Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"චිත්‍රපටියක් සඳහා පෙම් යුවළක් ඕනෑ කර තිබේ. ඔබ පෙම්වතුන් ද? එසේ නම් මේ අවස්ථාව ඔබටයි. චිත්‍රපටියක පෙම් යුවළකගේ චරිතය රඟපෑම සඳහා සැබෑ පෙම්වතුන් යුවළක් වුවමනා කර තිබේ. පෙම්වතියගේ උස අඩි පහයි අඟල් දෙකයි හා පෙම්වතා උස අඩි පහයි අඟල් හතරට නොඅඩු යොවුන් පෙම් යුවළක් විය යුතුය. ආදරේ උණුසුම හඳුනන ආදරයේ කඳුල දැනෙන හදවතින් බැඳුණ යුවළක් විය යුතුය."

මෙය චිත්‍රපටි අධ්‍යක්ෂකවරයකු විසින් සිය නඑ නිළියන් සොයාගැනීම සඳහා සත්‍ය වශයෙන් පුවත්පතක පළකරන ලද දැන්වීමක් නොව උදයසිරි වික්‍රමරත්න නාට්‍යකරුවාගේ නවතම නිර්මාණව වන "පෙම් යුවළක් ඕනෑ කර තිබේ" නාට්‍ය නිර්මාණයේ ප්‍රවේශයයි.

ඔහු මෙවර සිය නාට්‍යය තුළින් ප්‍රේමය සංකල්පයක් මෙන් ම හාවිතයක් ලෙස අද්‍යතන සමාජය ව්‍යුහයන් තුල ගැටී ප්‍රතිනිෂ්පාදනය වන ආකරය සහ ඒ තුළ පවතින අර්බුදයේ යම් පැතිමානයන් නාට්‍ය වේදිකාව මත ප්‍රතිනිර්මාණය කරයි.

ප්‍රේමය කලා නිර්මාණ සඳහා වස්තු විෂයය වන්නේ මිනිස් සංහතියේ බිහිවීමේ මුල සිට බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් සමාජ පරිණාමය තුළ විවිධ මානව හැඟීම් සහ සබඳතාවන් හි ස්වරූපය සහ අන්තර්ගතය තීරණය වන්නේ ඒ ඒ කාලයන් හි පැවතුන සමාජ දේශපාලනික තත්වයන් සහ නිෂ්පාදන සබඳතාවන් මිනිසා කෙරෙහි බල පැවෙත්වෙන ආකරය අනුව යි. එනයින් ගත් කල වර්තමාන පාරිභෝගික සමාජය තුල ද ප්‍රේමය නැමැති අති සුන්දර පරම රමණිය හැඟීම් මාලාවන්ට ද එහි පුද්ගල සහ සමාජ භාවිතයන් සඳහා ද ලැබෙන්නේ එම සමාජ ව්‍යුහය මගින් ම තීරණය වී ඇති, එයට අයිති "මිල" පමණි.

මෙහි දී මෙම ප්‍රේමය පිළිබඳ කතිකාවට සහ නාට්‍යයේ තේමාවට අතිශයෙන් අදාළ සුචරිත ගම්ලත් විසින් පවත්වන ලද දේශන මාලාවක පරමාදර්ශී ප්‍රේමය පිළිබඳ පැවසු අදහසක් සහ ස්ලෙවොයි ජිජැක්ගේ කථාවක කොටසක් උපුටනයන් ලෙස ඉදිරිපත් කිරීම පැහැර හැර මෙම විමංසනය ඉදිරියට කරගෙන යෑම අසීරු යැයි මට සිතේ.

"මම මහනුවර දී සහෝදර කට්ටියකට කිව්වේ, ප්‍රේමය නෑ අද ලෝකයේ කියල. ඒ ගොල්ලො පුදුම වුණා. ඒ ගොල්ලො කිව්වා අපිට තියෙනවා කියලා. මම කිව්වා ඒ තියෙන ඒවාට ප්‍රේමයේ අහල ගම් හතකට කිට්ටු වෙන්න බෑ කියලා. ඒවා නර පණුවන්ගේ ප්‍රේම.
ඇයි? සැබෑ ප්‍රේමයට කොන්දේසි තුනක් ඕනැ. පළමු කොට සකල මානව සංහතිය මේ ප්‍රේමය නැමැති මනෝභාවය සම්බන්ධයෙන් වර්ධනය කරපු කාව්‍යයේ, කලාවේ, ජීවිතයේ හැම තැන ම සංවර්ධය කරපු සකල සංවේදිතාවන් ගැබ්වෙන්න ඕනැ මේ පුද්ගලයන් තුළ. එහෙම අය කොයෙ ද අද ඉන්නේ පිග්මියෝ මිසක්?

දෙක: සකලවිධ දුව්‍යමය කරදර, කම්කටොඑ, වගකීම්වලින් විනිර්මුක්ත ව ඉන්ට ඕනැ. විනිර්මුක්ත ව විමුක්ති සුඛපටිසංවේදයෙන් යුක්ත ව ඉන්ට ඕනැ. නැත්නම් ප්‍රේමය නෑ. එතකොට ප්‍රේමය කියලා එන්නේ වෙන එකක්.

තුන: මානව සංස්කෘතියෙහි පාරප්‍රාප්ත වූ සමාන වූ පුරුෂයෙක් සහ ස්ත්‍රියක් අතර ඇති වන්නා වූ දෙයක් ප්‍රේමය. එහෙම සමාන අය කොහො ද ඉන්නේ? එකෙක් අපෝහක භෞතිකවාදියෙක් වන අතර අනෙකා සායි බබා අදහනවා. ඒ ගොල්ල එක්කලා මොන ප්‍රේම ද?

පරීක්ෂා කරලා බැලුව හොත් ප්‍රේමය මේ වගේ දෙයක් නේ. ඒක නිසා භය, ක්‍රෝධය, සෝකය, සන්තාපය, ප්‍රහර්ෂය, ප්‍රමුදිතතාව, ආනන්දය කියන දේවල් හුදෙක් මනස තුළ, බාහිර ලෝකයෙන් කැපිලා වෙන් වෙච්ච පුද්ගලයෙකුගේ ඊනියා මනස තුළ ඇතිවෙන හැඟීම් නෙවෙයි. මේවා බාහිර ලෝකය අරක් ගෙන සිටින්නේ. ඒ අරක්ගෙන සිටින්නේ හුදෙක් සාමාන්‍ය නර පණුවෙක් විසින් නෙවෙයි මානව සංහතියේ සකල සංස්කෘතියෙන් සන්නද්ධ වූ මනුස්සයෙක් හැටියට..."

(-286 පිටුව, කලාව හා විඤ්ඤාණවාදය- මහාචාර්ය සුචරිත ගම්ලත්- 1996)

"...ඒත් එක්තරා මොහොතක, සමහරවිට ලස්සන නාට්‍යමය අවස්ථාවකට පස්සේ, ඔබට ඔහු හෝ ඇය හමුවෙනව. අපි හිතමු ඔබ මහපාරේ දෙනෝදාහක් මැද ලිස්සල වැටෙනව. කවුරුහරි නන්නාඳුනන කෙනෙක් ඔබට නැගිටින්න අත දෙනව. බලනකොට ඇය ලස්සන, ඔබේ හද ඇද බැඳ ගන්න සමත් ගෑනු ළමයෙක්. ඔබලාගේ ඇස් ගැටෙනවා. ඔබ ආදරයෙන් බැදෙනවා. ඊටපස්සේ ඔබ කියනවා දෙවියනි මම ජිවිත කාලයම බලාගෙන හිටියේ ඔබ හමුවෙනකම් කියලා. මේ වගේ ආදර අවස්ථා වලින් මිනිස්සු තම ජීවිතේම වෙනස් කරගන්නවා. තමාගේ සම්පුර්ණ අතීතය සහ වර්තමානය මේ වගේ සුවිශේෂී මොහොතවල් වලට පස්සේ හැරවුමකට ලක්කර ගන්නවා.

එහෙත් මම හිතන්නේ මේ වගේ අවස්ථා දැන් සමාජයේ එන්න එන්නම විරල වෙනවා. බොහෝ බුද්ධිමත් සංස්කෘතික කවයන් දැන් ප්‍රශ්න කරනව අපි ආයෙත් පුර්ව නුතන ආදර සම්බන්ධතා සංස්කෘතියකට යනවා කියලා. ඉස්සර ආදර හෝ විවාහ සම්බන්ධතා නිර්මාණය කරන්නේ තමාගේ ආත්මයෙන් පිටත කෙනෙක්. අම්මා, තාත්තා හෝ පවුලේ නෑයෙක්. එහෙමත් නැතිනම් ඉඩමක්, දේපොලක් වගේ භෞතික දෙයක්. ෂොක් එකට එතන ඉඩ නෑ. සම්බන්ධතාවය එන්නේ පිටින්.

මොඩර්න් කියල හදුන්වන අද සමාජය වැඩ කරන්නෙත් මේ දිශානතියටමයි. අද තියෙන්නේ ඩේටින් ඒජන්සීස්. ඔවුන් කියන්නේ ආදරයෙන් බැඳෙන්නේ නැතුව ආදරය කරන්න කියල. (love without fall) ආදරයෙන් බැඳුනම කරදරයි. අපි ෂොක් වෙනව. ජිවිතයේ දිශානතිය වෙනස්වෙනවා. බෙදා හදා ගන්න වෙනවා. ඒක නිසා අපි බැඳීම් වලට බයයි. ආදරය, එහි හැඟීම්කාරකය සහ වින්දනය එහෙම පිටින්ම ගන්නේ නැතුව අපි කැමති එහි විච්ඡේදනය වුනු කොටසක් පමණක් අරගෙන කරදරයක් නැතුව ඉන්න. දැඩිව නොබැඳුණු ආදරයක් හසුරුවාගන්න හරි පහසුයි. අපට කැමති වෙලාවක, කැමති තැනකින් පටන්ගෙන කැමති වෙලාවක ඉවර කරන්න පුළුවන්. ඒක අපේ භෞතික ජීවිත එක්ක ගැටෙන්නේ නෑ.

මම නිතරම කියන මගේ ජනප්‍රිය විහිළුව මෙතනට අදාළ කරගන්න පුළුවන්. සීනි කෑවම ලෙඩ හැදෙනව. ඒක නිසා අපි කැලරි නැති සීනි කාල සීනි කෑමේ ආශාව තෘප්ත කර ගන්නව. මේ වගේ අපට ඇල්කොහොල් නැති බීර, නිකොටින් නැති සිගරට් හමුවෙනවා. ඒ වගේම තමයි සෙක්ස්. සැබෑ ලිංගික තෘප්තිය කියන්නේ ශරීරය සහ මනස තෘප්තිමත් කර‍ගෙන කරන ලොකු ක්‍රියාවලියක්. ඒක බැඳීමක්. ඒ වෙනුවට නිල් චිත්‍රපට වගේ පහසු මාර්ග අපට හමුවෙනව. ඒ වගේම විරුද්ධ ලිංගිකයාගේ අතින්වත් අල්ලන්නේ නැතුව ලිංගික තෘප්තිය විදින්න අපට පුළුවන්. හරියට ආදරයෙන් බැඳෙන්නේ නැතුව ආදරය කරනව වගේ...!"

(-ආදරය කියන්නේ ආදරයෙන් නොබැඳීමද? ස්ලෙවොයි ජිජැක්- පරිවර්තනය- සරද සමරසිංහ)

මෙම නාට්‍යයෙන් ප්‍රේක්ෂක අවධානයට ලක්වන මූලික කාරණයක් වන්නේ අද්‍යතන සමාජය තුල ජීවත්වන බහුතර මිනිසුන් සහ ගැහැණුන් සමස්තයක් වශයෙන් ගත් කල මානව සංහතියේ සකල සංස්කෘතියෙන් සන්නද්ධවීම කෙසේ වෙතත් එහි අංශුමාත්‍රයකවත් ඇසුරක් ලැබීමට තරම්වත් වරම් නොලදවුන් බවයි. ඔවුන් බොහෝ දෙනෙකුට සැබෑ ආදර බැඳීමෙන් තොරව ආදරය කිරීමට සිදුව ඇති බවයි. එවන් සුන්දර වූ පරමාදර්ශී විය හැකි ප්‍රේමය සහ එහි භාවිතය ඔවුන්ගෙන් පරාරෝපණය වී ඇති ආකරයයි.



පුවත්පත් දැන්වීමට ප්‍රතිචාරයක් වශයෙන් පැමිණෙන "සැබෑ" පෙම්වතුන් සහ පෙම්වතියන් චිත්‍රපටි අධ්‍යක්ෂකවරයාට ඒත්තු ගන්වන්ට තැත් කරන්නේ තමන් සැලමුතු ප්‍රේමයේ අනභිභවනීය සංකේතයන් බවයි. සම්මුඛ පරීක්ෂණයේ දී එක් පෙම් යුවළකට ආදර දෙබසක් තෙපලමින් රඟපා පෙන්වීමට ඉල්ලා සිටින විට ඔවුන් කියා සිටින්නේ ඔවුනට එසේ කළහැකිවන්නේ සිය ජංගම දුරකථනය හරහා පමණක් බවයි. එනම් ඔවුනට ආදර හැඟීම් පහළ වන්නේ ජංගම දුරකථනය සියතට ගත් විට පමණක් බවයි! එමෙන් ම තම සත්‍ය ප්‍රේමයේ උපත සිදු වූයේ ම "මිස් කෝල්" එකක් මගින් බවයි. වර්තමාන පාරිභෝගික සමාජය තුළ සංවේදී මිනිස් සබඳතා, සැබෑ වටිනාකම් වලින් තොර හුදෙක් දේවල් සහ දේවල් අතර සබඳතා ලෙස පිරිහී ඇති ආකරය මෙම නාට්‍යයෙන් ප්‍රකාශ වන්නේ එවන් ආකාරයට ය.

නාට්‍යකරුවා මෙම ව්‍යාඡ පෙම්වතුන් සහ පෙම්වතියන් අතරට එකිනෙකා ගේ ප්‍රේමය වෙනුවෙන් කැපවී සිටින බවට ශපථ කරන පෙම් යුවළක් නාට්‍යය තුළ ඇති චිත්‍රපටියේ රඟපෑමට තෝරා ගනියි. එම පෙම් යුවළ ගේ දෘෂ්ටිකෝණයෙන් ඔවුන් මෙම චිත්‍රපටියේ රඟපෑමට එකඟ වන්නේ එමගින් තමන් දෙදෙනා සත්‍ය වශයෙන් ම ප්‍රේමය වෙනුවෙන් කැප වී ඇති බව, චිත්‍රපටිය මගින් තම දෙමාපියන්ට පෙන්වීම සඳහා ය. එමගින් ඔවුන් ගේ විරුද්ධත්වය මග හරවා ගෙන ඔවුන් ගේ ආශිර්වාදය ලබා ගැනීමටය.

නාට්‍යකරුවා මෙම අව්‍යජ පෙම් යුවළ විසින් සමාජ ප්‍රශ්න මුල් කරගෙන කෙරෙන කෙටි සංවාද ප්‍රේක්ෂ අවධානයට යොමු කරයි. එම සංවාදයන් හි අන්තර්ගතයේ යම් විෂයය මූලික ප්‍රතිවිරෝධයන් තිබුණ ද එමගින් ඔහු අවධාරණය කරන්නේ පවතින සමාජ යථාර්ථයන් ගෙන් පළාගොස් මිනිසුන්ට සහ ගැහැණුන්ට සැබෑ ප්‍රේමය සාක්ෂාත් කරගත නොහැකි බවයි. එවන් පළා යෑමටකට උත්සාහයක් ගත් සැණින් ඔවුනොවුන් ගේ ප්‍රේමය පවතින සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතිය තුල අර්බුදයන්ට ලක් විය හැකි බවයි.

නාට්‍ය තේමාව වශයෙන් නාට්‍යකරුවා සිය නිර්මාණය සඳහා පාදක කරගන්නා ප්‍රේමය පිළීබඳ සංවාදය සහ ඒ සම්බන්ධයෙන් ඔහු ගේ සමස්ත දෘෂ්ටිවාදාත්මක ස්ථාවරය පැසසුම් කටයුතු ය. සමස්තයක් වශයෙන් ගත් කල නාට්‍යකරුවා අද්‍යතන සමාජයේ ජීවත්වන ගැහැණුන් සහ මිනිසුන්ගේ ප්‍රේමණීය මානුෂික සබඳතාවන් හි ශක්‍යතාවන් මෙන් ම පිරිහීමේ විභවයන් ද සංවාදයට බඳුන් කරයි. ඔහු ඒවා අගතියෙන් සහ පාර්ශ්වීය විනිශ්චයන්ගෙන් තොරව කලාත්මකව ස්පර්ශ කරයි.

චිත්‍රපටියක් නිර්මාණය කිරීමේ දී භාවිත වන සම්මුඛ පරීක්ෂණ, රූගත කිරීමේ දර්ශන, චිත්‍රපටි අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ විකාර සහගත කේවල් කිරීම් සහ "දුෂ්ඨයා" ගේ චරිත නිරූපණ ආදී නාට්‍ය ජවනිකා ප්‍රහසනාත්මකව ඉදිරිපත් කිරීම ඇත. එ මගින් නාට්‍යයේ අන්තර්ගතය වෙත ප්‍රේක්ෂකයා ඇද බැද තබා ගැනීමට නාට්‍යකරුවා සමත්ව ඇත.

මෙම නාට්‍යයේ පවතින සාධනීය ලක්ෂණ සාර්ථක අන්තයක් කරා ගෙන යාමට නාට්‍යකරුවා සමත්ව ඇති අතර සංකල්පීය වශයෙන් එහි ගුණාත්මකභාවය වැඩිදියුණු කරගැනීමට පිටුවහලක් වේ යැ යි සිතෙන කරුණු කීපයක් මෙහි සඳහන් කිරීම වැදගත් යැයි සිතමි.

මෙම නාට්‍ය තුළ ප්‍රතිනිර්මාණය වන "ව්‍යාජ" පෙම්වතුන් සහ පෙම්වතියන් වේදිකාවෙන් බැහැර ව ගිය පසු "අව්‍යාජ" පෙම් යුවළ නාට්‍යකරුවා ප්‍රේක්ෂකයා හමුවට අභිමුඛ කරවයි. ඔවුන් ලාලසාවෙන් සහ අනුරාගයෙන් ආසක්තව සිටී. ඔවුන් අතර කිසිම ආකාරයක මතවාදී වශයෙන් හෝ චර්යාමය වශයෙන් එකිනෙකාට ප්‍රතිපක්ෂවීමක් නැත. ඔවුන් ගේ පෙම් ලෝකයේ එකිනෙකා අතර (දෙමාපියන් ගේ විරුද්ධත්වය හැර) කිසිම ආකාරයක අර්බුදයක් නැත. "ව්‍යාජ" පෙම්වතුන් සහ පෙම්වතියන්ට විලක්ෂණාත්මකව "අව්‍යාජ" පෙම් යුවළක් නිරූපණය කිරීමේ අවශ්‍යතාවෙන් මඩනා ලදුව නාට්‍යකරුවා කිසිදු ප්‍රතිවිරෝධයන්ගෙන් තොර සුපිරිසුදු පෙම් යුවළක් නිර්මාණය කරයි. නාට්‍යය තුළ ප්‍රබලව සන්නිවේදනය කළයුතු සංසන්දනාත්මක චරිත නිරූපණයක් සඳහා නාට්‍යකරුවා මෙසේ පෙළෙඹී තිබීම සාධාරණයැයි හැඟුන ද සැබෑ ලෝකයේ එවැනි පෙම්වතුන් හෝ පෙම්වතියන් නැති බව කවුරු නොදනිත් ද?

එමෙන් ම ක්ෂනික හාස්‍යෝත්පාදනය සඳහා මෑතකාලීන සමහර නාට්‍යකරුවන් ඉතා ම ලාබදායි ආකාරයෙන් පාවිච්චි කිරීමට පටන් ගෙන ඇති "යහපාලනය", "දින සියය" සහ "ආශ්චර්යය" යන වදන් කාණ්ඩ නාට්‍යයේ මුලික තේමාවට පිටස්තරව ඉතා දිළිඳු ලෙස යොදාගැනීමෙන් ප්‍රේක්ෂකයා තුල ඇතිවන කලාත්මක රසය යම් දුරකට භංග වී යයි.

මෙම නාට්‍යයේ තේමාව දෙස සූක්ෂම ආකාරයෙන් බලන විට, හාස්‍යෝත්පාදනය කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම නිසා නාට්‍යකරුවාට ඔහු ගේ නාට්‍ය පිටපතේ බුද්ධිමය සහ භාවමය ගුණය වැඩිදියුණු කරගැනීමට තිබූ ශක්‍යතාව මගහැරී ඇති දැ යි සැක සිතේ. සරල නිදසුනක් ගතහොත් තරුණ පෙම් යුවළගේ එක්වීමට ඔවුන්ගේ දෙමාපියන් විරුද්ධවන්නේ ඇයි දැ යි නාට්‍ය පිටපත ඇතුළත සංවාදයට බඳුන්වන්නේ නැත. එවන් කරුණු දැනගැනීමට ප්‍රේක්ෂකයාට අයිතියක් නැති ද? එය ට හේතු පාදක වන සමාජ යථාර්ථයන් නාට්‍යකරුවා සිය නිර්මාණය තුළ ගවේෂණය නොකළ යුතු ද? එවැනි කලාත්මක ගවේෂණයක් තුළින් ප්‍රේක්ෂකයා තුළ නාට්‍ය පාත්‍රවර්ගයා කෙරෙහි තවදුරටත් ඇති විය හැකි සහවේදනය සහ කම්පනය ඔහු ට හෝ ඇයට අහිමි කළයුතු ද?

නාට්‍යකරුවා මෙවන් ප්‍රශ්න කෙරෙහි ද අවධානය යොමු කර ඒවා පිළිබඳ සිය පරිකල්පන ශක්තියේ පරිමාව උරගා බලන්නට යොමු වූයේ නම්, මෙම නිර්මාණය මීටත් වඩා පොහොසත් විය හැකිව තිබිණි. ප්‍රේක්ෂකයා නාට්‍ය සමග කරන භාවමය සහ බුද්ධිමය අභ්‍යාසයේ ධාරිතාව තවදුරටත් පුඑල් වීමට ඉඩ තිබිණි.

එවන් මගහැරීම් මධ්‍යයේ වු ව ද පාරිහෝගික සමාජයක විවිධ හැලහැප්පීම් මත දෝලනය වන "පෙම් යුවළක්" මගින් මේ යුගයේ ප්‍රේමය පිළිබඳ ප්‍රේක්ෂකයා සමග හෘදයංගම සංවාදයක නිරතවීමට මුල් වූ උදයසිරි වික්‍රමරත්න නාට්‍යකරුවාටත් ඔහු ගේ නාට්‍ය කණ්ඩායමටත් තුති.

උපාලි අමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails