Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඈ උත්තුංගවත්, උන්මන්තකවත් මට බලපෑමක් වෙමින් උන්නීය. දාහය දනවන තැන මහත් සීතලක් ඇති කරවන්නත්, සීතල දනවන තැන දාහය ඇති කරවන්නත් වග බලා ගත්තීය. දකුණත ඇඟිල්ලක රන්වන් මුද්දකින් මා වෙනෙකෙකුට බැඳ තබද්දීත් ඒ වගක් නැතිව මා යටත් කර ගත්තීය. මා ඒ වහල්කමට කැමැත්තෙන් පසු වීමි. කෙසඟ උස සිරුර, පිරිපුන් උඩුකය, පිරුණු දෙතොල සපිරි ඒ තුණු සිරුර කෙරෙහි මහත් ලෝභයෙන් යුක්තව ඈ පසුපසම මෙතැන් පටන් ගමන් කිරීමට මා සිතා ගත්තෙමි. මද සිනාවෙන් පිපිරෙන දෙතොල මගේ සියොළඟ පුරා තැවරෙනු ඇතැයි උදක්ම සිතීමි. සියලු පුරුෂෝත්තම අත්හැර ඈ පාමුල දාසකමට වැටෙන්නට තරම් උමතුවකින් මා පෙළෙන්නට විය.

ඒ සියලු දේ හිමි, කම්සැප ලොල්, නුවරකි. අඩක් ඇඳුම් ඇඳි ලලනාවන් මෙපුර රිසි සේ සැරිසරද්දීත් මුළුමනින්ම සියොළඟ වැසූ ඈ මහත් බරක් සේ මා මතම පතිත විය.

එතෙක් නාරි රූ සිත්තම් කළ මගේ කැන්වස තුළ සිටි සියලු නිරුවත් ළඳුන් කෙරෙහි තිබූ ආශක්ත බව එක මොහොතකින් පලා ගියාක් මෙන් විය. වෘතයක් මෙන් මා ඈ එන තෙක් සිත පාපයට බර කරන්නටම විය. වරදවා හැසිරුණු සියලු ශරීර අත්හැර, කැන්වසය මත එතෙක් නොදු‍ටු ඇගේ සිරුර සෑම උදයකම, සෑම ‍රැයකම, හැන්දෑවකම යළි, යළිත් සිත්තම් වන්නට විය. එහෙත් ඕ මා සොයා නොපැමිණියේය. මම ඈ සොයාගත යුතුව තිබුණි.

එක් උදයක තුනී කපු පිළියෙන් සැරසී, කුඩා කෙල්ලක අතින් අල්වාගෙනම ඈ අතුරු වීදියක ඇවිදිනු දැකීමි. මා මහත් වෙහෙසට පත්ව, දහදිය වැකුණු කයින් යුක්තව ඈට පියවර පණහක් පසුපසින් එමින් සිටියෙමි. අසල දොඩම් විකුණන්නියකි. ඈ සිහින් අතැඟිලි දොඩම් ගෙඩි මත විසුරවමින් දොඩම් ‍තෝරන්නීය. පැඟිරි සුවඳ විහිදෙනු පිණිස නිය තුඩින් ඒ කොනහන්නීය. උදෑසන ස්නානයෙන් පසුව ඉතිරි වූ හිසකෙස් ගල්වනයක සේදී ගිය සුවඳක උඩු හුළඟට විත් මා සියොළඟ තැවරෙන්නට විය.

ඕ සුවඳය. නම නොදන්නා මල් සුවඳය. මේ හිමිදිරිය දාහය ඇති මගේ සිරුරෙන් සුවඳ කඩා හැලෙන සෙයකි.
මට ඈ සිඹින්නට වුවමණා විය.

ඈ නොදන්නා යමකින් ගැස්සී ගියෙන් වහ, වහා දොඩම් ගොඩ අසලින් දුවන්නට වූයේ කොනිති ගැසූ දොඩමක ද බිම හෙළමිනි.
දොඩම් වෙළෙන්දිය රතු වූ මුහුණින් බැණ වදී.

මා, ඈ තේරූ දොඩම් යළිත් අතපත ගාන්නට වූයෙන් වෙළෙන්දිය මා පරීක්ෂා කරයි. ඈ ගිය මඟ බලමින් බිමට කෙළ ගසයි. තව,තවත් මුහුණ රතු කර ගනියි.

ඕ කවුරුන්ද? මෙතරම් නාරි ලීලා සහිත, දු‍ටු දු‍ටුවන් පාපයට පමුණුවන ඈ කවුරුන් විය හැකිද?

ඈ කොනිති ගැසූ දොඩමක නාසයට ළං කර සුවඳ බලමින් ඒ සිඹිමින් මා අතුරු පාර මැද නතරව සිටින්නට වීමි. ඈ මා දකින්නට ඇතිද? ඈ පලා ගියේ මන්ද? මා ලුහුබඳින බව ඈ දැන උන්නාද? මේ කුමන හැඟීමක්ද? සියලු රස ඉඳුරන් එකවර අවදි කරවන ඒ රූපය මෙතරම් බරසාරව මා තුළට කිඳා බැස්සේ කොහොමින්ද? ඇට මිඳුළු කකියවමින් මා පෙළන්නේ කුමන පිපාසයක්ද?

දින, සති, මාස ගණනින් අප පසු කර යන්නට විය.

බිරිය මා අසල දැවටෙමින් අසන දෑ කෙරෙහි පවා නිසි අවධානයක් යොමු කළ නොහැකි තරම්ය. අසල දිය පොකුණකි. සුනිල දිය දහරකි. පිපාසය තරමටම ඒ විසල්ය. එහෙත් දැන නොදැන මා ඒ මඟ හරිමිනි. දිය කෙළිය විඩා නොදැනෙනෙ සුළුය. එහෙත් මසිත මහත් විඩාවකය. සුනිල දිය දහර මා සිරුර ගල,ගලා යන විටත් මා උන්නේ වෙනත් කල්පනාවකය. ඈ යහනෙන් බැස ගොසිනි. අවුල් වූ සළුපිළි පමණක් යහන පාමුලය.

අතුරු පාර මහත් කලබලයකි. වෙස් මුහුණු බැඳගත් ස්ත්‍රී, පුරුෂයන් මහත් කෙළිලොලෙන් අතු‍රු පාර පුරා නර්තනයේය. දොඩම් වෙළෙන්ඳිය ළඟ ඈ ඇතැයි සිතා ඇඟිලි තුඩගින් ඉස්සී බැලූ කල්හි ඒ උසැති සිරුර දුටිමි. තෙතට සිරුර පුරා තැවරුණු දිගු කෙස්ස ළඟ, ළඟම ස්නානයකින් ඈ සැනසුණු බව කියන්නීය. වෙළෙන්දිය සිනාමුසු මුහුණිනි. ඕ දුඹුරු පැහැති බෑගයකට ඈ තේරූ දොඩම් සොළසක් දමන්නීය. තුඟුව නැගුණු පපුතුරට තද කරගත් දුඹුරු බෑගයත් සමඟ ඈ අතුරු පාර තරණයට සැරසිනි. ළා අව් ‍රැල්ලක් ඇගේ මුහුණ හරහා වැ‍ටුණෙන් නෙත් කුඩා විණ. අඩි දෙකෙන් ඈ අභියසට වුන් මා එක් ඇසිල්ලකින් ඈ සිඹීමි.

දොඩම් සොළසක් මහ හඬින් බිම පතිත විය. මා උර මත තිබූ හම් බෑගය 'තඩ්' හඬින් බිම වැ‍ටුණි. ඈ අත ගුටිකරගෙන හුන් මාරු කාසි අහුරක් බිම පෙ‍රැළී යන්නට විය. මේ සියලු ශබ්ද නිසා පරෙවියන් රෑනක් 'සට සට' ගාමින් තම අත්ත‍ටු ගසමින් පියඹා යන්නට විය. ඕ දෑස ලොකුකර මදෙස බලන්නට විය.

'ඇයි එහෙම කළේ?'

සියුම් ස්වරයක් මගේ කම්මුල් අසලින් නැගුණි. එපමණකි. ඕ කඳුළු වගුරවමින් අතුරු පාර දිග දිව යන්නට විය.

මා දෙතොල මත සිහින් සුවඳක් තැවැරී ඇතැයි දවස් විස්සකට පසුවත් දැනුණෙන් මහත් ගින්නක් සිරුර තුළ නඟිමින්, බසිමින් පවතින බව අවසන වටහා ගතිමි. සඳලුතලය මත අඩක් හිස බාගෙන සිටින බිරිය දුහුල් සළුවෙන් සැරසීගෙනය. හැන්දෑ හිරු රශ්මිය ඈ විනිවිදිමින් මගේ ඇස් අල්ලා ගැනීමට තැත් කරවයි. ඈ ස්නානයෙන් පසුව හිස වේලාගනු පිණිස තුනී සලුවකින් හිසකෙස් තෙතමාත්තු කරනු පෙනෙයි. තෙතබරිත පා ඇගිලි තුළ රුවාගත් කදිම මුදු කිහිපයකි. ඒවා සුදු යකඩ විය යුතුය. මා ඒ කිසිවක් මුදල් දී ගෙන ආවා මතකයේ නැත. බාගදා ඈ ඒවා සල්පිලෙන් මිලදී ගන්නට ඇත. එසේත් නැත්නම් සංචාරක වෙළෙන්දියකගෙන් පිත්තල සෙම්බු කිහිපයක් හුවමාරුවෙන් ලබා ගන්නට ඇත. හදිසියේම ඈ සඳලුතලයෙන් ඈත් වූයේ අනිසි බැල්මකට හසු වූවාක් මෙනි. ඈ විළියෙනි. මා දැක ඈ විළි වදින්නේ කුමකටද? ඒ නම් ස්වල්ප ගැස්මකි.

දින විස්සක් පුරා දෙතොලක සුවඳක් පසුපස හඹා ගිය මට දොඩම් බෑගය අතැති ප්‍රියාවිය පා මුදුවක් පැළැදියේදැයි පිරික්සනු නොහැකි විය. එහෙත් ඈ තුණු සිරුර කාන්දමක් මෙන් මා මත දැවටෙනු නිතොර දැනෙන්නට විය. මේ කුමන උමතුවක්ද? මට ඇගේ සිරුර උවමනා වන්නේ කුමකටද?

සිතුවම් අදින්නට අලුත් සිරුරක්, පිරුණු කොපුලක් උවමනා වී නම් ඒ පහසුවෙන් ලබා ගනු හැකිව තිබුණි. ඒ උවමනාවක මෘදු ආසාවකි. එහෙත් මේ මෘදු ආසාවකට වඩා රුදු ගින්නකි. විටින් විට ඇසින් පටන් ගෙන පා ඇඟිලි තෙක් විහිදී යන, ඒ සැනින් සිරුර ඇඳුම්කන විසාල ගින්නකි.

සිතුවම් අදින කඩදාසි අහවර වූයෙන් ඒවා මිලට ගැනුමටත්, සායම් කිහිපයක් අලුතින් තනා ගැනීමටත් වෙළෙඳපොළට යනු ඇවැසි වූයෙන් දාහය නොතකාම මා ප‍ටු පාරට හැරුණෙමි. දොඩම් වෙළෙන්දිය උන් තැන දැන් කිසිවෙකු නැත. කලකට පෙර ලෙලි ගැසූ දොඩම් ලෙල්ලක කුයිලයක් පමණක් එතැනය. මා ඇස් වසාගෙන ඈ ලාලසාවෙන් දොඩම් කරත්තය අසබඩ උන් ලීලාව සිහි නඟා ගන්නට තැත් කරන්නට වීමි. කිංකිණි සිනාවකින් ප‍ටු වීදිය සෙලැවී ගියෙන් පසුපස හැරී බලන්නට මට සිදු විය. ඒ අන් එකියකි. හිස තැඹිලි පැහැ සලුවකින් වසාගෙන වළලු සපිරි දෑත ශබ්ද නැ‍ඟෙන්නට සොලවමින් යන්නියකි.

සායම් වර්ග කිහිපය සිහි නැගීයෙන් මා හරස් පාරට හැරෙන්නට වීමි. එතැන ප‍ටු දෙබොක්කාවකි. දුම් බොමින්, උණු තේ බොමින්, කාඩ් සෙල්ලමේ නිරත වන කිහිප දෙනෙකි. එතැන් උන් ඉතාම අපිරිසිදු පාට මිනිසා ශබ්ද නඟා කාටදෝ බැණ වදිමින් සිටියෙන් ඒ මැදින් යන්නට මා මැලි වීමි. මදක් තාවර වෙමින් සිටි ඇසිල්ලේ ආපසු හැරී යන්නට සිතූයෙන් දෙවරක් නොසිතාම ප‍ටු දෙබොක්කවෙන් මා පල්ලම් බැසීමි.

මට සිතුවම් අදින කඩදාසි හෝ සායම් වර්ග සොයා ගැනීමට එතරම් වුවමණාවක් නොමැති බව අවසානයේ ප්‍රත්‍යක්ෂ වූයෙන් ඉබාගාතේ ඇවිදින්නට තීරණය කළෙමි. එවිටම මට මධු බොන්න උවමනා විය. සිහි විකල් වන තෙක් මධු බී නිදන්නට උවමනා විය. ඒ අතරමැද ඈ මගේ සිරුර මත තෙත් ඇඟිලි ගෙන යනු දැනුනෙන් මදක් නෙත් පියා ගන්නට සිත් විය.

මධුහල ඇතුළත මද අඳුරකි. දුමින් පිරී ගිය හාත්පස මහත් සෙනඟකි. කිසිවෙකු හඳුනාගත නොහැකි තරම් කලබලයකි. මධු ඇනවුම් කරන්නට පෙර හිස් අසුනක් සොයා ගත යුතුය. මත්වීම කිසිවෙකුට රහසක් කර තබා නොගැනීමට නම් සිත් සේ මධු බිව් මනාය. ගණකම බඳුනක බහා ඇතුළත පැහැය නොපෙනෙන සේ පිළිගැන්වූ ඒ පානය මහත් ඇඹුලක් සමඟම අපූරු පැණි රසක් ගෙන ආයෙන් යළි, යළිත් එකම වර්ගය ඇනවුම් කරමින් තනිව දොඩවන්නට පටන් ගතීමි. නොසිතූ මොහොතක මගේ දෙතොලින් නැඟුණු ඇගේ සුවඳ පෙර පුරුදු ගින්දරටම මා හෙළීය.

මධුහල පසු කරමින් පාලු ප‍ටු පාර තරණය කරන අතරතුර දොඩම් සුවඳක් නාසය පසා කළ හෙයින් මා පියෙවි සිහියට එළැඹීමි. රතුව ගිය ඇස් ඇතිව ඈ මා ඉදිරියේ පෙනී සිටියේ උස්ව නැඟුණු ළමැදට තුරුලු කරගත් දොඩම් උරයත් සමඟමය. ඕ දොතොල උල් කරගෙන මා දෙසම බලා ඉන්නට විය. රතුව ගිය ඇස් නොනවත්වාම සැලෙන්නට වූයෙන් ඈ යමක් කියන්න තතනන බව දැනුණි. මේ සියලු දේ අතර මා ඇගේ පා ඇඟිලි නරඹන්නට වීමි. දකුණු පා ඇඟිල්ලක මල් වැලක් කැටයම් කළ රත්‍රන් මුදුවකි. කහ පාටින් යුක්ත ඒ පාද මනාව නඩත්තු කර ඇති සැටියකි. නිල් පැහැති තුනී සලු කිහිපයක් ඇගලාගෙන සිටි ඈ තවමත් පුදුමයට පත් වූ සෙයියාවෙනි. දැන් ඈ දෙතොල සැලෙනු මට පෙනෙයි. ළමැද උස්ව තිබූයෙන් ඒ සැලෙන බව මට පෙනෙයි. මත් වී සිටිතැයි මා සිතා සිටි මගේ ශරීරය ඉතාම මෘදුව මේ මොහොත තේරුම් ගැනීමේ නිරතව සිටියි. ඈ වෙඩරු පිඬක්ව වැගිරෙන බව සැකහැර දැන ගැනීමට ඇවැසි හෙයින් තවත් අඩියකින් මා ළං වීමි. ඈ අඩි දෙකක් පසුපසට යාම පසෙක ලා තවත් අඩියක් මට ළං විය. මධු සුවඳ පරයා විලවුන් පුසුඹක් නැඟි,නැඟී එනු දැනෙයි. ඇගේ දෙතොලට උඩින් මේ දැන් නැඟුණු ඩා බිඳු කිහිපයකි. කම්මුල් රත් පැහැයට හැරෙමින් පවතී. ඉතා වේගයෙන් හුස්ම ගැනීමේ නිරත වෙයි. ඇයත් මාත් අතර තිබූ ස්වල්ප දුර නැති කරමින් තවත් අඩියක් ඉදිරියට තැබූයෙන් අපි දැන් මහත් උණුසුම් සුසුමක දුරිනි. නැත්නම් ඇගේ ළය මත තුරුළුව හුන් දොඩම් උරයේ දුරිනි. මේ දුර ගැන අප්‍රමාණ අවබෝධයක් තිබූ හෙයින්ම ඈ සැනින් දොඩම් උරය බිම හෙළීය. බිම වැටෙන්නට යන දොඩම් අල්ලා ගැනීමේ නිරර්ථක, ඉතාම අඥාන උත්සාහයක යෙදී සිටි මා අත්ල නොදැනුවත්වම ඈ සිරුර මතය.

'යමු'

හිස වනමින් සීතලව ගිය අත්ල පිරිමදිමින් ඕ ඉතාම ප‍ටු, ආලෝකවත් මඟක් වෙත මා කැදවා යන්නට විය. බමන හිසින් ඈ අත්ල ගෙන ඇවිද යන අතරතුර එවන් ප‍ටු දෙබොක්කාවක තිබෙන්නට නොහැකි තරම් විසාල හතරමං හන්දියකට අපි පිවිසුනෙමු. මේ යන අතරතුර කිහිප විට ඈ උරහිස සිප ගන්නට තැත් කළද ඒ වලකමින් මා වෙනත් අරමුණකට හෙළන්නට ඈ සමත් විය. වම් පසට හැරුණු තැන නූස් ගොඩනැගිල්ලකි. මළ කෑ ගේට්‍ටුවක් අර්ධ වශයෙන් විවර කළ ඈ මට හිසින් සන් කළේ ඇතුළු වන ලෙසය. ඇතුළත වූයේ දැවැන්ත නිවසකි. සුදු පාටින් සායම් ගෑ බිත්ති මත පුරාණ සිතුවම්ය. තැන, තැන නග්න මිනිස් පිළිරූය. සෑම පිළිරුවකම මුහුණ දැක පුරුදුය. ශාන්තය. යාන්තමින් රවුලය. ශක්තිමත් බාහු බලයය. වඩා පහත් තැන්වල නග්න කාන්තා රූපය. බමන හිස එක්තැන් කරගන්න තැත් කරනා'තර ඒ සියලුම නග්න කාන්තා පිළිරූ ඈ ම බව මට සිහියට නැඟුණි. ඕ මගේ අත මුදා ගනිමින් වඩා සැහැල්ලුවෙන් තරප්පු පේලිය මත දිව යන්නට විය. කිරි කිරි ශබ්දයක් නැඟුණ තරප්පුව හදිසියේ සියලු කිරි කිරිය නැවතීය.

ඈ හිසින් සන් කරන්නේ ඈ පසුපස හඹා එන්න කියාය. තරප්පු පේලිය තරණයෙන් මට ඈ හමු විය. ඈ මහත් කෙළිලොල් විලාසයකිනි.

ඕ, කැ‍රැළි ගැසුණු මා කෙස්ස මත, සියුම්ව අත්ල ගෙන යන්නට විය. අධික දාහයෙන් ඒ තෙතබරිතය. ඕ මා දෑස නරඹන්නට වීයෙන් මහත් අමුත්තකින් මසිත පෙළන්නට විය. ඈ සිරුර සොයා ඉබාගාතේ ඇවිදින්නට වූ මසිත දැන් වෙව්ලුම්කමින් පවතිනවා වැනිය. මා බියපත් වීද?

සයනය පාමුල මධු කොතලයකි. අඩක් හිස් කළ බඳුන් ත්‍රිත්වයකි. ඈ උරා බිව් තවත් කිහිප දෙනෙකු වීද? දැන් මා ඈ අයිති කර ගැනීමේ සංග්‍රාමයේ නිරත වීගෙනය. ඕ මන්දහාසයෙන්,මද ලාලිත ගමනින් ගොස් පැ‍රැණි හැඩයේ ජනේල පියන විවර කළෙන් ඒ තුළින් ගලා ආයේ සීතල සුළඟකි. උඩුකය නිරුවතින් හුන් හෙයින් මා ගත කිළිපොළා යන්නට විය. ඕ මුනිවතිනි. අඩ නිරුවතිනි. ඒ ද මා නරඹමිනි. සැනින් ඈ දොඩම් පිරවූ පැසක් ගෙනැවිත් සයනය පාමුල තබා වඩා තැඹිලි පැහැ ගත් දොඩමක් මුවින් සපන්නට විය. එක් කෙළවරකින් අල්ලා ඒ ‍රැළි වශයෙන් ඉරා දමන්නට විය. දොඩම් කුයිලය අඩ බමන මතින් හුන් මා පියෙවි සිහියට පමුණුවන්නට විය.

'ආ...කන්න'

ඕ දොඩම් බික් කිහිපයක් මගේ මුව අද්දරට ගෙනැවිත් කෙළිලොලින් සිනාසෙන්නට විය.

සැනින් ජනේලයෙන් එපිට අඳුරක් නැඟ එන්නට විය. ඒ වැස්සක පළමු සළකුණකි. විදුලියක් ඈ කෙහෙ‍රැළි පසාරු කරගෙනම මගේ නිරුවත් උඩුකයෙන් මතු විය. සිහින් සිරිපොඳ ජනේලය පසු කර අපව හඹා එන්නට වූයෙන් උනුන් කාන්දම් මෙන් දැනෙන්නට විය. තරප්පු පේළිය පහළ තුබූ පුරුෂ පිළිරුව කාගේදැයි දැන් මට නිශ්චිතවම මතකයට නැඟුණි.

සයනය පහළ දොඩම් පැස සීසීකඩය. මධු ‍පිරි කොතලය ඉහිරී කුඩා ජල පහරක් මෙන් ඒකාකාරීව කාමරයේ පහළම තැනින් ගලා යයි. ඕ උස්-පහත් වන ළැමින් සයනය තුළ කිඳීගෙනය. මුහුලස කැ‍රැළිව විසිරීගෙනය. මගේ මුවින් නොනවත්වා අධික දොඩම් කුයිලයක් නැඟී එයි. ඕ දොඩම් රසැතිය.

අර පිළිරුව. ඒ නම් මගේමය. ගෙළට පහළින් කඩා හැළෙන අක් බඹරු කෙස්සය. බළල් ඇස්ය. ඈ නම් මායාකාරියකි. ඔව් දොඩම් රස සිරුරක් ඇතිව ඇගේ සයනයේ පතුළටම කිදා බැස නිදන.

කාංචනා අමිලානි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails