Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"තම දරුවා ලොකු මිනිහෙකු, ගැහැණියෙකු කිරීමට උත්සුක නොවන්න. මන්ද ලොව සියල්ලන්ටම ලොකු මිනිසුන්වීමට බැරිය. නමුත් තම දරුවාගේ දක්ෂතාවයේ උපරිමයට ඔහුව හෝ ඇයව ගෙන යාමට හෙවත් කරනා දෙයින් ලොව උපරිමයට යාමට පාර පෙන්වන්න."
-ඒබ්‍රහම් ලින්කන්

ශ්‍රී ලංකාව නම් දිවයිනේ තරු මානසිකත්වයක් ඇති කර තරුණ පරපුරේ අනාගතය කියා නොකියා අඳුරේ දැමීම නැවතී නැත. දියණියන්ගේ මව්වරුන්ගේ මෙන්ම නොදැනුවත් තරුණයන්ගේ මොළගෙඩි කා දමන වසංගතයක් වූ 'මෙගා නාට්ටි' නැවතුනේ ද නැත. 'ටක්කු ටුක්කු' ගණයේ බාල ගීත නිපදවීම නැවතුනේ ද නැත. නිරුපිකා වේශයෙන් සිදුවන ගණිකා වෘත්තිය නැවතුනේ ද නැත. වැඩකට නැති කටපාඩම් ගිරවුන්ගේ අධ්‍යාපන ක්‍රමවේදය නැවතුණේ ද නැත. මහාපරිමාණයෙන් සාමාන්‍ය මිනිසාගෙන් කොල්ල කෑ මුදල් ආපසු ලැබුනේ ද නැත. ඇමති හොරුන් අල්ලුවේ ද නැත. සුදුසුකම් නැති පත්වීම් අහෝසි වූවේ ද නැත. මාධ්‍ය මගින් සිදු කරන බාල ගණයේ කලාකරුවන් යැයි කියාගන්නා ශිල්පීන් උඩ දැමීම නැවතුනේ ද නැත. දැනට සිටින, පත්වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුවත්භාවය ගැන ප්‍රශ්න නැඟුනේ ද නැත. මාධ්‍ය ආයතන වලට නිසිම සුදුස්සන් පත් වූවේ ද නැත. 'බිස්කට් කුඩු' ආරේ සජීවී ප්‍රසංග කන්දොස්කිරියාව නැවතුනේ ද නැත. අධ්‍යාපනය ලැබූවන්ට ඊට නිසි තැන හිමි වුණේ ද නැත. දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළන බුද්ධිහීන ගුරුහොරුන් බිහිවීම නැවතුනේ ද නැත. ගමේ සාමාන්‍ය ජනයාට රටේ මුදල් සමානව බෙදී යන්නේ ද නැත. සාක්ෂරතාව ඇතත් හොස්ස ළගින් මැස්සා ගියත් ගහමරා ගන්නා අන්තවාදීන් බිහිවීම නැවතුනේ ද නැත. ආර්ථිකය, කලාව, විද්‍යාව, කෘෂිකර්මය ආදී අත්‍යවශ්‍ය දෑ නගා සිටුවීමට ජාතික ප්‍රතිපත්තියක් සැදුනේ ද නැත. ඇත්තෙන්ම අප සැනසුනා පමණි මිනිසුනේ, අප සැනසුනා පමණි. මෙය සුරංගනා ලොවක් පමණි. ඉදින් තවමත් මෙය මකරෙක් වෙනුවට මකරෙක් රජවන "මකරට"කි. ඉදින් මේ මකරටෙහි මෙකි මායාකාරී සුන්දර රැවටීමට හසුවන "සිරිවර්ධන පවුල්" ද බොහෝ වෙති.

ඉදින් දැනට ලාංකීය සමාජය අරාජික දේශපාලන තත්ත්වයක මෙන්ම අස්ථාවර සංස්කෘතිකමය වටපිටාවක නිද්‍රෝපගත සතුටකින් තනි පුද්ගල ස්ථානගතවීම් සොයා වෙහෙසෙන ගෝත්‍රික සත්ත්ව කොටසක් බවට පත් වෙමින් සිටිති. මහින්දවාදී යුගයකින් පසු සැනසුමක් තමන්ට ලැබුණේ යැයි සිතමින් සැනසෙන ජනයාට එය එසේ නොවන වගත් මෙකි පාලනය මහින්ද යුගයේම වෙනත් වේශයක් බවත් මතක් කොට දීම වටී. එසේම සමාජීය වශයෙන් ලාංකීය සංස්කෘතික සත්වයා, මහින්ද බෝ කල 'ලිබරල් අත්මාර්ථයේ තනි ගෝත්‍රිකයා' ලෙසින් ආරම්භ කළ ගමනේ තවත් මංසන්ධියකට පැමිණ අනපේක්ෂිත වංගු සහිත මාර්ගයකට වැටී එහෙත් පරණ සුපුරුදු ගමනේම යෙදෙන 'රේස්කෝස් මිනිසා'ව සිටිති. මෙවන් යුගයක ලාංකීය කලා ක්ෂත්‍රයේ කොන්ද පණ ඇතිව නැගී සිටින්නේ සාහිත්‍යයත්, නාට්‍ය කලාවත් යන දෙක පමණි. අනෙකුත් සියල්ලම සාමාන්‍ය මිනිසා අන්දවා තම මඩි තර කොට ගන්නා ජනප්‍රිය මානසිකත්වයේ රූකඩ ය.

කවිය ද ඇතුළුව නාට්‍ය කලාව නම් ස්වාධීන කලා ක්ෂේත්‍රය මෙකී ලාංකීය ධර්මතාවන්ට ඍජුවම බලපෑම් කරන්නා වූ නිර්මාණ බිහි කරන්නක් බව සතුටින් දැනුම් දෙනු වටී. ඒ අතරිනුත් මෑතකාලීන සමාජ ආර්ථික ප්‍රවාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ආස්ථානගත කළ හැකි නාට්‍ය ඇත්තේ අතළොස්සකි. ඉන්දික ෆර්ඩිනැන්ඩු- ‘කලම්බෝ කලම්බෝ, චාමර ගුරුගේ- ‘What a nice couple’, පියල් කාරියවසම්- ‘රහස් උදවිය’ , චමිල ප්‍රියංක- ‘මෙය තුවක්කුවක් නොවේ’, රාජිත දිසානායක- ‘සිරිවර්ධන පවුල’, චාමික හත්තලාවත්ත- ‘මකරට’, ධර්මප්‍රිය ඩයස්- ‘සාදය හමාරයි සල්ලි හමාරයි’, ජෙරොම් එල් ද සිල්වා- ‘වෙළෙන්දාගේ මරණය’, අනුර ඒකනායක- ‘ජනතාවට හුළං ගහන්න’ සහ තරුණ කෙටි නාට්‍යකරුවන් අතරින් බිහි වූ බොහෝ නිර්මාණ ද ඒ අතර වේ. (එසේ තිර නිගමනයකට එළැඹීමට නිර්ණායකය වන්නේ දේශපාලන අස්ථාවරවීම් මත අදාළ නාට්‍යයන් යල් පැන ගිය තත්ත්වයට පත් නොවීමයි. ඒවා නුතන ලාංකීය මිනිසාගේ ඛේදවාචකය හසු කොට ගනියි.) එයිනුත් අප නාට්‍ය දෙකක් පමණක් තෝරා ගන්නේ ඉහතින් සඳහන් කරන්නට යෙදුණු සමාජ ආර්ථික කාරණා හේතුකොට ගෙනය.

බැලුබැල්මට චාමික හත්තලාවත්ත ගේ "මකරට" කොපියකි. රුසියානු නාට්‍යකරු Eugene Schwartzගේ The dragon ජනප්‍රිය නාට්‍යකි. එය සුප්‍රසිද්ධ බටහිර සුරංගනා කතාවකි. ජන කතාවකි. අපට නම් 'Eugene Schwartzගේ මකරා', ස්වාත්මිකරණයකින් (Empathy or Identification) ඔබ්බට ගොස් ප්‍රේක්ෂක බුද්ධිය අවදි කරන්නක් වූ තදාත්ම විඝටනයක් හෝ වීර කාව්‍ය (Epic) ගණයෙහි ලා 'චාමිකගේ මකරා' ලෙස වැඩි දියුණු කිරීම යන සාධකයම වර්තමාන සමාජය තුළින් නැග ආ අනුභූතිමය නිර්මාණ කර්තව්‍යයක් බවත් එය මෑතකාලීන දේශපාලන සන්දර්භය පිළිබඳව චාමික තම නාට්‍ය ප්‍රේක්ෂකයාට 2014 දී විවෘත මනසකින් කළ අනාවැකියක් බවත් පෙනේ. මේ ආකාරයකට වැදගත්ව තිබූ යම් මූල බීජයක් තම දේශයට අදාළ ලෙස සකසා ගැන්ම නිසාම අනුකරණාත්මක නාට්‍ය (Travesty plays) ගණයෙහි ලා සැලකිය හැකි මෙහි කාලයක් මුළුල්ලේ වැඩෙන සමාජ සන්දර්භයන් සූක්ෂම දෘෂ්ටි මානයකට හසුකර ගනියි. ඇත්තෙන්ම එය අනාවැකියකි. ලෝක ඉතිහාසය විමසු විට රටක දේශපාලනමය එළැඹිම් සම්බන්ධයෙන් ජෝතිෂ්‍යකරුවන්ට වඩා වෙසෙසින් නාට්‍යකරුවන්ට හා කවියන්ට ඇත්තේ ප්‍රත්‍යක්ෂ හැකියාවකි. මන්ද ඔවුන් ක්‍රියාකාරීව පොදුජන ක්‍රියාකාරකම් සම්බන්ධ දෑ අත්විඳින බැවිණි. ඉතිහාසය හදාරණ බැවිණි.



චාමික නාට්‍ය ආරම්භ කරන්නේම කහ, කලු පටියකින් හතර වන බිත්තිය (Fourth wall) හෙවත් ප්‍රේක්ෂකයාගේ බිත්තිය වට කොට වේදිකාවට හෝ වෙනයම් අවිනිශ්චිත තැනකට ඍජුව ඇතුල්වීම තහනම් කරමින්. එය මඳකින් පිස්සන් කොටුවක් බවත් (ලංකාව ලෙස ගැනිය හැකි) එහි කෝලමක් (මේ වනවිට ලංකාවේ සිදු වෙමින් පවතින) නැටීමට නියමිතව ඇති බවත් ප්‍රේක්ෂකයා දැනුවත් කරයි. මෙහි කථකයෙක් යොදා ගන්නේ ඇයි? කෝලම් සම්ප්‍රදාය නිසාද? පැවති නාට්‍යයකට නව මුහුණුවරක් දීමට පහසුම ක්‍රමය බ්‍රෙෂ්ට් ගාවා ගැනීම නිසාද? තමන් සංකීර්ණ කරගන්නට යන කතාව ප්‍රේක්ෂකයාට පහදා දීමටද? නැත්නම් ඉහත කි මකරටෙහි සුරංගනා සත්‍ය පහදා බුද්ධිය අවදි කිරීමටද? මේ සියල්ලමද? අධ්‍යක්ෂකවරයා කුමක් සිතුවත් සහෘදයෙකු ලෙස අප එය ග්‍රහණය කරගත යුත්තේ ලාංකීය සමාජයේ වෙසෙන්නෙක් ලෙස නොවේද? පාරම්බාමින් පරිවර්තන/අනුවර්තන ගෙඩි පිටින් බා ගන්නා නාට්‍යකරුවන් නොවන නාට්‍යකරුවන් මැද "මකරට" සාධනීය අනුකාරක අනුවර්තනයක් ලෙස ගැනිය හැකිය. මෙහි බොහෝ තැනක නාට්‍යමය උත්ප්‍රාසය (Dramatic irony) අවස්ථානුරූපීව ගලපන අයුරු පෙනේ.

මේ කෝලම ශ්‍රී ලංකාව නම් පිස්සන් දීපයේ මහජනයාටත් නැටීමට හැකි කෝලමකි. වේදිකාවේ විවිධ දෙසින් 'මහජන පිස්සන්' ඇතුල් වේ. රටේ නමගිය කලාකරුවන් ද පිස්සන්ය. දේශීයත්වයේ කෝලම් තාල රිද්මයෙන් තොර පිටස්තර තාලයක (out tempo) ගිලී පාත්‍රයින් වේදිකාවට එති. එය තමා නොදන්නා තම ජිවිතයට අදාල නොවන ජිවන රිද්මයක හැසිරෙන ලංකාවාසීන් සිහි ගන්වයි. දේශීය සංගීතයෙන් පසු හිටිහැටියේ බටහිර ආරක සංගීතය යොදා ගනිමින් එය වඩාත් තීව‍්‍ර කෙරේ. ඇත්තෙන්ම එය නාටකමය ව්‍යාජයෝක්තිය සඳහා සංගීතමය උත්ප්‍රාසයක් (music irony) හා වාචිකමය අනියම් අයුරක් (verbal irony) උපයෝගී කොට ගැන්මක් වැන්න. එය වඩාත් ඵල දරන්නේ "අපිට අපි නැතිවෙලා නෑ. රටට රට නැති වෙලා නෑ, යුද්ධය" වැනී ගීතයකිනි. වේදිකාවට ගෙනෙන පාත්‍රයින් තුළින් පවා අදාළ අනුභුතිමය ප්‍රකාශනය වඩා සාධිත කරගැන්මට චාමික සමත් වෙයි. මනෝරත්න තම "සෙල්ලම් නිරිඳු" ප්‍රකාශනය සඳහා නාඩගම උපයෝගී කොට ගෙන යම් පසුබෑමකට ලක්වන්නා සේ නොව චාමික මකරට සඳහා නිසිම උකහා ගැන්ම 'කෝලම' බව පසක් කොට පෙන්වයි. හේවාරාල, ජසයා, අනාවැකිකරුවා, කම්මල්කරුවා, ලෙන්චිනා, දරුවා, රෙස්ලින්කරුවා, වීරයා, දුෂ්ටයා, මහජනයා, පෙම්වතිය, සහයකයා ආදී සමාජතරාතිරම් නිරූපණය සඳහා රචකයා තම පිටපත තුළින්ම අවශ්‍ය නිදහස හා නාට්‍යනුරූපී ගැලපීම සපයා ගැනීම සාධනීය කරුණකි.

ක්ෂණික එක්කිරීම් පිරි පවතින හිටිවන රංගයක් දෝයි සිතෙන තරමටම පැටලිලි රංග (Imbroglio) බොහෝමයක් ද ගමන් විධි හා චලන තම රූපණ ප්‍රදේශය පුරා සංයමයෙන් නළු රංගාවතරණය (Blocking) හැසිරවීම ද දක්නට ලැබිණ. ඊට ප්‍රබල රංගනයක් (Actor-proof) හෙවත් පෙළෙහි ප්‍රභලත්වයක් ඇතිබව හේතු වූවා වියහැකිය. එපරිදිම 'Try to do your business as best as possible' යන ජනප්‍රිය අධ්‍යක්ෂකවරුන්ගේ කියමන මකරටෙහි නළුනිළියන්ගෙන් දෘශ්‍යමාන වේ. අතුරු ජවනිකාවන් (Carpenter’s scene) හි රංග කාර්යයන් හා රංග සම්මුතීන් (Convention) පිළිබඳව දක්වන උපහාසාත්මක අභිනයන් ඊට සාක්ෂි සපයයි. නවකයින් හා පාසල් ළමුන් වෙනුවෙන්ම සැකසු නිර්මාණාත්මක රංගෝපක්‍රම බොහෝමයක් දක්නට ලැබුණු අතර ඒවා කිසිලෙසකින්වත් ආයාසාත්මක ලෙසකින් වේදිකාවට රැගෙන විත් තිබුණේ නැත. වේදිකා රංගෝපක්‍රම (Theatrical effects) යොදාගැන්ම අතින් අධ්‍යක්ෂකවරයා අනාගතය ගැන යම් සාධනීය ඉඟි සපයයි. ප්‍රදීප් චන්ද්‍රසිරි භාවිත කරගෙන තිබූ බහුවිධ රංග පසුතලය (Multiple set) ඔහුගේ වේදිකා අත්දැකීම් ප්‍රමාණයත් එහි කූටප්‍රාප්තියත් පෙන්වන්නකි. රංග වස්ත්‍ර නාට්‍ය කාර්යය සාධනයට මනා පිටිවහලක් සැපයීය. ජනප්‍රිය නළුවන් යොදාගනිමින් අනවශ්‍ය වටිනාකමක් ආරූඪ කරගැන්මට තැත්කිරීම, බොහෝ රංග කාර්යන් සාධනය කරගැන්මට ගොස් සාධිත බව ගිලිහි යාම හා දර්ශන සැලසුම් (Scenography) ගිලිහීයාම, රංග වින්‍යාස ගොඩනැගීම මඳ වීම, බොහෝ විකට විරාමයන් (Comic relief) හේතුවෙන් ඒකීය ධාරණාවට හානි පමුණුවා ගැනීම, රංගාලෝකයේ නිශ්චිතම එළැඹුම හඳුනා නොගැනීම ආදී කරණා කීපයක් හේතුවෙන් සුසාධිත නාට්‍යක ස්වරූපය ගිලිහී යයි.

චාමිකගේ මේ එළැඹුම පෙරටුගාමී නාට්‍ය (avant garde drama) හෙවත් නව ප්‍රවණතා රැගත් නාට්‍ය ව්‍යාපාරයක් ලෙස ලාංකීය නාට්‍ය ක්ෂේත්‍රය තුළට අන්තර්ගත කල හැකිය. ජනප්‍රිය වීර කතාව සාධනීය ලෙස ලාංකීය සමාජ සන්දර්භය තුළ අස්ථාන ගත කෙරෙයි. සාමාන්‍ය ජනයාගේ පිහිටෙන් නිලධරයන්ගේ උදව්වෙන් මකරා මරා වීරයා රජ වෙයි. අනාවැකියේ හොදම එළැඹුම මෙතැනය. අනතුරුව වීරයාගේ පාලන සමය පැමිණේ. ගණිකාව උපයෝගී කොට ගනිමින් සෙවණැළි නාටක ප්‍රවේශයක් මඟින් චාමික තමන් අත්දකින දෑ ගෙනහැර පායි. කාලය ගෙවී යයි. වීරයාට තනිව තීරණයක් ගත නොහැක. ඔහු වටා පිරිසක් සිටියි. මකරා, පුරුදු වීරයා පසුපස එයි. වීරයා මකරා වෙයි. මකරා වීරයා වෙයි. පැටලිලි සහගතය. මේ, මේ මොහොතේ ශ්‍රී ලංකාවයි.

ඉතින්, මේ මකර ලංකාවේ 'සිරිවර්ධන පවුල්' ද බොහෝ වෙයි.

ඒ කෙසේද යත්, මතුවට!

[Images- රඟහල වෙබ් අඩවියෙන්.]

ප‍්‍රනීත් චානක මුරමුදලිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails