Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අනේකවිධ දුක් වේදනා වින්ඳ කවියෙකුට පවතින සමාජ ක‍්‍රමය පිළිබඳව ගැටළු මතු වේ. අවසන ඔහුට ඉතිරි වන්නේ කලකිරීම පමණක්ම විය හැකිය. අනෙක් අතට, පවතින සමාජ අක‍්‍රමිකතා හරහා එක්ව යා නොහැකි හෘදයංගම මිනිසකු ගේ අභ්‍යන්තරයෙන් කවියකු බිහිවිය හැකිය. කෙසේ වුවද අවසන් ඵලය එක ම ය. අකර්මන්‍ය බාහිර මිනිසකු මතුයෙහි, අභ්‍යන්තර මිනිසා සියල්ල ක‍්‍රමයෙන් අතැර දමන්නට ද ඉඩ ඇත. එකී නොකී සමාජ විෂමතා හා බද්ධව ජීවිතය ගලා යෑමේදී එකී කවියන් තුළින් බිහි වන නිර්මාණ තම සන්තානයේ සහන් එළි සොයා යන ගමනේ සෙවණැල්ල ද, සමාජයේ සදාකාලික යහපත උදෙසා ඇඟිල්ල උලුක් කර පෙන්වනු ද දකිත හැකිය. විඳීම සාපේක්ෂ බැවින්, කවි කියවා ගැනීමේ කලාව ද එකිනෙකාට වෙනස් වීම අරුමයක් නොවේ. එහෙත් අපට එකඟ විය හැකි කාරණා අභිමුව කවක සැඟවුණු අරුත් අපට දැනෙන්නට ගන්නේ ය. එ කවි වැහි වැටී දෙගොඩ තලා ගොස් සියලු ගම්බිම් ද, මිනිසුන් ද යට කර දමන්නේ නම් කෙතරම් අගනේ ද!

'එහෙටත් වහිනවැති' නමින් එ කව්පද සංග‍්‍රහය, ඉඳහිට බිහි වූ නිර්මාණ එකතැන් කොට සඳුන් ප‍්‍රියංකර විතානගේ ඔබට පුදයි. ඉතිං අප ට ද, එ වැස්සේ තෙමෙන්නට හැකි ය. ඉන් සිහිල් වැහි බිඳු ද, මඩ වතුර ද ගෑවී අපේ හිත මත සංතාපය ද, වික්ෂෝපය මෙන්ම බලාපොරොත්තුව ද තැවරෙන්නට ඉඩ ඇත.

සඳුන් වසර පහ, හයක කාලයක් තිස්සේ කළ නිර්මාණ 'එහෙටත් වහිනවැති' කාව්‍ය සංග‍්‍රහයේ වෙතැයි ඔහු පවසා ඇත. ඒවා බොහොමයක් විවිධ පුවත්පත් සහ අන්තර්ජාල වෙබ් අඩවි හරහා ඔබ කියවා තිබෙන්නට ද පුළුවන. විවිධ සමාජ දේශපාලන ක‍්‍රියාකාරිකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් මෙන්ම පෞද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් සහ සුන්දර අත්දැකීම් මුහුකර ගත් නිර්මාණ එහි ඇතුළත් වෙයි.

කඨෝර දිවි ගමනේ, ජීවිතාශාව දල්වා ගන්නට සඳුන් ට කවිය ඉවහල් වූ බැවි සඳුන් කියන්නේ සොම්නස මෙන්ම දොම්නස ද සිත්හි දරා ගෙන යැයි මට සිතේ. "පත්තරකාරයෙක් වෙන්න තමයි හීනයක් තිබුණෙ" ඔහුගේ කටහඬ බිඳී ඇතැයි මම අනුමාන කරමි. ඒ, මේ සංවාදයට කටහඬක් නොතිබූ නිසාවෙනි. එහෙත් අකුරු වලට හඬක් දිය හැකි ය. ​ එබැවින් හඬක් නැති කටහඬ මට ඇසෙන්නට පටන් ගනී.

​"​සමාජය ඇතුළෙ ප‍්‍රාග්ධනය වැඩ කරන හැටි දැක්කම​, ​ කරන්න හිතන් හිටපු ගොඩක් දේවල් එපා වුණා. ​" ඔහු කළකිරීම වචන වලින් තව තවත් පාරවා ගනී.

අකුරු වලට නැඟිටින්නට, වැළපෙන්නට, හිනැහෙන්නට, අඬන්නට මෙන්ම සමාජය සමඟ හඬක් නඟන්නට ද පුළුවන. ඒ අකුරු අකුරු එකතු වී, අවසන එහෙටත් වහින්නට ඇති ය. අකුරු වැහි වැටෙද්දී ඇස ගැටෙන දහසක් සිතුවිලියෙන් තෙතබරිතව වුව, දෑත් ඔසවා යමක් කියන්නට හැකි නම්, යහපත් සමාජයක් ගොඩනඟන්නට අපට නොහැකි වෙද?

****

"ඇත්තටම එහෙටත් වැහැල තිබුණා.....
මම ලිව් කවි වලින්.. මම ආසම කවියත් ඒකයි...."


සඳුන් එහි ආශ්වාදය, සොම්නස නැවත විඳිමින් මොහොතක් නිහඬ ව ඒ කවිය අතර යළි යළි තත්පර ව ඇති සැටියකි. නිසැකයෙන් ම ඒ සොඳුරු සැරිසැරියකි. සියල්ල අභිබවා ජීවිතාශාව දැල් වූ නිමිත්ත මල්ඵල ගන්නට ආසන්න මොහොතක දයාබරිතව අනාගතය දෙස බලන්නට එයම ඔහුට බල කරන්නට ඇත.

"... එ් කවිය මගේ අත්දැකීම..."

ඉන් මැවෙන චිත‍්‍ර, හිත්පුරා අපූරු රටා මවයි. පියපදවිය ලබන්නට පෙරුම් පුරනා සැමියෙකු, බිරිඳගෙන් ඈත් ව ගියපු නිමේෂය සැබෑවටම වැහිඅඳුරක් ගෙනෙන්නට පුළුවන. ඈ කරා ඊළඟ මොහොතේදී දුව එන්නට පාරමී පුරන සැමියකු ගේ ඇත්තම ඇත්ත අත්දැකීම කවියකට වර නැෙඟන්නේ එසේ ය. ඒ ඔවුන්ගේ ජීවිත කතාවේ පළමු කවිය ම වෙයි. කවිය කිරිහිනා නඟමින් වැඩෙන ආකාරය දෙස මේ මොහොතේ ද, සඳුන් බලා සිටිනවා නිසැකය. එමෙන්ම අනන්ත කවි බඳින්නට එකවියම නිමිත්තක් ව ඇතැයි සඳුන් හා කතාබහේ දී හිතාගන්නට හැකිය.

'එහෙටත් වහිනවැති'කාව්‍ය සංග‍්‍රහය පටන් ගැනෙන්නේ බොහෝ සෙයින් සමාජයේ කතා බහට ලක් වූද, ලක් වෙමින් පවතින්නා වූද අනුභූතියකිනි. 'දෙමළ දුක' කියැවෙන ඕනෑම තැනෙකදී සිංහල දුක එය අභිබවා විත් නිමා නැති වාදවිවාද, සංවාද ඇති කරයි. විටෙක ඒ පිළිබඳව කතා කිරීමම අභියෝගයක් වෙයි. සියලු මිනිසුන් එකපෙළට සිටුවා දකිනවුන් ද, එකිනෙකා ජාති, ආගම්, භාෂා ආදියෙන් වෙන් කොට දකිනවුන් ද අප අතර වෙති. කවිය හදවතෙන් නැෙඟන්නක් මිස වෙන යම් දෙයක් නොවේ. දිනපතා අහන්නට, දකින්නට ලැබෙන ප‍්‍රවෘත්ති අභියස වුව, අත්දැකීමක් නොවුණ ද, යමෙකුගේ සිත සලිත වන්නට පුළුවන. එහි පිපිරී යාම කවියක්ව නැවත කළඑළි දකින්නට ද පුළුවන. එහෙත් කෙනෙකු තම දේශපාලන අරමුණ පමණක් මුල් කොට කවිකම් කරන්නේ නම් එතැන අවුලක් විය හැකි ය. ඒ, කවියා තම හෘදය සාක්ෂිය සමඟ අනන්‍ය වීම මැනැවැයි සමාජයේ රීතියක් සේ පවතින බැවිනි. කවිය, ජනතාවට සමීප වන්නේ ද, කවිය ඔවුන්ගේ කවිය වන්නේ ද එවිටය. එහෙම නොවෙන කවි ද කියවන්නට ලැබෙන බැවින්, සඳුන් ට දෙමළ දුක ගැන කියැවෙන නිර්මාණ පිළිබඳව ඇති කර වූ අපැහැදීමක් වැනි හැඟීමක් ඔහු දෙමළ දුක නමින් කියාපායි. විටෙක එය චෝදනාවක් සේ ය.

විකුණා දෙමළ දුක
නොලියමි දැනුදු මම් කවි

නොලියා එවැනි කවි
මම මගේ දුක සුරකිමි
පුපුරණ දිනෙක එය
මහා හයියෙන් වැළපෙමි


'යුද සෙළුව' කියාපාන්නේ ද යුද්ධයේ ඇති අප‍්‍රසන්න භාවයයි. එය පෙරළා පැමිණ ඇති සැටි ඔහු මෙසේ විස්තර කරයි.

වුවන පමණක් පෙනෙන පරිදී
ඉඩක් තබමින් නොයෙක් වෙරදී
වසා ඇත දෙණ දුටුව විටදී

වසාලන්නට නොහැකි වූ
යුද්ධයේ කැත සෙළුව දුටුවෙමි


මේ මොහොත සීගිරිය පිළිබඳව ඇතිව ඇති සංවාද අපමණ ය. උදයා ගේ කොණ්ඩ කටුවෙන් කුරුටු ගෑ ගීය ඇයට වසර දෙකක සිරදඬුවම් උරුම කර දුන්නේ ය. සීගිරිය ශ‍්‍රී ලාංකීය ඉතිහාසයේ එක් පරිච්ඡේදයකි. රටකට ඇති ඓතිහාසික ස්ථාන සුරැකීම එම රටෙහි වටිනාකම තක්සේරු කරන්නකි. මිනිසුන්ගේ වටිනාකම යනු වෙනකකි. කෙසේ වුව ද සීගිරිය පිළිබඳ දහසක් කව් ගී නිර්මාණය වී තිබෙන මුත්, මෙහි පළ වන 'සීගිරියේදී' කාව්‍ය නූතන අප්සරාවන්ගේ ඛේදවාචකයයි.

ගන ඇහිබැමට යට වුණ
හීන් බොරපැහැ දෙනෙත
කොසු බුරුසු රැවුලකි
බරි තොලැති මුඛයකි
කෙල සමග ආඩපලි විසිවන
වමාරා කන ගවයෙකුසෙ
මහෝදර මුදලාලියෙකි

කරකැවෙන දෙඇස් මගරින
මගක් නැති බව දැන දැන
විජ්ජුලතාවකි ඇය
ඉඳුල් භාජන අතර මැදි වුණ


තරුණියන්ගේ ශ‍්‍රම සූරාකෑම 'සීගිරියේ දී'සඳුන් දකින්නේ එලෙස ය.

මහනෙල් මල් නොවේ ඈ අත
දෑතම සෝද සෝදා
දැවිල්ලට මුවින් පිඹිමින


සීගිරියේ අවන්හල් සේවිකාවකගේ වෙහෙස ඉන් මනාව පිළිබිඹු වෙයි. සමාජ ක‍්‍රමයේ වැරැද්ද නිවැරදි කරවා ගන්නට අපට තව කෙතරම් කාලයක් ගත වේදැයි සිතන්නටවත් හැකිදැයි, සිතන්නට වටී. ඊට එරෙහිව කැරලි ගැහීමද, ඉන් පැරදීම ද අප බොහෝ දෙනෙකුට අත්දකින්නට ලැබෙන්නකි. විටෙක පවතින ප‍්‍රවාහය හා ගසා යයි. නිහඬවීම ද, ඊට අනුගත වීමක් හෝ සහයෝගය දීමක් වෙයි. දැන හෝ නොදැන නිවැරදි දෙය එයයි සිතා වැරදි දෙයකට හවුල් වීමක් වන්නේ නම්, ඉන් ඇතිවන්නේ හෘදය සාක්ෂියේ විසින් කෑ ගසන ස්වයංවිවේචනයයි. පවුකාර කවියා යනු එවැනි ස්වයං විවේචනයකැයි කියවන්නාට සිතෙයි.

කෝ කවි? නුඹ ලියූ’ මිතුරන් අසනු ඇසේ
ගැබ්බර නොවේ කිවිසිත හද නොමැති හිසේ
ඇවිදිමි හිස අහිමි වූවෙකු මෙන් හතර දෙසේ
දෙබිඞ්ඩෙකුව මෙලෙසින් කල් ගෙවනු කෙසේ

සකියනි ලියූ කවි සැමදා රස විඳින
රසයක් නොවේ මේ කඳුළකි දුක් විඳින
කියනු මැන නොබා කවුරුද කියනු මැන
පවුකාරයා හට පළමුව ගල ගසන


වැළපෙන හෘද සාක්ෂිය සමඟ කෙනෙකු හිත හදාගන්නට උත්සුක වන්නේ නම් එය එසේ වන්නට පුළුවන.

ගයන්නට හැක්කේ කොවුලන් ට වුව ද, කාකයන් ද ගයනු ඇසේ. එහෙත් අවශ්‍යම තැන් හි කොවුලන් නොගයන විට, කාකයන් ට වුව ද ගයන්නට සිදු වෙතැයි කොවුලන් නොගයන බැවිනි කාව්‍යයෙන් කියාපාන්නට ඔහු උත්සාහ කරයි. කෙනෙකු තමන්ගේ දක්ෂතා මෙන් ම නොහැකි දේ පිළිබඳ ව ද දැනුවත් වීම යහපත් ය. එහෙත් යමක් සිදු විය යුතුම මොහොතක, දක්ෂයින් නිහඬ වත දරන්නේ නම්, අදක්ෂයා ට වුව ද තම උපරිමයෙන් උත්සාහ කිරීමට සිදු වන්නේ ය.

කළු කාකයෙක් වෙමි මම්
උපතින් ගී ගයන්නට බැරිය
මන්ද්‍ර ස්වර නාඳුනමි
උච්ච ස්වරම මිසක
කටහඬත් කොරසැඩි බව දනිමි


සමාජ ක‍්‍රියාකාරිකයන් නිහඬ වීම යහපත් සමාජයකට හොඳ ලක්ෂණයක් නොවේ. ඒ නිහඬතාව බිඳින්නට අවශ්‍ය විටෙක ඒ හා එක්ව බලා ඉන්නවා හැර, යමක් කිරීම පුරවැසියාගේ යුතුකම ය. අඳුරට දොස් නඟනවා වෙනුවට පහනක් දැල්වීම වටිනේ බැවිනි.

නමුදු
උස් හඬින් ගයන්නට වෙර දරමි
ගිමන් කල එලවන්ට
වැර වෑයම් කරනට
මිනිසුන් අවදි කරනට

කොරසැඬි වුවද ගයනෙමි
කොවුලන් නොගයන බැවිනි


'පේ‍්‍රමයේ අවනඩුව' බොහෝ විවාපත් වූවන් ගේ අත්දැකීමක් විය හැකි දෙයකි. සමාජය දෙස බැලීමේදී අපට අසන්නට, දකින්නට ලැබෙන ඉතාම සුලබ සිදුවීමක් සඳුන් කවියට නිමිත්ත කර ගනී. පේ‍්‍රමයෙන් බැඳුණු මුල් කාලයේදී අප‍්‍රමාණ ස්නේහයකින් සියලු දේ දරාගන්නා අඹුසැමියන්, පසු කාලයේ දී ඉතා සුළු දේ පවා වරදවා දකී. කෙස්ගසක් නොව, කෙස්ගසක් තරම් නැති දෙයක් වුව නොරිස්සුමට හේතුවක් විය හැකි ය. එහි ඇත්තේ මනුෂ්‍යාගේ අවශ්‍යතාවේ පරිමාණය යි.

කලකට පසුව
වෑංජන දීසියක
කෙස් ගසක් තිබෙනු දැක
ඇද එදා කෙහෙවලියෙන්ම
හිමියනි
තඩිබානවා සැබැයි


මෙ කවියේ දී, කෙස් ගසකට එය සම කළා වුව ද, බොහෝ දේ ට සමපාත ව කුටුම්භ ජීවිත වල දී ඔබ මෙම අවස්ථා විවිධ අයුරින් අත්දකින්නට ඇත. එමෙන්ම බිරින්දෑවරු පමණක් වුව ද, අනෙක් පැත්තට ද එසේ වන අවස්ථා ඕනෑ තරම් දකිත හැකිය. 'බලංගොඩ නිල් මැණික' පේ‍්‍රමයේ නොස්ටැල්ජික මතක පිළිබඳව කියැවෙයි. එම කාව්‍යය හරහා, නිල් මැණික් ම නැති වුව ද, නිල් මැණික් සේ පේ‍්‍රමයෙන් දිදුලන ඇස් පිළිබඳ මතකයන් ඔබට දැනෙන්නට ගන්නවා නිසැක ය.

දිනෙක
කුඩා මිණි කැට දෙකක් සමගින්
කාන්තිය තවමත් විහිදමින්
මග යනෙන මා මැණික නුඹ දැක

ගෙවුඩයක් වී තිබුණ මා සිත
එසැණ දිදුලන නිල් මැණික විණ


පේ‍්‍රමය නම් එසේ ය.

පසුගිය කාලයේ විවාදයට තුඩු දුන් විවිධ නිර්මාණ අතර 'බාලචන්ද්‍රන්', ඉදිරියෙන් ඇති නිර්මාණ නිමිත්තකි. අභියෝග අභියස වුව හදවතේ ගැහෙන සිතුවිළි එළියට ඇද දැමීමට කවියකුට ඇත්තේ පුදුම හැකියාවකි. සඳුන්ගේ මෙ කව ද එවැන්නකැයි අප විශ්වාස කරමු. බාලචන්ද්‍රන් ගැන බිහි වූ බොහෝ නිර්මාණ වලට පාදක වූයේ එ දරුවාගේ අවසාන ඡායාරූපය ලෙසින් සැළකෙන, හිත සසල කරවනු ලබන ආකාරයේ ඡායාරූපයකි. ඕනෑම වැඩිහිටියකුගේ හිත ඉන් සසල වනවා පමණක් නොව, එය දාරක පේ‍්‍රමයද ඉස්මතු කරවන්නකි. එහෙත් 'බාලචන්ද්‍රන්' බොහෝ අයට දරුවකු සේ පෙණුනේ නැත.

මින් මනත කිසිවක්
උපමා කළ හැකි ද සඳකට


ඔහු අසන්නේ එපමණකි. ඒ ප‍්‍රශ්නය අභියස නැත්තේ ද පිළිතුර පමණකි. නිරුත්තර ප‍්‍රශ්න ඉදිරියේ දී බාලචන්ද්‍රන් ලා පමණක් නොවේ 'පටාචාරා' ද වෙයි.

සුන්දර කෙරෙන මෙනුවර
මනහර වීදි අගුවක
දුටිමි මම ඇය සවසක

හැඩපලු ගෙතුණු හිසකිය
නිරාවරිතය උඩුකය
විකල් වී ඇති සිහිය
ඔව් ඇය පටාචාරා ම ය!


පාරට බට කෙනෙකු ට පටාචාරාවන් ද, සෝපාකලා ද ඕනෑවටත් වඩා දැක ගත හැකි ය. එහෙත් ඔවුන්ට අත්වැළක් වන්නට කවුරුන් හෝ ඉඳී ද? සමාජයීය ප‍්‍රශ්න විසඳා ගත හැක්කේ දේශපාලනමය සහ ආර්ථිකමය ගැටළු වලට විසඳුම් සෙවීමෙනි. සෙවීමෙන් පමණක් නොවේ. එම විසඳුම් ලබා දීමේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමෙනි. එසේ නොවන තාක් මඟතොට යනඑන තැන් හී, පටාචාරාවන් මෙන් ම සෝපාකලා ද නිරන්තරයෙන් දකින්නට ලැබෙනු ඇත.

'නූතන පිංගුත්තර'යකු ඉස්මතු කරන්නේ ද සමාජයේ ආර්ථිකමය පැතිකඩයි. අධ්‍යාපන සුදුසුකම් හෝ දක්ෂතාවන් තිබුණ ද ඊට සරිලන සේ රැකියාවක් නොමැති වීම කුටුම්භයක් රැකීමට නොහැකි වෙතැයි ඉන් කියාපායි.

ආදරයක් නැතිව නොවෙයි
බඹසර රකිනවා නොවෙයි
සිව්සැට ශිල්පය උගතත්
රකින්න බැහැ ඇය


එමෙන් ම 'ප‍්‍රවර්ධන යුවතිය' ද ගෙන එන්නේ සමාජ විෂමතාවයි. එය කලු සුදු වශයෙන් ඇති, සුදු පිළිගැනීම පිළිබඳ ව මිනිසා තුළ ඇති වර්ණ ආශක්තභාවය පිළිබඳ අනුවේදනීය අවස්ථාවකි. චර්ම වර්ණ පිළිබඳව කෙනෙකුට වරදකරු විය නොහැකිය. එය උපතින් ගෙන එන්නක් මිස, කිසිවකුගේ හෝ වරදින් සිදුවන්නක් නොව. ස්වභාවය සමඟ අනන්‍ය වී යාමට නොහැකි විට සිතක දැනෙන වේදනාව අපමණ විය හැකිය. අප සිතට ගත යුත්තේ කෙනෙකු කලු ද, සුදු ද යන්න නොව ඔවුන්ගේ ගුණාංග පිළිබඳ ව ය.

අයියේ, අහන්නකො
මමත් සුදු වුණා නම්
කොයි තරම් නම් වාසි ද
මුතූ නම් සුදුයි නේ
දෙසීයක් දවසකට වැඩිපුර
මුතුට නම් ගෙවනවා
කෑමට වුණත් යන්නේ
සුදු අය තමා පළමුව..


කෙනෙකුගේ සිතෙහි රූප මවන්නට භාෂාවට ඇත්තේ පුදුම හැකියාවකි. එක වචනයකට අප‍්‍රමාණ තේරුම් තිබිය හැකි ය. ඒවායෙහි ශබ්දය ද, අවස්ථාව සහ භාවිතා කරනු පුද්ගලයා අනුව ද විවිධ තේරුම් ගෙන දෙයි. සිංහල භාෂාවට අනන්‍ය වූ එවැනි "දෙපැති වදන්" අනන්තවත් දක්නට ඇත. 'කොරියාව' යන වචනය ද එලෙස තේරුම් කිහිපයක් එක් කරනු ලබන්නකි. කොරියාවෙහි ජීවිත, එලෙසම විවිධ ය.

ඩොන්ගල් ද කොම්පියුටර් ද
වෙබ් කැම් ද ස්කයිප් තිර මත
මැවි මැවී හිනැහෙමින්
අම්මාගෙ නෙත කඳුළු පිසලෑව
කොරියාව!

හදිසියෙම
‘වොන්‘ මිටි ගණන්
වමතෙහි තබා
පොඩි මල්ලිගේ
දකුණු අත රැුගෙන
ගෙදර එව්
කොරියාව!


සඳුන් ප‍්‍රියන්කර විතානගේ ගේ කුළුඳුල් කාව්‍ය සංග‍්‍රහය ඔබට පිරිනැමෙන්නේ මෙවැනි කාව්‍ය නිර්මාණ වලිනි. ඔහු ගේ සරල පද ගැලපීම සිත්ගන්නා සුළු වුව ද, විටෙක ඔහුට කියාගන්නට අවැසි වූ දේ කියාගැනීමට සමත් වූවා මදිදැයි සිතේ. එය එසේ වී නම් අවාසියකි. බොහෝ හැඟීම්, හිතේ සංවාද ගොඩ නඟද්දී විටෙක ඒ සියල්ල අකුරු නොවන්නට පුළුවන. සිතීමේ සතතාභ්‍යාසයම, ලිවීමේදී අවැසි බව සමහර කාව්‍ය නිර්මාණ වලදී අපට පෙනේ. එවිට වඩා හොඳින් ඒවා අනෙකා වෙත සන්නිවේදනය කළ හැකි ය.

***

සඳුන් සිතූ පරිදි එහෙටත් වහින්නට ඇත්තේ වසර කීපයකට කලිනි. දැන් ඒ වැහි වැටී ඉපදුණු කැකුළ පීදී හිනැහෙන කාලයයි. ඊටත් වඩා සොම්නසක් තිබෙන්නට පුළුවනි ද​! ​

එහෙටත් වහිනවැති එකේ..... ,

​'​ඈ කුසෙහි මපුතුටත් ඇහෙනවැති​'​ කියල ලියද්දි​, ​ කොල්ලද කෙල්ල ද දන්නෙ නැහැ....
.... ඒත් ලැබුණෙ කොලු පැංචෙක් ම තමා....


බලාපොරෝත්තු ඉටු වන්නේ එලෙසිනි.
අපි සුබ පතන්නේ,
එ වැහි වැටී
ගහකොළ මල් පීදී
ඵල දරන නිසාවෙනි.

***

එහෙටත් වහිනවැති

අසනි දහසක් පිපිරෙන
කොලොම්තොට ගුගුරුවන
තුඟු විසල් මුරුගසං වරුසාව

මෙහි මගේ යැයි කිවැකි
එකම දෙය
මේ කුඩා සිර කුටියෙ
සිරගතව බලා ඉමි, බලා ඉමි

ගලා බැස යන අයුරු
මහ වැස්ස
හදවතත් තලාගෙන

දින ගනිමින් මා ගම එන
බිඳෙන් බිඳ සඳ වගේ මෝරන
අපේ ආදරය
කුස පුරා දරාගෙන
අබලන් සීලිමේ දිගු දෑස් අලවගෙන
කල්පනා කරනවැති

මට වගෙම මේ වැස්සෙ චිරි චිරිය
බිය ජනක අසෙනි හඬ
ඈට විතරක් නෙවෙයි
ඈ කුසෙහි මපුතුටත් ඇසෙනවැති!


තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails