Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එදා මෙදා තුර කාලයේ විවිධ පාලකයින් මෙරට පාලනය කළේ ය. නමුත් එදත් අදත් පාලනයේ සිදු වූ වෙනස්වීම් ජනතා සුබ සිද්ධිය සඳහා ද යන්න නැවත වරක් විනිශ්චය කළ යුතු ය. ඇත්තෙන්ම ලාංකික ජනතාව ගතානුගතිකත්වයෙන් තොර නම්‍යශීලි ආකල්ප මත එළඹගත් වුවෝ ය. එය මනාව වටහාගත් පාලක පන්තිය තම බලය තහවුරු කරගැනීමට සහනාධාර පොදි ලබා දීම අදටත් සිදු වන්නකි. ඇත්තෙන්ම ඒ ලිබරල්වාදය තුළින් බිහි කළ බිළින්දා ය. කුසගිනි වී හඬන බිළින්දාට මව තනපුඩුව මුවට දුන් විගස එය උරන්නට වී කුස පුරවාගෙන මව තුරුලේම නිදන්නා සේද ලිබරල්වාදය නිර්මාණය කළ පුද්ගලයා තුළින් ද එවැන්නක් හැර අන් කිසිවක් බලාපොරොත්තු විය නො හැක. දේශපාලන භූමිකාව තුළ වැඩි බර සහන පොදියට අවනත වෙයි. එතනින් එහා දේශපාලන අයිතිවාසිකම් හමුවේ ඔවුහු නිහඩ ය.

පසු කරගෙන ආ දේශපාලන ඉතිහාසය තුළ බලය හිමි ප්‍රභූ පාලක පංතිය කම්කරු නිර්ධන පංතියේ විරෝධයෙන් වැළැකීමට යම් යම් සුභසාධන ක්‍රියාමාර්ග ගත් හ. ඒ ඔස්සේ විරෝධය පෑ ජනතාව මට්ටු විය. නමුත් පාලක පංතිය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බන්දේසියක තබා මහ ජනතාවට පිළිගැන්වූයේ නැත. ඒ කදුළු ලේකැටි මුසු වූ අරගලයක ප්‍රතිඵලයකි. වර්තමාන නියෝජිත ප්‍රජාතන්ත්වාදයේ දුර්වල සිදුරු ඔස්සේ පසුකරගෙන ආ ඉතිහාසය නැවතත් අප වෙත කැරකෙන්නේ වෘත්තාකාර ගමන් මාර්ගයක අප දෝලනය වන්නාක් මෙනි.

ලංකාව පසුගාමී දේශපාලන සමාජයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සං‍ශෝධනය හැර අන් සියලුම සංශෝධන ජනතා සුභ සිද්ධිය සඳහා නොව පාලකයන්ගේ සුභසිද්ධිය සඳහා වූ ඒවා ය. මේ ඔස්සේ ජනතා හඬක් නො නැගුණි. ඒකාධිපතිවාදය, පවුල් පාලනය, විධායක ධූරය වැනි නිස්කාරණ ප්‍රවාද තුළ ජනතාව ගිල්වමින් යහපාලනය වැනි ප්‍රතිවාද ඔස්සේ ජනතාව පත්ලටම ගිල්වා දැමුණි.

ලිබරල්වාදී රාජ්‍යයක් තුළ සමාජවාදී ආකල්ප කතා කිරීම විහිළුවකි. වාමාංශික වේදිකාව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ අඩපණ වී ඇත. කළ යුත්තේ පවතින ලිබරල්වාදය ප්‍රතිසංවිධානය කිරීමයි. සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග තුළින් හැකිතාක් පාලන ක්‍රමවේදයට ඇතුළත් කර දේශපාලකයින් ජනතාවට සමීප කිරීමයි. ජනතාවට වගකියන දේශපාලකයින් ඇති කිරීමයි.

සෘජු ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹිඹු වන ප්‍රාථමික ජනතා මණ්ඩල ක්‍රමය, ජනමත විචාරණ ක්‍රමය, නිතී ප්‍රාරම්භනය කිරීම, නියෝජිතයන් ආපසු කැඳවීමේ ක්‍රමය සහ වැදගත් දේශපාලන ප්‍රශ්න සඳහා ජනතාවගේ අදහස් විමසීම හෙවත් ප්ලෙබිසයිට් ක්‍රමය වැනි ක්‍රමයන් තුළින් දේශපාලකයින් ජනතාවට වඩාත් සමීප කළ හැකි ය. මේ ඔස්සේ ජනතාව දැඩි ලෙස පාලනයට සහභාගි කරවාගත හැකි ය. ඇත්තෙන්ම නූතන වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය මගින් ජනතා මතය ඒ ආකාරයෙන්ම පිළඹිඹුවනවා යැයි කිව නො හැක. සත්‍ය වශයෙන්ම ඒ හරහා ජනතාවගේ බහුතර මතය විනා පොදු අභිමතය නියෝජනය වීමක් සිදු නොවේ. ඇත්තෙන්ම අද ප්‍රබලව හිස ඔසවා ඇති දේශපාලන පක්ෂවල අධිපතීත්ව බලයෙන් මහජනතාව තෙරපී සිටී. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හරහා සිදුවිය යුත්තේ ඡන්ද දායකයින්ගේ පොදු අභිමතය නියෝජනය කිරීම වුවද සිදුවන්නේ පක්ෂයේ අභිමතයට ඡන්ද දායකයා නම්මවා ගැනීමයි.

ජනමත විචාරණය මේ වන විටත් ලංකාවේ නිතීය තුළ ඇතුළත් වුවද එක් අවස්ථාවක දී ක්‍රියාත්මක වී ඇති අතර එය ද කපටි ක්‍රියා මාර්ගයක් ලෙස පමණි. ප්ලෙබිසයිට් ක්‍රමවේදය තුළින් වැදගත් දේශපාලන ප්‍රශ්නයක දී ජනතාවගේ අදහස් විමසීම සිදුවන අතර ජනමත විචාරණයක දී මෙන් නිතී සකස් කිරීමට මෙමගින් කෙළින්ම සම්බන්ධ නො වේ.

ස්විස්ටර්ලන්තයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ප්‍රාරම්භන ක්‍රමවේදය තුළින් ව්‍යවස්ථාදායක ක්ෂේත්‍රයට ජනතාවට ද ඉඩ සලසා දෙයි. අලුතින් නිතී පැනවීම සඳහා පවතින නිතී සංශෝධනය කිරීම සඳහා පවතින නිතීයක් අවලංගු කිරීම සඳහා ඡන්ද දායකයින් යම් ප්‍රමාණයක් අත්සන් කරන ලද යෝජනාවක් මගින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමක් සිදු වේ. මෙය පෙත්සමක් සේ ආයාචනයක් නො වන අතර මහජනතාව ගෙන එන යෝජනාව ක්‍රියාත්මක කිරීමට ද ආණ්ඩුව බැදී සිටී.

ඒ වගේම පුනරාවර්තනය හෙවත් නැවත කැඳවීම වැනි ක්‍රියාමාර්ග තුළින් මහජනතාව විසින් තෝරා පත් කරන ලද නියෝජිතයන් හෝ විවිධ නිලධාරීන් තමන්ට පැවරී ඇති වගකීම් නිසි ආකාරයෙන් ඉටු නො කරන්නේ නම් ඔවුන් නැවත කැඳවිය හැකි ය. මෙය සාර්ථක මෙන්ම යහපත් ක්‍රියාමාර්ගයක් සේම එමගින් මහජන නියෝජිතයින් හා නිලධාරීන් අල්ලස් ගැනීම වැනි දූෂණ කටයුතුවලට යොමු වීම වළක්වමින් වගකීම් ඉටු කරන ජනතා නියෝජිතයින් හා නිලධාරීන් පිරිසක් නිර්මාණය කළ හැකි ය. මෙය දැනටමත් ඇමරිකාවේ සමහර ප්‍රාන්ත තුළ, ස්විස්ටර්ලන්තයේ, චීනයේ ප්‍රායෝගිකව සිදුවන අතර ඒ යම් ප්‍රමිතීන් කිහිපයකට යටත්ව ය.

සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට වැඩි මුදලක් ගත වන බව තර්ක කළ ද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම තුළින් අල්ලස්, දූෂණ, නුසුදුසු වියදම් අවම කර ගැනීමට හැකි වීමෙන් එම තර්කය නිශ්ඵල වේ. එමෙන්ම මෙවැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට දේශපාලන දැනුම මුහුකුරා ගිය සමාජයක් ලංකාව තුළ නොමැති යැයි තවකෙකු කිව හැකි වුව ද කළ යුත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංවිධානය කරමින් දේශපාලන දැනුමෙන් මුහුකුරා ගිය සමාජයක් බිහි කිරීමට කඩිනම් පියවර ගැනීම යි.

ඇත්තෙන්ම මෙය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් නම් ප්‍රජාතන්ත්‍රවාදය අප අත් විඳිය යුතු ය. එය කොතෙක් දුරට අත්විදින්නේදැයි අප කාගෙත් විනිශ්චයට ලක් විය යුතු ය. අල්ලස් දූෂණ තුරන් කිරීමට පාට පක්ෂ මාරු කිරීම නොව කළ යුත්තේ පාලන ක්‍රමය වෙනස් කිරීම යි. අවශ්‍යව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග තුළින් ජනතාවට වගකියන නියෝජිතයින් බිහි කිරීම යි. විධායක ධූරය ජනතාවට හිසරදයක් නොව විධායක ජනාධිපතිවරයාට පටවා ඇති බලතල සීමා කිරීම නම් අත්‍යවශ්‍ය ය. 17 වන ව්‍යවස්ථා සංශෝධනය සක්‍රීය කිරීම හරහා ද 18 වන ව්‍යවස්ථා සංශෝධනය අක්‍රීය කිරීම හරහා ද විධායක ජනාධිපති ධූරය බලපෑමකට ලක් කළ හැකි ය. එමෙන්ම ‘සහ හැසීරීම්’ තත්ත්වයක් තුළ විධායක ජනාධිපති ධූරය පාලනය කළ හැකි ය. මෙහිදි සහ හැසිරීම යනුවෙන් අදහස් කළේ විධායක ජනාධිපති ධූරය එක් පක්ෂයකින් ද පාර්ලිමෙන්තුවේ ආණ්ඩු පක්ෂය තවත් පක්ෂයකින් පත් විම ය. නමුත් මීට පෙර විධායක ජනාධිපති ධූරයේ දැඩි බලතල සීමාවකට ලක් විය යුතු ය. ඇත්තෙන්ම 17 වන ව්‍යවස්ථා සංශෝධනය වැනි වැදගත් සං‍ශෝධනයන් සම්මත වුයේ ද මෙවැනි සහ හැසීරීම් තත්ත්වයක් තුළ බව කිව යුතු ය. එවැනි තත්ත්වයන් ඇති කිරීම ජනතාව සතු කාර්යයකි.

පාර්ලිමේන්තු ක්‍රමය තුළ මහජන ස්වාධිපත්‍ය තහවුරු වේ යැයි සැක සහිතය. මන්ද එය බුද්ධිමතුන්ගේ ආයතනයකට වඩා බලවතුන්ගේ ආයතනයක් යැයි හැදින්වීම උචිත බැවිනි. එමෙන්ම මහජන නියොජිතයින් හරහා පක්ෂයේ නැතිනම් ඔවුන්ගේ න්‍යාය පත්‍රයකට, ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයකට ජනතාව නම්මවා ගැනීම සිදු වෙයි. එනම් ජාතික අාශාවන් අභිබවා පටු පක්ෂ ආශාවන් ඉස්මතු වෙයි. ඇත්තෙන්ම දේශපාලන පක්ෂයක් බලයට පත් වූ පසුව ඊළඟ මැතිවරණය දක්වාම ජනතාව නො සලකා හැරීම නිරන්තරයෙන් සිදුවන කරුණකි. ඇත්තෙන්ම පාර්ලිමේන්තු ක්‍රමයක තනි පක්ෂයකින් කැබිනට් මණ්ඩලය සමන්විත වූ විටක පවතින විධායක ජනාධිපති ධූරය සේම අගමැතිගේ විධායක බලය දැඩිව ප්‍රබල වන බව කිව යුතු ය. ඒ වගේම මෙහිදි අමාත්‍යවරුන් මහජන නියෝජිතයින් වන නිසා අමාත්‍යාංශ පරිපාලන ක්ෂේත්‍රය දේශපාලනීකරණය වීම ද උග්‍ර වන්නේ ය. අකාර්යක්ෂම භාවය ද අස්ථාවර භාවය ද පාර්ලිමේන්තු ක්‍රමයක ඇති වන්නේ ය. එමෙන්ම වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ ජනතා විශ්වාසය මිය යමින් පවතින බැව් ද සත්‍යකි.

මැතිවරණ ව්‍යාපාර තුළ 'යහ පාලනය', 'ජාත්‍යාලය' නැතිනම් 'රට පිළිබද අභිමානය' කියාපාමින් කැටයම් කළ දේශපාලන පාඨ වෙනුවට සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග වූයේ නම් දේශපාලනීකරණය ඉබේම නැවතෙනු ඇත. අල්ලස් දූෂණ ද නැවතෙනු ඇත. සංවර්ධනය කරා යන දීර්ඝ ගමන කෙටි වනු ඇත. ජනප්‍රියවාදී දේශපාලන පාඨ තුළින් ඡන්ද එක්රැස් කිරීමට දේශපාලකයින් පුරුදුව ඇත්තේ තම බලය තහවුරු කර ගැනීම සඳහා පමණක් ම ය. එනිසා ඔවුන් බලය තහවුරු කර ගැනීම අරඹයා ප්‍රජාතන්ත්‍රවාදී මතයන් ඉදිරිපත් කිරීමට බිය වෙයි. නමුත් ජනතා හඬ තුළින් වත් ප්‍රජාතන්ත්‍රවාදී මතයන් නො ඇසෙන්නේ මන්දැයි ගැටළුවකි.

සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග මගින් මහජන ස්වාධිපත්‍ය සෑබෑ ලෙසම ආරක්ෂා කර ගත හැකි අතර තම ආශාවන් අභිමතයන් වඩාත් හොදින් ඉටු කර ගැනීමට මහජනතාවට හැකි ය. වෙනසක් අවශ්‍ය වන්නේ මෙරට පාලන ක්‍රමවේදය තුළ යි. එනම් ලාංකීය දේශපාලන මුහුණුවර ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවයකට ගෙන ඒම යි. නිස්කාරණ ප්‍රවාද ඔස්සේ මහජනතාව රැවටීමට වඩා ඵලදායී ක්‍රියාමාර්ග තුළින් මහජනතාවට වගකියන මහජන නියෝජිතයින් නිර්මාණය කිරීමෙහි දැඩි අවශ්‍යතාව අද මතු වී තිබේ. ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යක් වන බැවින් සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බව කිව යුතු ය.

ලෝකය දියුණු දේශපාලන ක්‍රමවේද නිර්මාණය කරමින්, නිතී පද්ධතියට ඇතුළත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ හිණිපෙත්තටම යන ගමනේ දී අප තවමත් පසුගාමී දේශපාලන වතාවරණයක පල් වීම ශෝචනීය ය.

එච්. පී. එම්. ඒ. කේ. කුලතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails