඳහා ඉල්ලුම් කළ හැකි ය. අවසාන වසර හි දී තමන් කැමති පාඨමාලා සඳහා කෙටිකාල පෙර පුහුණුවීම් වලට ද සම්බන්ධ වීමේ අවස්ථා උදා වේ.

​**​10 වන ශ්‍රේණිය (සාමාන්‍ය පෙළ විභාගය හා සමාන වේ​.​) ඉහළින් සමත් වන දරුවන්, පළමු කාණ්ඩයේ දරුවන් හා සමාන අධ්‍යාපනය ලැබීම ට ද ඉල්ලුම් කළ හැකි අතර, පළමු කාණ්ඩයේ දරුවන් ගේ මට්ටම තෙක් සුදුසුකම් සපුරා තිබිය යුතු වෙයි. ඒ සඳහා අතුරුපාර සකසා ඇති අතර, පළමු කාණ්ඩයේ දරුවනට වඩා වසරක​, ​දෙකක කාලයක් නැවත ඒ වෙනුවෙන් යෙදිය යුතු වෙයි. එසේ වුව ද, 5 වන ශ්‍රේණිය වන විට පළමු කාණ්ඩයට සුදුසුකම් නොපිරි දරුවන් පසුව ඇති විය හැකි අවශ්‍යතාව සහ ඇල්ම​ ​මෙන්ම දක්ෂතා මත, තම අරමුණු ඉටු කරගැනීමට ඉඩකඩ හදා දී තිබේ.

පළමු කාණ්ඩය ට සමත් දරුවන්:

5 වන ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා පාසල් කාලය වන අතර, ඉන් පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ඇතුළු වීමේ වරම හිමි වෙි.

තමන් කැමති දිශාවකට, තමන් කැමති අයුරින් තෝරා ගැනීම් කළ හැකි ය.

එය ඔබට වටහා ගැනීමට පහසු වනු පිණිස, ඉතාම සරල ආකාරය ට සැකසූ දළ රූප සටහනක් මෙලෙස ඉදිරිපත් කළ හැකිය. මෙය මීට වඩා සංකීර්ණව සහ අතුරිකිළි වඩවා පැතිර යන ශාකයක් සේ සකසා ඇති මුත් අපට ආදේශ කර ගැනීමට සහ අවබෝධ කර ගැනීමට මෙය පහසු වේ යැයි සිතමි.



ඔබට පෙනෙන ආකාරයට ඉතා කෙටි කලකදී, ඉතා ඉහළ අධ්‍යාපන අවස්ථාව ලැබෙන්නේ පළමු පාසල් කාණ්ඩයට වුව ද, මට​,​ මෙ මඟින් ඔබට කීමට අවශ්‍ය වන්නේ ​'​දෙවන සහ තෙවන​'​ කාණ්ඩ වලට අයත් දරුවන් ට ඔවුන්ගේ අනාගතය අඳුරු කර නොගෙන ඉදිරියට යා හැකි අයුරින් මෙම අධ්‍යාපන ක‍්‍රමවේදය සකසා ඇති ආකාරය පිළිබඳව ය. ​ 9/​10 ශ්‍රේණියෙන් පාසල් කාලය නිමා කරන දරුවන්, ඉන් අනතුරුව විවිධ රැකියා පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වන අතර, එම පුහුණු කාල වල දී ද විටින් විට, සේවා ස්ථාන වල ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සඳහා අනිවාර්යයෙන්ම අනුයුක්ත කෙරේ. එහි අදහස වන්නේ, බොහෝ විට දරුවා පුහුණු වීම අවසන් කරනුයේ​,​ යම් රැකියාවක් සඳහා අවශ්‍ය පුහුණුව ද, බොහෝ විට අදාළ පුහුණුව ට සමාන රැකියාවක් ද ​​හිමි කර ගෙන බව යි.

12 වන ශ්‍රේණිය යනු ශ‍්‍රී ලංකාවේ උසස් පෙළ විභාගය හා තරමකට​ ​සමාන වන මුත්, එය සාමාන්‍ය පෙළ හදාරා ඉන්පසු උසස් පෙළ ට ඇතුළු වීමක් සේ සිදු නොකරන අතර, බැවේරියා පාසල් ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක වන්නේ 10 වන ශ්‍රේණිය​ ​(සාමාන්‍ය පෙළ හා සමාන​)​ දක්වා දරුවන් දෙවන කාණ්ඩයට අයත් පාසල් පද්ධතියට අනුගත කර වීමෙනි. ඉන්පසු වෙනත් අධ්‍යාපන පාඨමාලා වෙත දරුවන් යා යුතු වෙයි.

පළමු කාණ්ඩයට අයත් දරුවන් උසස් පෙළ දක්වා යාමත්, අනතුරුව උසස් අධ්‍යාපනයට යොමු වීමත් සිදු කරයි. මේ සඳහා දරුවන්ගේ දක්ෂතාවත්, ඉහළම කැප වීමත්, තරගකාරීත්වයට මුහුණ දීමේ හැකියාවත් දරුවන් සතු වීම වැදගත් වෙයි. පළමු කාණ්ඩයේ පාසල් පද්ධතිය සකසා ඇත්තේ ඉතා ගැඹුරු සහ සීඝ‍්‍රයෙන් ඉදිරියට යෑමේ සිද්ධාන්ත මත ය. පළමු කාණ්ඩය ට අයත් දරුවන් ඉහළ පංති වලට යෑමේ දී විශේෂයෙන් ස්වාධීනව තොරතුරු සම්පාදනය කර ගනිමින්, වේගවත්ව දැනුම ලබා ගනිමින් සහ උගන්වන දේ ක්ෂණිකව අවබෝධ කර ගනිමින් ඉදිරියට යෑමේ ප‍්‍රවණතාව තිබීම ඔවුන්ට පහසුවක් වෙයි. විශේෂයෙන් මෙම ස්වාධීන ස්වභාවය අවම වීම, ක්ෂණිකව විෂයයන් අවබෝධ කරගැනීමට මැළිකමක් දැක්වීම සහ තරගකාරීත්වයට ධෛර්යයමත්ව මුහුණ දීමට නොහැකි දරුවන් ට විවිධ ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වේ. එවැනි දරුවන් එක ශ්‍රේණියක දී දෙවරක් අසමත් වුවහොත් ඊළඟ වසර​,​ දෙවන කාණ්ඩයේ පාසලකට ද, දෙවන කාණ්ඩයේ දරුවකු නම්, තෙවන කාණ්ඩයේ පාසලටකට ද යොමු කරනු ලබයි. එසේ වුව ද එම දරුවන්ගේ දක්ෂතා මත තෝරා ගත හැකි මාර්ග අපමණ සකසා තිබීම, සැබැවින් ම යහපත් සමාජයක ලක්ෂණ වෙයි.

මේ සියලු දේ සළකා බැලීමෙන් අපට ගත හැකි දේ නම්, දරුවන් අතරමඟ ඉගෙනීම හැර දමා කුමන හෝ රැකියාවක නිරත වනවා වෙනුවට, වෙනත් අධ්‍යාපන හෝ රැකියා පුහුණු පාඨමාලා හරහා​,​ වැඩුණු, පරිණත දැනුමක් ඇති පුද්ගලයින් ලෙස සමාජගත වීමේ වැදගත්කමයි.


අප ට බැරි ඇයි?

ඇත්තෙන් ම මෙය අප තව දුරටත් සිතා බැලිය යුතු කරුණකි. 10 වන ශ්‍රේණියෙන් පසු දරුවා කොතැනකට ද යන්න තව දුරටත් අවධානයට ලක් විය යුතු​ ​කරුණක් වන අතර​,​ ඒ සඳහා ක‍්‍රමවත් සැලසුමක් රජයේ මැදිහත් වීමෙන් සිදුවිය යුතු යැයි සිතමි.

බොහෝ රට වල ඉහත සඳහන් ආකාරයට තෘතීයික අධ්‍යාපන ක‍්‍රමවේදය පවත්වා ගෙන යන අතර, දැන ට,​ ​ප‍්‍රාථමික සහ ද්විතියික පාසල් ක‍්‍රමය අපට උචිත වේ යැයි සිතමි. අප සැලසුම් කළ යුත්තේ 10 වන ශ්‍රේණියෙන් පසු පාසල් ගමන අවසන් කරන දරුවන් සඳහා ක‍්‍රමවේදයකි. එය රටේ සම්පත් සහ රැකියා වෙළඳපල අනුව විද්වත් මණ්ඩලයකින් අදාළ විෂයයන් සම්බන්ධ විමර්ශනයකින් පසුව ක‍්‍රමාණුකූලව සැකසිය යුත්තකි. මේ සඳහා රජයේ විශේෂ අවධානය යොමු විය යුතු වෙයි. එමෙන් ම සාමාන්‍ය පෙළ හැදෑරීමෙන් පසු ව වෙනත් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ද, ඉන්පසු​,​ කැමති සිසුන් ට වෙනත් (අතුරු ක‍්‍රමයකට) සරසවි ප‍්‍රවේශ විභායකට මුහුණ දී සරසවියට යෑම සඳහා අවස්ථා ලබා දීම ද වැදගත් වේ යැයි සිතමි.​ සාමාන්‍ය දරුවකු උසස් පෙළ සමත්ව එකවර විශ්ව විද්‍යාල ප‍්‍රවේශය ලබා ගන්නා ආකාරයට වඩා වසරක් හෝ දෙකක් ඒ සඳහා යොමුකරන්නට සිදුවීම, ඒ සඳහා විවිධ අධ්‍යාපන පුහුණු පාඨමාලා හරහා දැනුම සහ අවශ්‍ය සුදුසුකම් වර්ධනය කර ගන්නට සිදුවීම ගැටළුවක් නොවනු ඇත.

ඒ සඳහා අපට මෙවැන්නක් යෝජනා කළ හැකි යැයි සිතමි.

​​

දැනුම පමණක් නොව, අනෙක් කරුණ වන්නේ, දරුවන් තුළ යහගුණ වර්ධනය සහ අනෙකා පිළිබඳ ගෞරවය මෙන්ම පිළිගැනීම ඇති කිරීමේ සදාචාරාත්මක ගුණාංග වර්ධනය කිරීමේ ක‍්‍රමවත් වැඩපිළිවෙල යි. රට පුරා පැතිරී ගිය වාර්ගික වෙනස්කම් අතර වෙනසක් නැති බව ඒත්තු ගැන්වීමත්, මිනිස්කම විනා, ජාති-ආගම්-භාෂා බේද කිසිවකින් මිනිස්කම නොබෙදෙන අයුරුත් කුඩා කල සිට අවබෝධ කරවීමේ ආචාර ධර්ම පද්ධතියක් පාසල මුල් කොට ආරම්භ කිරීමයි. නැතහොත් ඒවා චක‍්‍රලේඛ වලට සීමා නොකොට ක‍්‍රියාවේ යෙදවීම යි. ඒ සඳහා ගුරුවරු සහ අදළා නිලධාරීන් දැනුවත් කිරීම සහ හුරු කරවීමයි. කුමන ජාතියක වුව ද, කුමන ආගමක වුව ද, කුමන භාෂාවක් කතා කළ ද මානුෂීය හැඟීම් බෙදාහදා ගන්නට ඒ කිසිවක් බාධාවක් නොවන බව දරුවාට තේරුම් කර දීම සහ විශේෂයෙන් සියලු පාසල් සඳහා සිංහල, දමිළ සහ ඉංග‍්‍රීසි භාෂා සඳහා ගුරුවරු පත් කළ යුතු ය.

අප දන්නා පරිදි, ඉංග‍්‍රීසි සහ දමිළ භාෂා සඳහා ප‍්‍රමාණවත් ගුරුවරු නැති අතර ඒ සඳහා ඔවුන් පුහුණු කිරීමට හැකි ය. උසස් පෙළ සමත් සිසුන්, උපාධිධාරීන් මේ සඳහා යොමු කර ගැනීමෙන් ඒ ප‍්‍රශ්නය පහසුවෙන් විසඳා ගත හැකිවා පමණක් නොව රැකියා වියුක්තිය පිළිබඳ ප‍්‍රශ්නය ද​,​ තව දුරටත් විසඳා ගත හැකි ය. එපමණක් නොව, ඉංග‍්‍රීසි භාෂා ගුරුවරුන් පුහුණු කොට පහළ පංති වල දී ම ක‍්‍රමවත්ව සහ අඛණ්ඩව ඉගැන්වීම ඇරඹිය යුතුම ය. එමඟින් සියලු දරුවන් ට ලෝකය විවෘත වන ආකාරයත්​,​ එය රටක සංවර්ධනය ට ඉමහත් රුකුලක් වන බවත්​,​ අප වටහා ගත යුතු ය.

එමෙන් ම අපි දන්නා පරිදි නගරබද පාසල් වලට ප‍්‍රමාණවත් ගුරුවරු සිටිය ද, ගම්බද බොහෝ පළාත් වල​, දමිළ සහ ඉංග‍්‍රීසි පමණක් නොව ගණිතය, විද්‍යාව වැනි​ බොහෝ විෂයයනට​ ​ප‍්‍රමාණවත් ගුරුවරු නැති බව ප‍්‍රකට කරුණකි. එයට නිසි පිළියම් යෙදීම නිසි ආකාරයෙන් නොවන බව ද පැහැදිලි ව පෙනෙන්නට තිබේ. එබැවින්, නව ගුරුවරු බඳවා ගැනීම සහ ගුරු පුහුණුව ලබා දීමට කඩිනම් පියවර ගත යුතු ය. දිගුකාලීන පියවර සේ මෙය විශ‍්‍රාම ගන්නා ගුරුවරුනට ඉදිරිගාමී ව​, සහ ​අඛණ්ඩව කළ යුතු වැඩපිළිවෙල කි. නවක ගුරුවරු වාර්ෂිකව බඳවා ගැනීම, වෘත්තියේ ගරුත්වය සුරක්ෂිත කරදීම, ගුරුවරුනට අවශ්‍ය දීමනා, නේවාසික සහ අනෙකුත් පහසුකම් සැපයීම පිළිබඳව ද අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ ​​අවධානය යොමු විය යුතු ය.

අනෙක් අතට, යහපත්, නිර්මාණශීලී දරුවන් බිහි කිරීම සඳහා සාහිත්‍යය සහ කලාව ආශ‍්‍රිත විෂයයන් කෙරෙහි ද නොදෙවෙනි ස්ථානයක් පාසල් අධ්‍යාපනය තුළ අඩංගු කළ යුතු ය. උගතුන් පමණක් බිහි වීමෙන් රටකට සුගතියක් ඇති වන්නේ නැත. පැහැදිලි සහ හෘදයංගම චින්තනයක් ඇති කරවීමෙහි ලා, නැතහොත් ඊට දරුවන් හුරු පුරුදු කරවීමෙහි ලා විෂයය නිර්දේශ මඟින් යම් පෙළඹවීමක් ඇති කළ හැකි ය. කලා විෂයයන් ට නිසි පිළිගැනීමක් සමාජය තුළ ඇති කළ යුතු ය.

භාෂා ඉගැන්වීමට මුල් තැනක් දීමෙන් අනාගත පරපුරක සමාජයීය ප‍්‍රශ්න ද බොහෝ දුරට විසඳෙනු ඇති අතර​,​ පාසල් මට්ටමේ වැඩ සටහන් යටතට එකතු කළ යුතු තවත් විශේෂ කාරණාවක් වන්නේ, 10 වන ශ්‍රේණීයේ සිට දරුවන් ට පාසල් හුවමාරු වැඩසටහන් වලට යාමයි.

බටහිර රටවල මෙය ඉතා හොඳින් ක‍්‍රියාත්මක වන අතර​,​ ඉන් ඉතා සාර්ථක ප‍්‍රතිඵල ලැබෙන බව අපට පෙනෙන්නට තිබේ. පිටරට වල සිටින ශ‍්‍රී ලාංකික දරුවන් ද මේවායෙන් ලබා ගන්නා ඵල ප‍්‍රයෝජන ඉමහත් ය. ඒවා ක‍්‍රියාත්මක වන්නේ, බටහිර රටවල අධ්‍යාපන ක‍්‍රමවේද තුළ, භාෂා කිහිපයක් හැදෑරීමට දරුවාට ඇති අවස්ථාවන් මත ය. එම භාෂාව සහ අදාළ භාෂාව පරිහරණය කරනු ලබන සමාජයේ සංස්කෘතිය දැන හඳුනා ගැනීමේ වැඩපිළිවෙල වශයෙන් මෙම පාසල් හුවමාරු ක‍්‍රියාවලිය සිදු වෙයි. බොහෝ විට සති දෙකක් හෝ ඊට එහා මෙහා වන කාල පරිච්ඡේදයක් තුළ දී මෙම හුවමාරුව සිදු වෙයි.​ (මාස කිහිපයක හෝ වසරක වැනි කාලයක හුවමාරු ක‍්‍රම ද වෙයි.​) ආගන්තුක රටෙහි තෝරා ගන්නා ලද විශ්වාසනීය පවුලක වගකීම යටතේ දරුවන් එම කාලය ගත කරන අතර​,​ එම රටෙහි භාෂාව ද, ඔවුන ගේ කෑම බීම සහ සංස්කෘතිය හඳුනා ගැනීම ද සිදු කරනු ලබන ලබයි.​ ​එමෙන්ම, පාසල් කාලය තුළ දී, එම ආගන්තුක රටෙහි පාසලකට එම දරුවන් බද්ධ කොට පාසල් යාම ද සිදු කරනු ලබයි. සවස් කාලයේ​ ​දී​,​ අදාළ රටෙහි පරිසරිය සහ විශේෂිත ස්ථාන දැකබලා ගැනීම​ ​ද ගුරුවරුන් විසින් මනා කොට සැලසුම් කරයි.​ ​යුරෝපය, ඇමෙරිකාව, ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල මෙම පාසල් හුවමාරු ක‍්‍රමයෙන් සිසුන් ලබා ගන්නා අත්දැකීම් ඔවුනගේ අනාගතයට පෞද්ගලිකව ද, රැකියාවට ද අපමණ ප‍්‍රයෝජනයක්, නැතහොත් වාසි රැසක් එකතු කරයි.

අපට බැරි ඇයි?

ඉඳහිට දවසක සිසුන් අධ්‍යාපන චාරිකාවකට එකතු කරගන්නවා හැරෙන්නට එවන් වැඩපිළිවෙලක් සකස් කරගන්නට අපට බැරි ඇයි? සියලු සිංහල පාසල් හි දමිළ භාෂාව ද, දමිළ පාසල් හි සිංහල භාෂාව ද අනිවාර්යය කොට ඇති අතර එම ප‍්‍රායෝගික අත්දැකීම් දරුවන්ට ලබා දෙන්නට අපට බැරි ඇයි? පාසලේ විෂයය භාර ගුරුවරුන් විසින් තෝරා ගැනෙන වගකීම් සහිත පවුල් කිහියක එකතුවෙන් උතුරින් දකුණට ද, දකුණින් උතුරට ද මෙම අධ්‍යාපනික සහ සංස්කෘතික හුවමාරුව ආරම්භ වන්නේ නම්, රටේ අනාගතය බාර ගන්නා දරුවන් කෙතරම් පරිණත පුද්ගලයන් බවට පත්වෙනු ඇත් ද? පාසල් කාල සීමාවේ​ ​දී හුවමාරු පාසලට අනුයුක්ත කිරීම මඟින් භාෂා දැනුම වර්ධනය කරගැනීමට​ ද ​රුකුලක් වනු නොඅනුමාන ය. එමඟින් ඇතිවන්නේ ​'​එක්​ ​දරු පරපුරක්​'​ වන අතර​,​ මිනිස්කම් පිරි මිනිසුන් බිහිකිරීමේ අවසාන අභිලාෂය සඵල වීමයි.

අනෙක​,​
මේ සියලු කාරණා විමසා බැලීමේ​ ​දී​,​ පිරිපුන් මිනිසුන් ද, එ මඟින් පිරිපුන් සමාජයක් ද, ආර්ථික වශයෙන් දියුණු සමාජයක් ද අප ඉදිරියේ වෙයි.

යහපත් සමාජයක් ගොඩ නැංවීම ට නම්, වඩා හොඳ දේ දිය යුත්තේ දරුවන් ට ම ය!
ඒ, වඩා හොඳ දේ දරුවන් ට දිය යුත්තේ, වැඩිහිටියන් වන අප විසින් ම ය​.


තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails