Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පසුගිය ජනවාරි අටවෙනිදා ලංකාවේ සිදුවුනේ ප්‍රංශ විප්ලවයක් වගේ දෙයක් නොවන නිසා කම්බ හොරු- කෙහෙල්කැන් හොරු වී, කෙහෙල්කැන් හොරු- කම්බ හොරු වී, පරණ හොරු යටවී, අලුත් හොරු මතුවී, ඉතා ජොලියෙන් කාලය ගෙවී යයි. නිකමට හෝ එදා ප්‍රංශ විප්ලවයක් වගේ දෙයක් සිදු වූවා නම් සියළු හොරු ගෝල්ෆේස් පිටියට ගාල්කර එවෙලේම නඩු අසා ගිලටීනයට දක්කාගෙන යන සිද්ධි මේ දවස්වල අපට දැකගත හැකි වනු ඇත. හොරු ඇල්ලීම විය සිදුරෙන් අහස බලනවා වාගේ වී තිබෙන්නේ ඇයි...? ඒ හොරු සහ සාමාන්‍ය ජනතාව අතර වෙනස කෙස් ගසක් තරම් කුඩා වී ඇති නිසාද....? එහෙමත් නැත්නම් දේශපාලනය, ආයෝජනය, සංවර්ධනය, වංචාව, හොරකම්, කොමිස්, ලාභාංශ වාගේ වචන එකට පැටලී ඇති නිසාද....?

පසුගිය දශක දෙකක් පමණ ලෝකයේ සීඝ්‍රයෙන් 'සංවර්ධනය' වූ රටක් වන්නේ ඩුබායි රාජ්‍යයයි. ආයෝජන සදහා කිසිදු සාධනීය ආකර්ශණයක් නැති ඩුබායි රට ආයෝජකයන්ගේ සිහින කොදෙව්වක් බවට පත් කලේ 'Hawala Route' නම් ආයෝජන උපක්‍රමයක් තුලිනි. මේ තුළින් ලෝකයේ ඕනෑම තැනක ගොඩගැහී ඇති කළු සල්ලි ඉතා පහසුවෙන් ඩුබායිහිදී ආයෝජන බවට පත්කළ හැකිය. Havala හරහා පසුගිය කාලයේ තොග පිටින් ආයෝජන ඩුබායි රාජ්‍යය තුළට ඇතුළුවී එය සිහින රාජ්‍යක් බවට පත්විය. සංවර්ධන හීනයක ජීවත්වන අපේ රටේ බහුතරයක් මිනිසුන් ප්‍රර්ථනා කරන්නේ මේ වගේ 'එක්ස්ප්‍රස් සංවර්ධන විප්ලවය'කි.

ලංකාවේ අවුරුදු පහ හයකට වරක් මැතිවරණ පවත්වා ජනමතය ටෙස්ට් කරන බැවින් සහ එම ටෙස්ට් කිරීම් වලදී දේශපාලකයින්ගේ මෙන්ම ජනතාවගේ ද විමසුම් සාධකය වන්නේ පාලම්, බෝක්කු, පාරවල්, ගොඩනැගිලි, සමනල වර්ණ ව්‍යාපෘති ආදියයි. එමනිසා දේශපාලකයෝ ලෝකය පුරා කරක් ගසා ලංකාද්වීපයටත් ඩුබායි වර්ගයේ ඇහැට පෙනෙන සංවර්ධනයක් ගෙන ඒමට මහන්සි වෙති. මේ ගේම් එකේ කප්පිතෙක් වුනු මරා, චීනය සමග පමණක් නොව HSBC වැනි බැංකු වලින් පවා මුදල් හොයාගෙන මිනිසුන්ගේ ඇහැට පෙනෙන සංවර්ධන දොළදුක පිනවීය. මේ දේවල් රටේ ජනජීවිතයේ ගොඩනැගුමට කොතරම් වැදගත් ද යන කාරණය කවුරැවත් කාගෙන්වත් අසන්නේ නැති අහසේ රැඳෙන ප්‍රශ්ණයකි.

මෙකී සංවර්ධන ඩීල් සංවිධානය කරන සේල්ස් රෙප්ලා රටේ මිනිසුන් හඳුනාගන්නේ ක්‍රියාශීලි මිනිසුන් හෝ සංවර්ධනයේ නියමුවන් වශයෙනි. මරාගේ ආණ්ඩුවේ සංවර්ධන ඩීල් සංවිධානය කළ උන්නැහේලා පට්ට හොරු බවට පත්වී ඇති අතර අලුත් ආණ්ඩුවේ ආයෝජන සේල්ස් රෙප්ලා තවමත් පෙනෙන්නට නැත. හෙට අනිද්දා ඔවුන් ද සංවර්ධනයේ නියමුවන් ලෙස කරළියට පැමිණ බැබලෙන්නට පටන් ගනු ඇත. ඉන්පසුව ඊලග වටයේදී මොවුන් පාගාකාරයන්, හොරුන් ලෙස රූපාන්තරණය වනු ඇත.

වර්තමාන කැබිනට් මණ්ඩලය ඉතා අපූරු මිනිසුන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයකි. එහි රාජ්‍ය ආයතන ගිලින ලද මිනිසුන් මෙන්ම සිනමා ශාලාවල ටිකට් නිකුත් කරන්නෙකුගෙන් ජීවිතය පටන් ගෙන සිනමා ශාලා කිහිපයක අයිතිකාරයෙක් දක්වා 'දුක දිනා ඉහළට' ගිය මිනිසුන් ද ඇත. වාසනාවකට හෝ අවාසනාවකට මරා සහ පිරිසගේ මෙගා ඩීල් නිසා මොවුන්ගේ ඩීල් කාලයාගේ දුහුවිලි අතර සැඟව ගොස් ඇති අතර දෛවය විසින් මොවුන්ව නුතන හොරුන්ට එරෙහිව විනිසුරුවන් බවට පත් කොට ඇත!

ලංකාවේ බොහෝ ආර්ථික ඔස්තාර්ලා අපේ රට හදන්න උදාහරණ ගන්නේ සිංගප්පුරුවෙනි. හැමෝම දඟලන්නේ රට සිංගප්පුරුවක් කිරීමටය. සිංගප්පුරුවේ රාජ්‍ය මොඩලය හදුන්වන්නේ "strictly governed state" යනුවෙනි. එරට ඉතා දැඩි ලෙස නිර්ආගමික, ඒකවිධ දේශපාලනයක් ක්‍රියාත්මක කරයි. රට තුල වෙසෙන සියළු ආගමිකයෝ සහ ජාතීහු යුනිෆෝම් සිස්ටම් එකක් තුල කීකරුව සිටින්නෝය. පාරිභෝගික භාණ්ඩ සහ මිනිසා අතර වෙනස මැකී වියැකී යමින් පවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ අපි හීනයෙන් ප්‍රාර්ථනා කරන හොර බොරු නැති රටක් බිහිවී ඇත.

දැන් අපි සිස්ටම් දෙකක් මැද හිරවී සිටින්නෙමු. අපේ ඇඟ දුක් විදින්න අකමැතිය. අපි වරු තුන හතරකින් රට සංවර්ධනය වෙනවා දකින්නට කැමැත්තෙමු. බඩ පැලෙනකම් කෑමට කැමැත්තෙමු. දෙමළාට වැඩියෙන් අපිට කන්න ලැබුනොත් අපිට ආතල්ය. මුස්ලිම් එවුන්ට කෙළවුනොත් අපට ආතල්ය. උතුර, දකුණ, කොළඹ, ගම, වී ගොවියෝ, අල ගොවියෝ, දේශප්‍රේමියෝ, ජාති ආලයෝ, යු.එන්.පී.කාරයෝ, පෙරමුණු කාරයෝ, කන්තෝරුකාරයෝ ආදී හැට හුට හමාරක් ගෝත්‍ර වලට බෙදී අනෙකාට වැඩිය ආතල් ගැනීමට අපි කැමැත්තෙමු. දේශපාලකයින්ට රටේ බහුතර මිනිසුන් දෙන පණිවිඩය නම් අපේ ආතල් කඩන්නේ නැතුව රට සංවර්ධනය කරන ලෙසය. එතකොට හමුවන්නේ ඩුබායි රටය. හොරකම් නීතිගත කලවිට හොරුන් ද නැතිවේ. ඒත් අපේ ඔලුව ඉල්ලන්නේ සිංගප්පුරුව වගේ කිරි ටොයි ආණ්ඩුවකි. පාලකයින් හීනෙන්වත් හොරකම් නොකරන, ඇල්වතුර පවා හොඳින් නිවා පානය කරන වර්ගයේ අය වෙනවා දකින්නට අපි කැමැත්තෙමු.

හොරුන්ට එරෙහිව මේ දවස්වල වීදි බැස සිටින මිනිසුන්ට තව බොහෝ කාලයක් වීදියටම වී සිටින්නට සිදුවෙන බවක් පෙනෙන්නට ඇත. මන්ද යත් දැන් දැන් අලුත් හොරු බිහිවෙමින් සිටින බැවිනි. වාසනාවකට මෙන් අලුත් හොරුන් විසින් පරණ හොරුන්ගේ පවු සමාකරන නිසා හොරුන්ට එරෙහිව විදී බසින 'මෑන් පවර්' එකේ අඩුවක් නොවනු ඇත.

මෙසේ මාරුවෙන් මාරුවට හොරු එලවමින් සිටින මිනිස්සුන්ට මොහොතකට හරි මහන්සියක් හෝ තෙහෙට්ටුවක් දැනුනොත් ඔවුන්ට දෙන්න තියන අවවාදය නම් කලබල නොවන ලෙසටයි. එවිට පුලුවන්නම් මඳක් හැරී බලන්න. හොරු කියන්නේත් සිස්ටම් එකේම කොටසක් බවත්, ආතල් කඩාගෙන සිස්ටම් එක වෙනස් කළොත් පමණක් හොරු නැති රටක මිනිසුන් ලෙස ඉන්නට පුළුවන් වන බවත් එවිට පෙනෙනු ඇත.

සරද සමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails