Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංවාද තලය යළිත් වරක් මැතිවරණ දේශපාලනයේ පටු අවස්ථාවාදී ගණන් බැලීම් තුළට කොටු වී හැකිලී යමින් පවතී. ඊනියා සිවිල් සමාජ බුද්ධිමතුන් ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ පුළුල් වීමේ කාලපරිච්ඡේදයක් ලෙස දකින මැතිවරණ ආශ්‍රිත කාල වකවානුව සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදී බහුජන ක්‍රියාකාරීත්වයේ පහත බැසීමේ යුගයකි. එපමණක් නොව මැතිවරණ ආශ්‍රිත ජනප්‍රිය විවාදයන් විසින් ප්‍රජාතාන්ත්‍රික සමාජ ක්‍රියාකාරීත්වයන් පිළිබඳ මිථ්‍යාමතික හා මායාත්මක දෘෂ්ටිවාදී චිත්‍රයක් ද නිමවනු ලබයි. මේ කෙටි ලිපියේ අරමුණ වත්මනෙහි මැතිවරණ දේශපාලනයේ සරලමතිකත්වය තුළ වියැකී යමින් පවතින බහුජන ප්‍රජාතාන්ත්‍රික අරගලයන්ගේ 'වියහැකි භාවය' හා ආවශ්‍යකත්වය යළි අවධාරණය කිරීමයි. එනයින් ලාංකේය රැඩිකල් බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක උපායමාර්ගික දිශානතීන් පිළිබඳ සාකච්ඡාවකට යම් මුල පිරීමක් කිරීමයි.

පළමුව, වත්මනෙහි ප්‍රචලිත දේශපාලන මිථ්‍යාවන් බිඳ හෙලීම මගින් මෙම සාකච්ඡාවට මුල පිරීමට මම කැමැත්තෙමි. එම මිථ්‍යාව නම් රාජපක්ෂ හෙජමොනියට (හෙජමොනිය යන්නෙන් මා අදහස් කරන්නේ බලහත්කාරයේ රැකවරණය ලැබූ අවනතභාවයක් මගින් කෙරෙන පාලනය යි) එරෙහි ප්‍රජාතාන්ත්‍රික විපාක්ෂික දේශපාලනය ආරම්භ වූයේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම ඉලක්ක කරගත් සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය තුළින්ය යන්නයි. 'සමාජ සාධාරණත්වයක් උදෙසා ජාතික ව්‍යාපරය' මෙහි පුරෝගාමී කාර්යයක් ඉටු කළ බව පැවසේ. නමුත් කාරණය නම් රාජපක්ෂ හෙජමොනිය අභියෝගයට ලක් කළ විපාක්ෂික ව්‍යාපාරය සැබවින්ම පැන නැගුනේ සිවිල් සමාජය (එහි පටු අරුතින්) හෝ දේශපාලන සමාජය කෙරෙන් නොවේ.

ඊට වෙනස්ව පොදු ජන හෝ ප්‍රජාමය තලයකින්ය. රාජපක්ෂ පාලනය යම් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ කාරණයකදී දණ ගැස්ස වූ ප්‍රථම කැපී පෙනෙන අරගලය වූයේ 2011 වසරේ කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයන් විසින් පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් යෝජනාවලියට එරෙහිව කළ අරගලය යි. එම අරගලය තුළ යම් වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයක් තිබුණ ද කම්කරුවන්ගේ ස්වේච්ඡාමය නැගී සිටීම අරගලයේ ප්‍රධාන ගාමක බලවේගය විය. එම වසරේම ඇරඹි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දිගු කාලීන වෘත්තීය අරගලය සිවිල් සමාජය තුළින් පැන නැගුන ද (කටුනායක කම්කරු සටන සේම) පක්ෂ දේශපාලනයෙන් ස්වායත්තව වර්ධනය වූවකි. 2012 වසරේ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව හලාවත ධීවරයන් විසින් කළ අරගලය, එකක් පසුපස එකක් ලෙස රළ නගමින් පැවත එන අඛණ්ඩ ශිෂ්‍ය අරගලය හා රතුපස්වල ජනතා උද්ඝෝෂණය පශ්චාත්- යුද කාලීන ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික බහුජන ක්‍රියාකාරීත්යේ තලය රැඩිකල් ලෙස ප්‍රසාරණය කරන්නට දායක විය. ඉහත කී සියලුම අරගල වැඩි වශයෙන්ම ආර්ථීක ඉල්ලීම් පදනම් කරගත් ඒවා වූ අතර යම් දුරකට ආණ්ඩුකරණය ආශ්‍රිත ගැටළු හා සම්බන්ධ වූ ඒවාද විය.

ඉහත කී අරගල සියල්ලම පාහේ ඉතාම පැහැදිලිව සමාජයේ දේශපාලන- ආර්ථීක තලයෙහි වූ ප්‍රතිවිරෝධතා තුළින් පැන නැගුනු ඒවා විය. නමුත් සමාජයික හෝ ප්‍රජාමය තලයක් තුළින් ඉස්මතු වෙමින් ආ මෙම විරෝධතා වලට දේශපාලනික හැඩ තලයක් ලබා දීමට විපක්ෂ බලවේග අසමත් විය. උතුරු පළාත් සභා මැතිවරණයට සමගාමීව පැවති වයඹ හා මධ්‍යම පළාත් මැතිවරණ වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ අතිමහත් බහුතර බලය එයට සාක්ෂි දරයි. දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණ වන විට ජනතා විරෝධතා නිල ප්‍රධාන විපක්ෂයෙන් පිටත (එනම් ජ.වි.පෙ. හා ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂය තුළින්) ප්‍රකාශ වීමේ මාර්ග සෙවූ බව පෙනී යයි. බස්නාහිර පළාත තුළ ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂය 7.97%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා විට ජනතා විමුක්ති පෙරමුණ 6.11% ක් ලබා ගත්තේය. දකුණු පළාත තුළ ජ.වි.පෙ. 9.05% ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 6.27% ක් ද ලබා ගති. ජනතා විරෝධය එ.ජා.ප.ය තුළින් නියෝජනය වීමට කිසියම් හෝ ප්‍රවණතාවක් ඇති වූයේ 2014 අග භාගයේදී එනම් ඌව පළාත් සභා මැතිවරණය ආශ්‍රිත කාල වකවානුවේදීය. එසේ වතුදු ආර්ථීකමය හා ආණ්ඩුකරණමය ආශ්‍රිත ගැටළු කෙරෙන් ඉස්මතු වූ ප්‍රතිවිරෝධතා දේශපාලනිකව සංවිධානය කරන්නට දැරුණු ප්‍රයත්නය ඉතා අල්පය.

මෙකී සන්දර්භය තුළ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපරය ඇතුළු සිවිල් සමාජ කණ්ඩායම් විසින් ඉටු කළ කාර්යභාරය කුමක්ද? ඉතාම පැහැදලිව ආර්ථීකය දේශපාලනීකරණය කිරීම නොවේ; විසිරුණු බහුජන විරෝධතා පුළුල් පෙරමුණකට ගෙන ඒමට හැකි සංවිධානාත්මක මැදිහත්වීමක් කිරීම ද නොවේ; රාජපක්ෂ හෙජමොනිය විකල්ප ප්‍රතිපත්තිමය පදනමක් තුළ අභියෝගයට ලක් කිරීම ද නොවේ. මේ සියල්ලට වෙනස්ව විසිරුණු විපාක්ෂික නායකත්වයන්ට ආර්ථීක හා දේශපාලන ප්‍රතිපත්තිමය වෙනස්කම් නොසලකා හැර එකට එක්විය හැකි ආකාරයේ වියුක්ත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ විවාදයක් සහ සංවාදයක් ගොඩ නැගීමට එම ව්‍යාපාර දායක විය. වත්මනෙහි සියලු ආකාරයේ විපක්ෂ නායකත්වයන් එක් මැතිවරණ ක්‍රියාවලියක් තුළ (ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින්) ඒකාබද්ධ වී ඇත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වියුක්ත (බහුජන ක්‍රියාකාරීත්වයේ තලයෙන් වියුක්තව) එකී ව්‍යාපාරය ඔස්සේය.

නමුත් මෙහිදී ඉතාම පැහැදිලිව අවධාරණය කළ යුතු කරුණක් නම් අද යථාර්ථයක් වී පවතින්නේ සෝභිත හිමිගේ නායකත්වයෙන් ඇරඹි පොදු අපේක්ෂක ව්‍යාපාරයේ අභිලාශයන් නොවන බවයි. එකී පොදු අපේක්ෂක ව්‍යාපාරය පදනම් වූයේ 'නිර්- පාක්ෂික තනි- ගැටළුවක් කේන්ද්‍ර කොටගත් අපේක්ෂකයෙකු' (Non- Party Single-issue Candidate) පිළිබඳ යෝජනාව මතය. එහි මූලික ඉලක්කයන් වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම (වෙනස් කිරීම නොවේ) , පවත්නා නියෝජන ක්‍රමය වෙනස් කිරීම හා 17 වන ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාවට නැංවීම යනාදිය යි. හරයෙන් ගත් කළ මෙකී ආරම්භක පොදු අපේක්ෂක ව්‍යාපාරය අසාර්ථකත්වයට පත් වූ අතර දේශපාලන සමාජයේ නායකත්වය තුළින් නව පොදු අපේක්ෂක ව්‍යාපාරයක් ප්‍රභවය ලැබීය. මෛත්‍රීපාල සිරිසේනගේ පොදු අපේක්ෂකත්වය සාර්ථකත්වයට පත් වන්නේ මෙසේ පොදු අපේක්ෂක ව්‍යාපාරයේ නායකත්ව භූමිකාව (ප්‍රායෝගිකව) සිවිල් සමාජයෙන් දේශපාලන සමාජයට මාරු වීමත් සමගය. ජාතික හෙළ උරුමය, චන්ද්‍රිකා කුමාරතුංග සහ ඇය සමග උපායික කේවල් කිරීම් මාලාවක යෙදුනු එ. ජා. ප. නායකයින් කිහිප දෙනා මෛත්‍රීපාලගේ පොදු අපේක්ෂක ව්‍යාපෘතියේ කාර්තෘකයන්ය. දැන් තවදුරටත් මෙකී ව්‍යාපෘතියේ හැඩ රටාව හෝ දිශානතිය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කිරීමට සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සමාජ කණ්ඩායම් වලට නොහැකිය.

දැන් යථාර්ථයක්ව පවත්නා පොදු අපේක්ෂකත්ව ව්‍යාපෘතිය නිර්-පාක්ෂික එකක් නොවන අතර කිසිසේත්ම තනි-ගැටළුවක් මුල් කොටගත් එකක් ද නොවේ. මෛත්‍රීගේ මැතිවරණ ප්‍රකාශනය සමස්ත ජනාධිපති ධූර කාලයක් තුළ පමණක් සම්පූර්ණ කළ හැකි ආකාරයේ සුපුරුදු පොරොන්දු ගණනාවක් මගින් පුරවනු ලැබ ඇත. එහි සිංහල පිටපත තුළ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවට සඳහන්ව ඇත්තේ "අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා ව්‍යවස්ථාදායකයට වග කියන විධායකයක් ස්ථාපිත කරන" බවය. ජනවාර්ගික ගැටළුව විසඳීමේ දේශපාලන විසඳුමක් සඳහා වන ප්‍රයෝජනවත් ප්‍රවේශයකට ද ඒ තුළ ඉඩක් නොමැත (LLRC යේජනා ක්‍රියාත්මක කිරීමේ කාරණය හැරුණු කොට). ප්‍රජාතාන්ත්‍රික සමාජ පරිවර්තනයක් සඳහා උනන්දු වන බුද්ධිමතුන්/ක්‍රියාකාරීන් මේ මොහොතේදී විපාක්ෂික ව්‍යාපාරය දිශානත වෙමින් පවතින්නේ කවර දිශානතියකටදැයි විවෘතව විමසා බැලිය යුතු නොවේද? නොඑසේනම් මා මිත්‍ර උදන් ප්‍රනාන්දු පවසන ආකාරයේ "කඩේ නොගොස් නඩේ යන" ක්‍රමයක් (එහි අලංකාරෝක්තිමය අරුත ඉක්මවා යන උපායමාර්ගික අරුතින්) ප්‍රායෝගිකව යෝජනා කළ හැකිද?

මේ තීරණාත්මක මොහොතේදී ප්‍රජාතාන්ත්‍රික අරගලය පිළිබඳ විකල්ප උපාය මාර්ගික සිතීමක අවශ්‍යතාව මා අවධාරණය කරන්නේ ඉහත තතු යටතේය. අප දැන් වෙසෙන්නේ අපගේ පශ්චාත්- යටත් විජිත ඉතිහාසය තුළ පෙර අත් නොවිඳි තත්ත්වයක් තුළය. එනම් රාජ්‍ය උපකරණයන් ප්‍රාග්ධන සමුච්චනයේ ප්‍රධාන මාධ්‍යයන් බවට පත් කරගත් නව පන්ති ආධිපත්‍යයක් (එහි අලංකාරෝක්තිමය අරුතින් රාජ- වංශ ව්‍යාපෘතියක්) තුළය. රාජ්‍ය බලයේ අහිමිවීමක් තුළ මෙකී රාජ වංශයට යා හැකි අතක් නැත. අන්තෝනියෝ ග්‍රාම්ස්චි පැවසූ සරල සත්‍යය නම් යම් හෙජමොනික සැකසුමක සුජාතභාවය අර්බුදයට පත්වන තත්ත්වයක් තුළ මර්දනකාරීත්වයේ නිරුවත් ප්‍රකාශ වීමක් අපේක්ෂා කළ යුතු බවය. එහෙයින් සාමකාමී බල මාරුවක් පිළිබඳ ඊනියා ලිබරල් සිවිල් සමාජ කතා පිටපත පිළි ගැනීමට මා මැළි වෙමි. මන්දයත් සංයුක්ත තත්ත්වය පිළිබඳ සංයුක්ත විශ්ලේෂණයක් සඳහා නම් අප ජනප්‍රිය මැතිවරණ දේශපාලනයේ පෙළ ගැසීම් වලින් ඔබ්බට ගොස් දේශපාලන- ආර්ථීක තලයෙහි හා මිලිටරි- දේශපාලනික තලයෙහි සම්බන්ධතාවල ස්වරූපය දෙස බැලිය යුතුය. බොහෝ විට ජනවාරි 08 වැනිදායින් පසුව ලාංකේය ප්‍රජාතාන්ත්‍රික අරගලයේ නව අදියරක් ආරම්භ වනු ඇත. එකී නව අදියරේදී එක් අතකින් ආර්ථීක ගැටළු යළි දේශපාලනීකරණය කිරීමක් කෙරෙහිත් අනික් අතින් 'දකුණේ ප්‍රජාතන්ත්‍රවාදයේ' සීමාවන් ඉක්මවා යාම කෙරෙහිත් බරපතල අවධානය යොමු කළ යුතු යැයි මම සිතමි.

සුමිත් චාමින්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails