Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මෙය තුවක්කුවක් නොවේ යනු මෑතකදී මා දුටු සිංහල නාට්‍ය අතරින් මා සිත වඩාත් ඇදගත් නාට්‍යයකි. ඉතා දක්ෂ, බුද්ධිමත් නාට්‍ය රචකයෙකු සිංහල නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණ සිටින බව ඉන් පෙනිණ. එය කොතරම් ආකර්ෂණීයද යත් එය දෙතුන් වරක් නරඹා යමක් ලියන්නට මට ආසා ඇති විය. එහෙත් කොළඹින් බැහැර වසන අපට එක නාට්‍ය දෙතුන් වර නැරඹීමට තබා අලුතෙන් එන නාට්‍යයක්වත් එකවරක් බලාගැනීමත් අමාරු වැඩකි. ලංකාවේ බිහිවන යම් තරමක විශිෂ්ටතාවක් හෝ ඇති නාට්‍ය දිවයිනේ ප්‍රධාන නගරවලවත් පෙන්වීමට සංස්කෘතික අමාත්‍යංශයට දායක විය නොහැකි ඇයි? අඩුතරමින් එය තෝරාගැනීමේ පදනමකින්වත් කළ හැකිය. මේවා නාට්‍ය අණුමණ්ඩලයට අවශ්‍ය නම් කළ හැකි වැඩය. ලාබෙකුත් ලැබෙන සේ කරන්නට බැරි නැත.

මෙය තුවක්කුවක් නොවේ යනු ව්‍යූහාත්මක වශයෙන් ඉතා සරල නාට්‍යයකි. එහෙත් එහි එන තේමාත්මක ගැඹුරත් අපේ අද දවසේ චින්තනයේ විවිධ ස්ථානවල ඇති උත්ප්‍රාහය ක්ෂණිකව හසු කරගන්නා දෙබසින් යුතු වීමත් නිසා මේ නාට්‍ය අතිශය රසවත්ය. මානසික රෝහලකින් ප්‍රතිකාර ගෙන බාහිර සමාජයට එක් වී සිටින බව පෙනෙන තරුණයෙකුත් සිවුරු හැර වෙන රටකට යාමට සැලසුම් කරන තරුණ භික්ෂුවකුත් නගරයකදී අහම්බෙන් මුණ ගැසීමෙන් නාට්‍යයේ ක්‍රියාදාමය ඇරඹේ. මේ දෙදෙනා අතර සිදුවන සංවාද ලියැවී ඇත්තේ ඉතා බුද්ධිමත් හාස්‍යයක් ඇති වන ලෙසය. තමන්ගේ කාලය පිළිබඳ නිර්දය වූද දුරස්ථ වූද දෘෂ්ටිය නිසා විනිවිද යන හාස්‍යයෙන් යුක්තව භාෂාව හසුරුවන්නට මේ තරුණ රචකයාට පුළුවන.

මේ නාට්‍යයෙහි එන තරුණයා මානසික වශයෙන් අසමබර නිසා ඔහුගේ දෘෂ්ටියෙන් ලංකාව පෙනෙන්නේ හොඳ සිහිය ඇති අයට එය පෙනෙන විදියට නොවේ. මානසිකව නිරෝගී සහ හොඳ තත්වයෙන් වාසය කිරීම යනු පවතින සමාජ-සංස්කෘතික කොන්දේසිවලට කීකරුව සහ අනුගතව ජීවත් වීමයි. යථාර්ථවාදීව ලෝකය වටහා ගැනීම යනු බොහෝ විට එයයි. ලෝකයේ තතු නියමාකාරයෙන් දැකීමට නම් එය පිස්සෙකුගේ ඇසින් දැකිය යුතුය. අප ස්වභාවික යැයි ගන්නා බොහෝ ව්‍යූහ සංස්කෘතික ව්‍යූහ හෙවත් අපට ගොඩ නගන ලද ව්‍යූහ බව අපට පෙනෙන්නේ එවිටය. ලෝකයේ විශිෂ්ට සාහිත්‍ය කෘති ගණනාවක් උමතු වූවන් යැයි ගැනෙන අයගේ දෘෂ්ටිකොණයෙන් ලියැවී ඇත්තේ ඒ නිසාය. නූගතුන් හා දරුවන්ගේ ඇසින් ලෝකය විස්තර කිරීමද එහිලා ගත හැකි ක්‍රියාමාර්ගයකි. ඔවුන්ට ලෝකය පෙනෙන ළාමක විලාසය තුළ ඉතා බුද්ධිමත් අන්තර්දෘෂ්ටීන් තිබිය හැකිය. මේ නාට්‍යයේ එක් ප්‍රධාන චරිතයක් වන මේ මන්දමානසික තරුණයා ලෝකය දකින ආකාරය තුළ අමුතු උත්ප්‍රාසයක් ඇත්තේ ඒ නිසාය. ඔහුගේ අතාර්කික උමතු දෘෂ්ටියෙන් විස්තර වන ඇතැම් දේ අප රට උමතු නැතැයි කියන මනුෂ්‍යයා දේවභාෂිත සේ විශ්වාස කරන අදහස්ය. ඒ නිසා නියම උමතුව ඇත්තේ කාටද යන ප්‍රශ්නය අපට ඇති වේ.

තරුණ භික්ෂූන් වහන්සේ උපැවිදිවීමට එන්නේ පන්සලේ තිබූ ස්කූටරයක් ද තල්ලු කරගෙනය. ඒ එය පදින්නට උන්වහන්සේ නොදන්නා බැවිනි. ඒ නිසා උන්වහන්සේගේ සාමාන්‍යය ගිහිලෝකයේ නීතිරීති සහ "යථාර්ථය" හරියටම නොදන්නා බව අපට පෙනේ. ස්කූටරය සහ එය පදින්නට නොදන්නා භික්ෂුව උත්ප්‍රාසවත් යුගළකරණයකි. මේ දෙදෙනාම සාමාන්‍ය ජීවිතය සහ සාමාන්‍ය දැනීම වෙතින් පියවරක් හෝ දෙකක් දුරස්ථය. ඒ නිසා ඔවුන්ට බොහෝ දේ වරදියි. එසේ වරදින්නේ ඒ දේවල් නිවැරදි නිසාම නොව ඒවා ගැන නීතිරීති ඒ දෙදෙනා හරියට නොදන්නා නිසාය. ඒ නිසා අපට යමක් හරි යයි පෙනෙන්නේ ඒවා නෛසර්ගිකව හරි නිසා නොව ඒ හරි දේවල් සම්බන්ධ නීතිරීති අප හරියට දන්නා නිසාය යන කාරණය අපට පසක් වේ.

මේ මානසිකව අසමබර තරුණයා භාෂාව වටහාගන්නේ අපට වටහා ගන්නා ආකාරයෙන් නොවේ. ඔහු භාෂාව සංකේතීය ලෝකයක් සේ නොගෙන වාචාර්ථයෙන් ගනියි. ඒ නිසා ඔහු රස්සාවක් හොයන්නේ කහල ගොඩකය. සිංහලෙන් රස්සාවක් හෙවීමටත් නැති වූ දෙයක් හෙවීමටත් භාවිත කරන්නේ එක ක්‍රියාපදයයි. ඒ නිසා ඔහු නැති වූ ඉඳිකට්ටක් වැනි දෙයක් සොයන්නාක් සේ රස්සාවක් හොයයි. ඒ වගේම අප සමාජයේ සාමාන්‍ය මිනිසා වෙත ස්වභාවිකරණය වූ හෙවත් මිනිසා සාමාන්‍ය දැනීම සේ අන්තරීකරණය කරගත් අදහස් අපටද දැකගත හැකි දේවල් බවට පත් කරයි.

නිදර්ශනයක් මෙසේය. "විභාග පාස් උනාම රස්සා තියෙනවා" යන්න අප විසින් අන්තරීකරණය කරගන්නා ලද අදහසකි. මේ අදහස මහ මුහුද තරම් ස්වභාවික දෙයක් සේ අපි අදහමු. අපි එය ප්‍රශ්න නොකර විශ්වාස කරමු. මේ උමතු තරුණායා භික්ෂූන් වහන්සේ අමතා කියන්නේ විභාග පාස් උනාම රස්සා තියෙනවා යන්න විශ්වාස නොකළේ නම් "උන්" තමාට කරන්ට් අල්ලන බවය. මෙය අපූරු කියමනකි. මෙවැනි අදහස් අපේ විඥානය තුළට ස්වභාවිකකරණය වෙන්නේ එනම් අප නැවත සිතා නොබලන සත්‍යයන් බවට ගල් ගැසෙන්නේ නිකම් නොවේ. "උන් කරන්ට් අල්ලන" නිසාය. කරන්ට් ඇල්ලීම යනු හුදෙක් කරන්ට් ඇල්ලීම නොවේ. සමාජයක අධිපති දෘෂ්ටිවාද මිනිස් විඥානය වෙත කිඳා බැස්සවීමේ හෙවත් ස්වභාවිකකරණය කිරීමේ යාන්ත්‍රණ බොහෝ ඇත. විදුලි කරන්ට්ම නොඇල්ලුවත් වෙනත් කරන්ට් අල්ලන ක්‍රම ඇත. විභාග පාස් උනාම රස්සා ඇත; ඒ නිසා විභාග පාස්වීම නිවැරදිය යන අදහස නිසා අපි බොහෝ දෙනෙකු මේ සමාජ ක්‍රමය පවත්වාගෙන යාමට දායක වෙමු. කරන්ට් ඇල්ලීමට බියෙන් කසලගොඩින් රස්සා සෙවීම ගැන භික්ෂූන් වහන්සේ විරුද්ධ වන විට තරුණයාට තරහා යයි. අප මත සමාජය විසින් පටවන ලද මිත්‍යාවන් විශ්වාස නොකරන්නැයි අපට කවුරුන් හෝ කියන විට තරහා යන්නාක් මෙනි.

එහෙත් සාමාන්‍ය අපට විකාරයක් සේ පෙනෙන මේ තරුණයා තුළ භික්ෂුව තුළ වත් නැති ආචාරධාර්මික තර්කනයක් ඇත. ඔවුන් දෙදෙනාට මරා දමන ලද මිනිසෙකුගේ මළකඳ හමු වූ විට එය වළලා දැමීමේ ආචාර්ධාර්මික අවශ්‍යතාව පහළ වන්නේ පිස්සු තරුණයාටය. භික්ෂුවට නොවේ.

උමතු තරුණයාට ස්කූටර් එළවිය හැකි නිසා ඔහු පොඩි හාමුදුරුවන් ද ස්කූටරයේ තබාගෙන යයි. ඒ යන අතර ඔවුන්ට සිදුවන දේවලින් නාට්‍යය සකස් වී ඇත. ඒ සිදුවන දේ අතර සුවිශේෂ නාට්‍යමය සිද්ධි නැතත් සිදුවන පුංචි පුංචි දේවල පවා ගැඹුරු අර්ථ මතු කරගන්නට නාට්‍යකරුවා සමත් වේ. ඉතා කුඩා අවස්ථාවකින් පවා විනිවිද යන අර්ථ මතු කරන්නට රචකයාට පුළුවන. තරුණ නළුනිළි පිරිසක් ඒ අවස්ථා ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරයි. දෙදෙනාට හමුවන පොලිස් නිලධාරීන් ද අනික් අය ද ජාතිකාභිමානී ගීතවලින් නින්දට වැටී සිටින සැටිත් ඒ නිසා ඇත්තටම සිදුවන සේ නොදකින සැටිත් අපට පෙනේ. සීමාන්තික ජාතිකවාදයෙන් නිදාගත් සමාජයක සංකල්පමය නින්ද නාට්‍යකරුවා සැබෑ නින්දක් කොට පෙන්වයි. විටෙක තරමක් අතිශයෝක්ති බහුල යැයි සිතුණද ඉන් ඇති වන්නේ අපූරු නාට්‍යමය ස්වභාවයකි.

මේ දෙදෙනා ගමන යන අතර හෝ නොයන අතර පසු කරන හෝ පසු නොකරන තුවක්කුවක් නාට්‍යයට නම සපයයි. එහි සවිකර ඇති කාල තුවක්කුවක් යටින් 'මෙය තුවක්කුවක් නොවේ' යැයි ගසා ඇත. එවිට දෙදෙනා අතර ඇති වන සංවාදය මෙසේය.

තරුණයා - ඒ උනාට තාම අපිට මේ තුවක්කුව වත් පහු කරන්න බැරි උනානෙ.
භික්ෂුව- මොන තුවක්කුවද?
තරුණයා- ඔය තියෙන්නෙ
භික්ෂුව- මේක කොහොමද බං තුවක්කුවක් වෙන්නෙ?
තරුණයා- මේක තුවක්කුවක් තමයි
භික්ෂුව- එහෙනම් මේක තුවක්කුවක් නෙමෙයි කියල ගහල තියෙන්නෙ
තරුණයා- ංආ ඒ බය හිතෙන්නෙ නැති වෙන්න
භික්ෂුව- බය හිතෙන්නෙ නැතිවෙන්න නම් මේක මෙතනින් අයින් කරන්න තිබුණනෙ
තරුණයා- එතකොට බය හිතෙන්නෙ නෑනෙ


මේ කොටස උපුටා දැක්වූයේ මේ රචකයාගේ තියුණු නිරීක්ෂණ ශක්තියත් ඉතා සුළු දෙයක වුව මතුපිට ඉක්මවා දැකීමේ ශක්තියයත් පෙන්වීමටයි. නැවත නැවත කියවන විට මේ කුඩා දෙබස් ඛණ්ඩය ඇසුරින් නොයෙක් දේ මතු කරගත හැකිය. නූතන සමාජය තුළ රාජ්‍යයේ මර්දනීය උපකරණ සාමාන්‍යකරණය කර සංස්කෘතිය තුළ පිහිටුවා ඇති ආකාරයත් එය අපේ රටේ සිදුවන සැටිත් මින් කියවේ. මෙහි එන තුවක්කුව තුවක්කුවක් නොව තුවක්කුවක සංඥාවකි. එය අයිකොනික සංඥාවක් යැයි කියන්නට පුළුවන. එනම් සංඥාවෙන් ඇගවෙන වස්තුවේම රූපයකි. එනම් සංඥාවත් අර්ථයත් අතර සැලකිය යුතු එකගතාවක් ඇත. එහෙත් තුවක්කුව නොවන තුවක්කුවට සමාජය බයගන්වා තබන්නට පුළුවන. එහෙත් එය තුවක්කුවක් ලෙසම මිස අන් ලෙසකින් වටහා ගැනීමෙන් බියෙන් අත්මිදිය හැකිද?

නාට්‍යය අවසාන වෙන්නේ විමුක්තිය සොයා පැවිදි වූ භික්ෂුව එහි නොවන විමුක්තියක් සොයා පැන යන්නට ගොස් නැවතත් භික්ෂුව ජීවිතය වෙතම යමිනියි පෙනේ. එය එක්තරා පරාජිත අවසානයකියි මට සිතිණි. කෙසේ වෙතත් ඉතා බුද්ධිමත් ලෙස හාස්‍ය හැසිරවීම අතින්ද මේ නාට්‍යය මගේ සිත් ගත්තේය. චමිල ප්‍රියංක නම් මේ නාට්‍යකරුවා අප තුළ අපේක්ෂා දල්වන නිසා ඔහු කරන දේ ගැන හිමින් සැරේ බලා සිටීම වටියි.

(මේ ලිපිය තරමක් වෙනස් ස්වරූපයකින් පෙබරවාරි 23 ඉදිරිය පුවත්පතේ පළ වේ.)

ලියනගේ අමරකීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails