Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලාංකීය ඉංග්‍රීසි වේදිකාවේ වර්ෂ 2002දී ජෙරොම් එල් ද සිල්වා නිෂ්පාදනය කොට වේදිකාගත කෙරූ 'Phantom of the opera' නාට්‍යයේ නව නිෂ්පාදනයක් 2014 දී නැවත දැකබලා ගැනීමේ අවස්ථාවක් ලාංකීය ප්‍රේක්ෂකයින්ට මෑතකදී උදාවිය. දර්ශනවාර 15කට ආසන්න ප්‍රමාණයක් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ රඟදැක්වූ මෙම නාට්‍ය ප්‍රංශ ජාතික Gaston Lerouxගේ 'Le fantome de opera' නම් නවකතාව ඇසුරෙන් Richard Stilgoe සහ Andrew Stilgoe වේදිකාවට රචනා කරන ලද්දකි. තම ජිවිතකාලය තුල සාර්ථක නොවූ නවකතා හැට ගණනක් ලියූ Leroux 1868දී ඉපිද තම 'පැන්තම්' නවකතාවේ චිත්‍රපටය නරඹා 1927 දී වියෝ වී ප්‍රංශ කලාවෙන් සමුගත්තෙකි.

1750න් පසු බටහිර ඇතිවෙමින් වර්ධනය වූ රෝමාන්තික (Romantic) හා අභූත (Mystery) කථා ව්‍යාපාරයේ ගොතික් (Gothic) නවකතාකරුවෙකු ගණයේලා සැලකිය හැකි Leroux මෙහි, කථා නායකයා අද්භූත සත්වයෙකුගේ ස්වරූපයක් ගන්වයි. නමුත් කථා නායකයා හෙවත් 'පැන්තම් හෝ එරික්' (Phantam or Erik) යන චරිතය කතාවෙහි අගතැන්පත් කරන්නේ පිළිගත හැකි ජීවයක් ඇති චරිතයක් ලෙසය. විටක ගුප්ත යක්ෂාත්මයක් ද විටක මනුෂ්‍යවේශයක් ද ඔහුට හිමිය. ඔහු ඔපෙරා ශාලාවකට අරක්ගත් අවතාරයකි. කතාව ආරම්භවන්නේ එම 'ප්‍රංශ ඔපෙරා ශාලාව' විකුණා දැමීමට සැරසෙන වර්තමාන අවස්ථාවෙනි. ඉන්පසු ශාලාව විකිණීමට හේතු වූ අතීත කතාව ගෙනහැර පායි.

මෙම අතීත කතාව තුල තේමාවේ මුඛ්‍යහරය දිග හැරේ. හොඳ සහ නරක හෙවත් යක්ෂයා හා දේවදූතිය අතර එක්වීමක්, ගැටුමක් විහිදා කියවෙන අතරම සෞන්දර්යාත්මක එළැඹුමක පිහිටා ඔපෙරා ශාලාව තුල සිදුවන සිදුවීම් අතරින් කථාවට අවශ්‍ය නාටකමය සිදුවීම් (dramatic situations) පමණක් තෝරාගැනීමට රචකයා සමත් වෙයි. රංග ශාලාව සාමාන්‍ය ප්‍රේක්ෂකයා නිතර පැමිණෙන වෙළඳපොලක් (marketing art) ලෙස බාල වර්ගයේ කථා වස්තු රැගත් කොමඩි ඔපෙරා පෙන්වන්නකි. ඒ අතර මැදිවියේ ප්‍රධාන ගායිකාව වූ ‘ලා කොලරීටා’ වෙනුවට අහම්බෙන් සොයාගන්නා තරුණ රූමත් නර්තන කෙල්ලක වූ ‘ක්‍රිස්ටීන්’ ප්‍රධාන ගායිකාව ලෙස තෝරාගැනෙයි. ඇයගේ පැමිණීමත් සමඟ පැන්තම් නැවත පණගැසී නැගිටියි. ඒ මොහොත දී නැවත කතාව එක්වරක් අතීතයට ගමන් කරයි. ඒ පැන්තම් සත්‍යලෙසම මියගිය අවදියයි. ඔහුව මරාදැමීමට ‘සාහා’ හා ‘සුල්තාන්’ (Shah & Sultan) යන නම්වලින් හඳුන්වන රජවරු දෙදෙනෙකු උත්සහකොට ඇත. නමුත් ක්‍රිස්ටීන්ගේ පැමිණීමත් සමඟ පැන්තම්ගේ විද්වත් සංගීත ඇල්ම හා දැනුම නැවත ඔහුගේම ඔපෙරාවට එක්වී නැගී සිටියි.

පැන්තම් තම ජිවනකාලය තුලදී අසාධාරණයට ලක්වූ දක්ෂ ඔපෙරා ශිල්පියෙකි. ඔහු සංගීතය වෙනුවෙන් මිය ගොස් තවදුරටත් එහිම ජීවත් වන්නෙකි. සංගීතය වෙනුවෙන් ඔහු ජීවිත උදුරා ගනියි. ඔහු ක්‍රිස්ටීන්ට ආදරය කරයි. ඇයව තම ගුප්ත මාලිගාවට ගෙනගොස් මනාලිය කරගනිමින් සංගීතයේ උපරිම සුව සොයා යන්නට ‘පැන්තම්’ වෙහෙසයි. ක්‍රිස්ටීන්ට කුඩාකාලයේ පටන් සමීපතයෙකු වූ 'රාවුල්' (Raoul) නම් පෙම්වතෙක් ඇත. ගැටුම හටගන්නේ එලෙසිනි. තම ආශාවන් හා තමන්ට අවශ්‍ය ආකාරයට ඔපෙරා දර්ශනගත නොකරන්නේ නම් ඔපෙරා ශාලාව විනාශ කරන බව පැන්තම් පවසයි. ඒ නිසා ක්‍රිස්ටීන් ඔහුගේ සිතැඟි හා එකඟ වෙයි. මායාකාරීලෝකයට රැවටෙන ක්‍රිස්ටීන්ව පැන්තම් වශීකොට ගනියි. රෝමාන්තික කථා වස්තුවක මෙන් සුදන ගතිපැවතුම් ඇති පෙම්වතිය, පෙම්වතා හා පාපකාරීව ක්‍රියාකරන දුෂ්ටයා යන චරිතත් ප්‍රේක්ෂකයා රදවා තබාගන්නා හුදු හාස්‍ය සඳහා වුවත් විශ්වාසී ලෙස ගොඩනගන කලු-සුදු චරිතත් මෙහි දක්නා ලැබේ. නමුත් දුෂ්ටයාගේ ක්‍රියාකලාපය කලාවට හිතැති සාමාන්‍ය මිනිසෙකුගේ පෘතග්ජන ආශාවක් බවත් ඒ අනුව ක්‍රියාකිරීම යුක්තිසහගත බවත් පසක්කර දෙන්නේ කතාව අවසානයේ දීය. කතාන්දරය (story) හොදින් පිරික්සන්නෙකුට, ජිවිතයේ අප සියල්ලන්ම හොඳ නරක දෙක මිශ්‍රිත වු සත්වයන් බව දෙසන ආගමික සුඛවාදී තැනකට කතාව අවසානයෙ දී පැමිණිබව දැනෙයි.

එය එවක ඇතිවෙමින් තිබූ මිනිසා දුකින් මුදවා ගැනීමේ සුචරිත ව්‍යාපාරයේ අරමුණක් තකා රචනා කරන ලද්දක් වුවත් Loreuxගේ මරණින් පසු ඉතා ජනප්‍රිය, කාව්‍යාත්මකබව රැදී ඔපෙරාවකට සුදුසු කතන්දරයක් (fine story for an opera) ලෙස ලෝකයේ විවිධ නාට්‍ය සමාගම් මගින් (බලන්න- The man who created Phantom/ Newyork edition) බොහෝ වරක් නිෂ්පාදනය කොට ඇත. ලයන් කිං, වෙස්ට් සයිඩ් ස්ටෝරි, ජීසස් ක්‍රියි සුපර්ස්ටා, එවීටා, ලේ මිසරාබ්, කැට්ස්, ඔලිවර්, බ්ලඩ් බ්‍රදර් යන දැවැන්ත ඉංග්‍රීසිනාට්‍ය මෙන්ම ආයෙත් එන්නේ නෑ, වෙළෙන්දාගේ මරණය, මැක්බත් යන පරිවර්තිත සිංහලනාට්‍ය ලාංකීය වේදිකාවට තිලිණ කල ජෙරොම් එල් ද සිල්වාගේ මෙවර ප්‍රයත්නය කොයිබටද?

මෙය එවක ප්‍රංශ සමාජයටත් මෙකල ධනවත් පැලැන්තියටත් උචිත ජීවනමාර්ග කියා දෙන්නක් මිස වර්තමාන ලාංකීය සාමාන්‍ය ජන සමාජය විවරණයට උචිත වුවක් නොවේ. විශාල මුදලක් වැය කරමින් ජෙරෝම් නටන්නේ පිස්සුවක් බව සිංහල නාට්‍යකරුවකු ලෙස යමෙකු බැන වදින්නට පුළුවන. "සම්පුර්ණයෙන්ම බටහිර පැන්තම් නිෂ්පාදනවල කොපියක් අපි ජෙරොම්ගේ වේදිකාවේ දැක්කනේ?" ආදී වාග් සඳහනක් තැනතැන දොඩවන්න තවත් අයෙකුට පුළුවන.


Phantom of the opera- ජෙරොම් එල් ද සිල්වා නිෂ්පාදනයෙන්
Image- SundayTimes


"හෙන්රික් ඉබ්සන්ගේ සුප්‍රකට ජනහතුරා (An Enemy of the People) නම් නාට්‍යයේ ආතර් මිලර් නිෂ්පාදනය හඳුන්වන්නේ ‘ඇන් එනමි ඔෆ් ද පීපල්’ නාටකයේ ‘ආතර්මිලර්ගේ අනුවර්තනය’ ලෙසටය. මේ මූලබීජයම සත්‍යජිත් රායි තම ‘ජණ ශත්රු’ චිත්‍රපටයට අනුවර්තනය කරයි. Boxoffice වාර්තා තැබූ Jaws චිත්‍රපටය ද මේ ආශ්‍රයෙන් තැනුනකි."
(-නිර්මාණ කොල්ලය සහ කලා විකෘතිය?- ධනංජය කරුණාරත්න- otherside බ්ලොග් අඩවියේ පළ වූ ලිපිය)

මා මෙය උපුටන්නේ ජෙරෝම්ගේ පැන්තම්ට එල්ල කළහැකි උච්ච්ච්තම වාග්ප්‍රහාරය මෙයවිය හැකිනිසා. නමුත් ජෙරොම් නොමැති නම් ලාංකීය වේදිකාවේ පැන්තම් කෙනෙක් දකින්නට තවමත් අපට නොහැකි විය හැක්කේය. නිර්මාණකරනය ගැන ප්‍රබල මතයක් ගෙන ඒමට අදාල වපසරිය දැනසිටිය යුතුය. නමුත් අභාග්‍යකට මෙන් දර්ශනවාර පහලොවක් රඟදැක්වූ නාට්‍ය නැරඹීමට සිංහල වේදිකාවේ හෝ කලා යාන්ත්‍රණයේ අයවලුන් පැමිණියේ ඉතා අතලොස්සකි. ජෙරොම්ගේ වියදම් අධික වැඩ සහ ජනප්‍රියතලයේ ප්‍රචාරණය නාට්‍යකරුවන් අතර ලොකු කතාබහක් ඇති කරන්නක් වුවද ඒ පිළිබඳ තමන් අවධානය යොමු නොකරන්නේ මන්දැයි කලාකරුවන් තම ඇතුලාන්තයෙන්ම විමසා බැලීය යුත්තකි. එවිටය ජෙරොම් ලාංකීය වේදිකාවට යම් නිශේධනීය යමක් කරන්නේ නම් බැන වැදීමට හෝ පිළිවන් වන්නේ. නමුත් අනුකරාත්මක ස්වරූපයෙන් වුවත් ජෙරොම් කරන්නේ ‘සිංහල වේදිකාව’ තවමත් ළඟාවෙමින් පවතින, තව අවුරුදු දහයකින් පමණ ළඟාවිය යුතු වේදිකා භාවිතාවකි. එසේ යම් නිශ්චිත නිගමනයකට එලැබිමට කරුණු බොහොමයක් අදාළ නාට්‍ය නිෂ්පාදනය අපට ඉඟි සපයයි.

පෙර ගෙනහැර දැක්වූ පරිදි මෙහි කථා මූලය (plot) වේදිකාවට උචිත ලෙස සකසා ගැනීම යන්නම භාරදූර කාර්යයකි. එවිට මෙය දෘශ්‍ය සාහිත්‍යංගයක් ගණයට වැටෙයි. එකී සාහිත්‍ය ලාංකීය වේදිකාවට චකිතයකින් තොරව ලංකාවට ඈදා ගැනීම වෙනම නාට්‍යක් නොව ව්‍යාපෘතියක් මට්ටමට වැටෙන්නකි. ලංකාවේ දිනකට නාට්‍ය නරඹන පිරිස 250කටත් වඩා අඩු යුගයක මෙම දෘශ්‍ය සාහිත්‍යාංගය ප්‍රේක්ෂකයාගේ නාට්‍ය රුචිය හා රසGNතාවය (taste) වර්ධනය පිණිස යොදා ගැනීමක් ජෙරොම් සිදුකරයි. එය වේදිකා පරිපාලකගේ හා සංවිධායකගේ සැලසුම කොතරම් සාර්ථක ද යත් පළමු දිනයේදීම රාත්‍රීදර්ශනයේ සියළු ප්‍රවේශපත්‍ර හා 3.30 දර්ශනයේ අඩකට අධික ප්‍රවේශපත්‍ර ප්‍රමාණයක් විකිණී අවසන්ව තිබිණ. එසේම නළුනිළියන්ගේ කැපවීම හා විනය ඉහළ මට්ටමක තිබිණ. මේවා නිසි කළමනාකරණයක් යටතේ (well-plan works) සිදුකල ඒවා විය. එසේම නළුනිළියන් රඟහලට ගෙන්වා ගැනීම උදෙසා යොදවා තිබූ බස් සේවාව පවා නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක විය. (මෙයට මුදල් තත්වය, රංග ශාලාව, කාර්යබහුලත්වය, වැඩ කරන්නේ යම් තෝරාගත් නවකයින් හා අත්දැකීම් ඇති ප්‍රවීණයන් සමගවීම ආදිය පැහැදිළි ලෙසම බලපායි.) මේවා ඍජු සහසම්බන්ධයකින් මෙරට වේදිකා නාට්‍ය කලාව වේදිකා කර්මාන්තයක් බවට පෙරළන ලකුණු පෙන්වන්නකි.

මේ කරුණු මෙසේ තිබියදී නාට්‍ය නිෂ්පාදනය දෙසට හැරෙමු. තිරය විවරව ඇති අතර ඔපෙරා ශාලාවේ වෙන්දේසිය සිහින් සංගීතය හා දුමාරය අතරින් පෙනෙන්නට පටන්ගනී. අඳුර හා ඒ අතරින් වැටුණු තනි තනි ආලෝක කව, මහලු මිනිසා සහ පුටුවේ ස්වරූපය ගුප්ත හැඟීමක් ජනිත කරයි. ගින්දර පෙනෙන්නට තිබේ. අදාල වෙන්දේසියේ නිශ්චිත මොහොතක රංගශාලාවේ අතීතයට දර්ශනය වෙනස් වේ. විචිත්‍රවත් බාල ගණයේ ඔපෙරාවක් එහි රංග ගත වේ. ඉන් රෝමයේ රජකතාවක් නිරූපිතය. මේ සඳහා වේදිකාවෙන් පහල කොටස, ඉදිරිපස, මැද යන ස්ථාන ත්‍රිත්වය තුල නළුවන් 50ක පමණ ප්‍රමණයක් නිසිලෙස සමබර කොටතිබිණ. ජනප්‍රිය ඔපෙරා කොටස්, සංගීතඛණ්ඩ, අලියෙකුගේ විශාල අනුරුවක් මිනිත්තු කීපයකට වේදිකාවට ගෙන ඒම, ප්‍රහසන ගණයේ රඟපෑම් ආදිය ප්‍රේක්ෂක අවධානය දිනන්නට පමණක් සමත්විණ. අනතුරුව ප්‍රධාන ගායිකාව වෙනුවට වෙනත් ගායිකාවක් පැමිණෙන සාමාන්‍ය කතා පුවතක සුන්දරත්වය (beauty), ආදරය, සතුට රැගත් දර්ශන කීපයක්. ඒ දර්ශන අතරතුර විටින්විට දුෂ්ටයාගේ අනතුරු ඇඟවීම් සහ පැමිණීම්. අනතුරුව පටන් ගැනෙන්නේ ක්‍රමයෙන් ගැටලු හටගැනීමයි. අතුරුගැටළු මඟින් කතාවේ මුඛ්‍ය ගැටලුවට ප්‍රබල සහයක් ගෙන දෙයි. ඔපෙරා කළමනාකරණයේ ගැටලු පැන නඟින්නේය. ගායිකාවගේ (සින්යෝරා) ප්‍රශ්නයක් ඇත. සුළු සේවකයින්ගේ ගැටළු ඇත. ඉන්පසු නව ඔපෙරාවක් (ක්‍රිස්ටින්ගේ) පෙන්වන දසුනක් අතිශය සුසාධිත අයුරින් වේදිකාවේ පසුපසට නිරූපණය කරන්නේ ගගනිකාවට පහලින් ආලෝක වැටක් හා ගගනිකාවේ ඉහළ නිල්පැහැති ආලෝකය යොදාගනිමින් ප්‍රේක්ෂකයාට වේදිකාවේ විශාල ගැඹුරකුත් වේදිකාවේ දෙපසම ප්‍රේක්ෂකාගාර දෙකක් මවා පාමිනුත්ය. මෙය වේදිකාවේ මවන්නාවූ දෘශ්‍යමය මායාවටත් සාපේක්ෂ සත්‍යයටත් කදිම උපහැරණ සපයන්නක් වැන්න. ප්‍රේක්ෂකාගාරයට ඒ මොහොතෙහි මුවින් නිරායාස ශබ්දයක් සමඟ වචනයට නැගිය නොහැකි හැඟීමක් ඇති කිරීමට අලෝකකරු (තුෂාන් ඩයස්) සමත්විය.

අනතුරුව ක්‍රිස්ටීන්ගේ කාමරයත් පුහුණුවීම් ශාලාවත් යන ස්ථාන දෙකම වේදිකාව ඛණ්ඩනය කොට ගෙනෙනු ලබයි. කාමරයක පැතලි බව හා ශාලාවක ගැඹුර ඉන් නිරූපණය කෙරිණි. පැන්තම්ගේ පැමිණීම සිදුවන්නේ මෙහිදීය. ඔහු ක්‍රිස්ටීන්ගේ කාමරයට මායාවක වේශයෙන් ගෙන්වනු ලබයි. ක්‍රිස්ටීන්ගේ කණ්ණාඩිය තුලින් දුමාරයක් මැදින් ඔහු පැමිණෙයි. විනිවිද පෙනෙන කණ්නාඩියක් මෙහිදී භාවිතකර තිබුණි. පැන්තම් ක්‍රිස්ටින්ව තම වාසයට රැගෙන යයි. රාවුල් පැමිණෙයි. කහ, රතු සහ කොල පැහැය වේදිකාවේ භාවිත කරමින් කතාවේ තුන්කොන් ගැටුම මඳකට නිරූපිතය. ඉන්පසු රාවුල් ක්‍රිස්ටින්ව සෙවීමට පිටත්වන අතර පැන්තම් තම ගුප්ත වාසස්ථානයට ක්‍රිස්ටින්ව රැගෙන යන දර්ශනයට වේදිකාව සකස් වෙයි. මේ මොහොත ලයනල් වෙන්ට්ඩ් වේදිකාව ලද භාග්‍යක් ලෙස සැලකිය හැක්කේ දැල්වෙන යාන්ත්‍රික ඉටිපන්දම් සියගණනකුත් විශාල දුමාරයක් හා තල කීපයක් හා ගැඹුර මතු කරමින් වේදිකාව ගඟක් මැදින් පාරුවක ගමනේ යෙදෙයි. බොහෝ විදේශීය නිෂ්පාදන වල මේ මොහොත සටහන් වන ජායාරූප නාට්‍යයේ ප්‍රචාරණය සඳහා යොදා ගැනෙයි. ජෙරොම් මුදල මත පදනම්ව සහාසික ලෙස අනුකරණයක් කරන්නේ යැයි කියන්නට වන්නේ මෙවැනි අවස්ථා නිසාය. මෙවන් අනුකාරාත්මක කොපිකැට් අවස්ථා බොහොමයක් නිෂ්පාදනයේ දක්නට ලැබිණ. ඒ මතුදු ලාංකීය ප්‍රේක්ෂකාගාරයට මෙවන් සිනමාත්මක වේදිකාභාවිතයක් (cinematic stage usage) ලෝකයේ ඇති බව පෙන්වූවාට ජෙරොම් ඔබට ස්තූතියි !


Phantom of the opera- ජෙරොම් එල් ද සිල්වා නිෂ්පාදනයෙන්
Image- SundayTimes


නාටකයේ අතිසංවේදීම මොහොත මෙයයි. පැන්තම් තම ප්‍රේමයත් දුකත් ක්‍රිස්ටින්ට පවසයි. එය අනුවේදනීය කතාවකි. ප්‍රේක්ෂකයාට පැන්තම් යන චරිතය ගැන මෙතෙක් වෙලා ඇතිව තිබු ඍණාත්මක ආකල්පය මේ මොහොතේ සුනුවිසුණු වෙයි. ඔහු අමානුෂිකවීමට හේතු ඇත. ඔහු සමාජ අසාධාරණයට ලක්ව ඇත. ඔහුට ආදරය ලැබී නැත. ඔහු මේ සමාජය විසින්ම බිහිකළ මනෝ මූලික (psycho) සත්වයෙකි- විකෘතියකි. ක්‍රිස්ටීන්ගේ ලඳබොලඳකම ඔහුට ආදරය කරයි. ඇයට, නිතරම එක් පැත්තක් වසා වෙස් මුහුණක් පැළඳ සිටින පැන්තම්ගේ මුහුණ බැලීමට ඕනෑ වෙයි. ඇය ඔහුටත් නොකියා එකවරම වෙස්මුහුණ ගලවා දමන අතර ඒ හා සමඟම පැන්තම්ගේ සඟවාගත් කෝපය පිටතට එයි. ඔහු තම අතීතයට වටිනාකමක් ඉල්වයි. තම වෙස්මුහුණ නොමැති දෙබිඩිමුහුණට තමාම ශාප කරගනියි. කතාවේ ගුප්තමුසල ගතිය මේ මොහොතේ උත්සන්නව දැනීමට සැලැස්වෙයි. මේ අතර රාවුල් සහ පිරිස ක්‍රිස්ටීන් සොයා පැන්තම්ගේ ගුප්ත මන්දිරය සොයා එයි. අනෙක් සියල්ලන්ටම ප්‍රථම රාවුල් තනිව විත් මන්දිරය තුලට වදි. මේ මොහොතදී, වේදිකාවේ පසුපස ගැඹුර සහිත දිය අගලක්, මැද වේදිකාව සම්පුර්ණයෙන් වසා පැතිරෙන යකඩ දැල් වැටක් සහ ඉදිරියේ පැන්තම් මන්දිරයේ අතිවිශාල සාලයත් යන ස්ථාන තුනම එකවිට ප්‍රේක්ෂකයා පිළිගන්නා යථාර්ථමය වේදිකා මායාව (stage reality magic) තුලට ගොනු කරනාකාරය අධ්‍යක්ෂකවරයෙක් ලෙස ජෙරොම් ලද අත්දැකීම් හි ප්‍රතිඵලයකි. මනා වේදිකාකළමනාකරණයක් (prefect stage-management), 15 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් මත පදනම්ව යන්ත්‍රසුත්‍රවල අඩුපාඩු පෙන්වමින් වුවද නිසි අයුරින් ක්‍රියාත්මක වන අයුරු දක්නට ලැබුණි. කතාවේ උච්චතම අවස්ථාව (climax) මෙය වේ. මුලදී රවුල්ව අල්වාගන්නා පැන්තම් ඔහුව සිරකරයි. ක්‍රිස්ටීන් පැන්තම්ගේන් යදිමින් ඔහුව නිදහස් කරන ලෙස ඉල්වයි. පැන්තම් තම වේදනාසහගත ආදරය ක්‍රිස්ටීන්ට පවසමින් තමාට සාධාරණයක් ඉල්වයි. අවසන පැන්තම් රාවුල්ට සහ ක්‍රිස්ටින්ට තම ග්‍රහණයෙන් මිදී යන්නට ඉඩ හරියි. එමගින් ප්‍රේක්ෂක මනසේ භාව කම්පනයක් (catharsis) ඇති කරයි. සංගීතය, නර්තනය සමඟ මුසුවූ සංගිත නාටක ගණයේ ලා සැළකිය හැකි මෙහි අතිසරල මෙන්ම අවශ්‍ය තැන්හි බැරැරුම් අරුත් සපයන රංග වින්‍යාසයන් උපයෝගී කොටගෙන තිබිණ. අවසන නැවත ඔපෙරා ශාලාවට පැමිණෙන පැන්තම්ව රාවුල්ගේ මැදිහත්වීමෙන් පොලිස් නිලධාරීන් විසින් මරා දමයි. එලෙස සමුගත් පැන්තම්ගේ නිවසට අවසන් දර්ශනය ආලෝක කව භාවිතයෙන් හුවමාරු කරන අතර එයම වර්තමාන සිදුවීම කරගනිමින් මුල් දර්ශනයටම පැමිණ නාට්‍ය අවසන් වෙයි.

රෝමාන්තික නමුත් මෙකී කතා සන්දර්භය තුල සාමාන්‍ය ජිවිතවලට රාජ්‍ය පාලනයේ මැදිහත් වීම (රජවරුන් /පොලිස් නිලධාරීන්), කලාවට සමාජයේ හිමිවිඇති තැන (පැන්තම්ට සිදුවූ / ජනප්‍රිය බාලගණයේ ඔපෙරා පෙන්වීම හා එහි නළුනිළියන්ගේ හැසිරීම් / කළමනාකාරීත්වය), අර්ථ විරහිත ප්‍රේමය සහ අවබෝධයේ ප්‍රේමය (පැන්තම්, ක්‍රිස්ටීන් හා රාවුල්), අතීත ධනේශ්වරයේ බිදවැටීම (ඔපෙරා ශාලාව විකිණීම/ සුල්තාන් රජවරු/ පැන්තම්ගේ සැබෑ ජීවිතය) ආදී සමාජ වපසරියක් හසු කොටගෙන යහපත් සුචරිත ජිවිතයකට මඟ කියන යථාර්තවාදී ලක්ෂණ දැකිය හැකිය.

ජාත්‍යන්තරයට ළඟාවිය හැකි පැන්තම් වාගේම නොවන නමුත් පැන්තම් හි වේදිකාභාවිතයට එහා ගිය වේදිකා භාවිතයක් සිංහල වේදිකාවේ දක්නට ලැබේවායි අප පතමු ! "සිංහල වේදිකාවට ඇත්නම් පැන්තම්!" යැයි කියන්නේ එකී අර්ථයෙනි.

ප‍්‍රනීත් චානක මුරමුදලිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails