Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මම 2014 දෙසැම්බර් 26 දින ආචාර්ය දයාන් ජයතිලක සහභාගී වූ “දයාන් සමග ඇතුළාන්තය” ලෙසින් හඳුන්වා තිබූ ස්වාධීන රූපවාහිනියේ ඇතුළාන්තය වැඩසටහන නැරඹුවෙමි. මෙහිදී මට හැඟී ගියේ පොදු අපේක්ෂකයාගේ පැමිණීම සම්බන්ධයෙන් දයාන්ගේ අර්ථකථන ඊට සති කීහිපයකට පෙර තිබූ ආස්ථානයෙන් හදිසියේ වෙනස් වී ඇති බවයි. 2014 නොවැම්බර් 27 දින පොදු අපේක්ෂකයා පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබේදැයි බී.බී.සී. සිංහල සේවයේ මාධ්‍යවේදියකු ඇසූ විට දයාන් පැවසුවේ “පොදු අපේක්ෂකයා පැමීණීම සහ පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන වීම ඇත්ත වශයෙන්ම මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ආපස්සට තල්ලු කරන සංසිද්ධියක්. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට උපකාරයක් නෙමෙයි” කියාය. එහෙත් දෙසැම්බර් 26 දා ස්වාධීන රූපවාහිනී සාකච්ඡාවේ දී පොදු අපේක්ෂකයා ජනාධිපති වුවහොත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට හසු වියහැකි ආකාරය ශාස්ත්‍රීය වශයෙන් පෙන්වා දීමට දයාන් උත්සාහ කළේය. මම දයාන් මෙන් දේශපාලන විද්‍යා විශේෂඥයකු නොවෙමි. එනමුත් මට පෙනෙන පරිදි නම් දයාන්ගේ විශ්ලේෂණය දෝෂ සහිතය.

දෙසැම්බර් 26 සාකච්ඡාවේ දී සෘජුවම මහින්ද රාජපක්ෂ ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි දයාන්, වර්තමාන ලංකාව “අභ්‍යන්තර ශක්තියක් විදහා දක්වන රටක්” බවත් නූතන අධිරාජවාදයේ ‘ජාතික රාජ්‍යය දිය කිරීමේ’ වැඩ සටහනට ලංකාව ගොදුරු කර ගැනීමට ඇමරිකාව ප්‍රමුඛ රටවල් කැසකවන බවත් පැවසීය. ආණ්ඩුව මේ දිනවල පුනරුච්ඡාරණය කරන භාෂාවෙන් පවසන්නේ නම් දයාන් මේ කියන්නේ “අධිරාජ්‍යවාදී බලවේග රට අස්ථාවර කිරීමට” බලා සිටින බවයි. ඔහු කියන ආකාරයට ඇමරිකාව වැනි නූතන අධිරාජ්‍යයවාදීන්ට තම අභිමතය පරිදි රටක් පාලනය කිරීමට ඉඩ සැළසෙන්නේ එකී රට අස්ථාවර වීම හේතුවෙනි. ඔහු ඒ සදහා උදාහරණ ලෙස ඇතැම් මැදපෙරදිග රටවල් ගෙන හැර දක්වයි. අන්තර්ජාතික දේශපාලනය සම්බන්ධයෙන් දයාන්ට ඇති අත්දැකීම් මා ප්‍රශ්න කරන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකාව අස්ථාවර වීම (හෝ අස්ථා‍වර කිරීම) සම්බන්ධයෙන් දයාන් ඇඟිල්ල දිගු කරන්නේ ඇමරිකාව ප්‍රමඛ නූතන අධිරාජ්‍යයන් දෙසට පමණක් වීම ගැටළු සහිතය. මාගේ විග්‍රහයට අනුව මෙහි දයාන්ට අමතක වූ හෝ ඔහු හිතා මතා සඟවන කාරණයක් ඇත. රටක් අස්ථාවර වීමට බලපාන බාහිරමෙන්ම අභ්‍යන්තරික කාරණා ද ඇතත් ඒ අභ්‍යන්තරික කාරණා සම්බන්ධයෙන් ඔහු කිසිවක් සඳහන් නොකරයි. ශ්‍රී ලංකාවේ පවතින දූෂිත, සමාජ පීඩාකාරී, ඒකාධිපති නැඹුරුවක් සහිත වර්තමාන තත්වය තවදුරටත් පැවතුනහොත් අනිවාර්යයෙන්ම රට අස්ථාවර වනු ඇත. ඒ ඇමරිකාව ප්‍රමුඛ නූතන අධිරාජ්‍යයන් නිසා නොව රටේ දැනටමත් උත්ගත වී ඇති අභ්‍යන්තරික ප්‍රශ්න හමුවේ ඇතිවිය හැකි ජනතා කැරළි නිසාවෙනි. එදාට එම අභ්‍යන්තරික අස්ථාවර බව නම් නූතන අධිරාජ්‍යවාදීන්ට බොර දියේ මාළුබෑමක් වනු ඇත. ශ්‍රී ලංකාව අස්ථා‍වර වීමට ආසන්නතම අභ්‍යන්තරික හේතු විය හැක්කේ නීතිය වලපල්ලට යාම, මාධ්‍ය නිදහස නොමැති වීම, ඒකාධිපතියෙකුගේ ගොඩනැඟීම, පුද්ගල අතුරුදන්වීම්, අල්ලස-දූෂණය ඉහවහා යෑම, රාජ්‍ය සම්පත් මංකොල්ලකෑම යනාදියයි. එහෙත් අනාගත ශ්‍රී ලංකාව අස්ථාවර විය හැකි හේතු විග්‍රහකරන දයාන් ඉහත කිසිදු කාරණයක් ගැන කෙළ බින්දුවක්වත් නොසොල්වයි. මෙයින් අපට පැහැදිලි වන්නේ ආචාර්ය දයාන් ජයතිලකගේ දේශපාලන විග්‍රහයේ දුර්වල බවද? නැත්නම් ඔහුගේ දේශපාලන විග්‍රහයේ අවස්ථාවාදී බවද? කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දයාන් පෙන්වන රාජපක්ෂ මඟ ඔස්සේ ගියහොත් ශ්‍රී ලංකාවට අත් වන්නේද වර්තමාන අරාබිකරයේ ඇති වී තිබෙන අරාබි හේමන්තයට (Arab winter) සමාන තත්වයක් යැයි මාගේ අවබෝධයයි.

[2015 ජනවාරි 04 වන ඉරිදා 'ඉදිරිය' පුවත් පතෙනි.]

සුදේශ් මන්තිලක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails