Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පොප් කෝර්න් සහ සිසිල් බීම වලට අමතරව සිනමා හලක් තුළ සැබෑ සිනමා නිර්මාණයක් දුටිමි!

"අතීතයක් ඇති ගැහැණියට අනාගතයක් නැත" යනුවෙන් ගුණදාස ලියනගේ සූරීන් තම "දෝන කමලාවතී" කෘතියට උද්ධෘත පාඨයක් සපයයි. ආරියවතී නොහොත් ගෝතමී ගේ ඉරණම ද අතීතයේ සිටම ලියැවෙන්නේ එකම රටාවකට ය."බොරදිය පොකුණෙහි" ආරම්භක දර්ශනය වන සිදුහත් සිරිතට ළමා නළු නිළියන් තෝරන අතීතාවර්ජනය තුළ සමස්ත සිනමා නිර්මාණයේම ජීවය රඳවා ගැනීමට තරම් නිර්මාණකරු සූක්ෂම වන්නේ එබැවිනි. පළමු දර්ශනය තුළින්ම ඔහු උපදවන කම්පනය අති මහත්ය. එය ඔබත් මමත් කුඩා කාලයේ සිට අත් විඳි විවිධාකාරයේ අත්දැකීම් සිහියට නගන්නට සමත් නොවන්නේද? පාට වැටුණු පුෂ්ටිමත් දැරියක "යශෝදරා" චරිතයට තෝරාගත් පසු අඳුරු පැහැ සමක් ඇති දැරිය නොඉවසිලිමත් වන්නී, සෙරෙප්පුවෙන් බිම සාරන්නට තැත් කරන්නීය. ඒ ආරියවතී බව අප හඳුනාගන්නේ ගුරුවරිය ඇය වෙත අමතන දායාබර වදනිනි. දැරිය යශෝදරා ව වීමේ වරම් නොලද හෙයින් කඳුළු සලන බව වටහා ගන්නා ගුරුතුමිය "මහා ප්‍රජාපති ගෝතමී" චරිතය ලැබීම පවා භාග්‍යයක් බව අවධාරණය කරන්නීය. එය ආරියවතීගේ පමණක් නොව ආරාධිත අමුත්තන් පිළිගන්නට, උත්සව සභා වල බුලත් අත පිරි නමන්නට, මන්ත්‍රී තුමා අතින් නිළ ඇඳුම ලබා ගන්නට වරම් අහිමි වන, බොහෝ දරු දැරියන්ගේ දෛවයයි. දහසකුත් හැඟීම් ගල් කරගත් මුහුණින් ගුරුවරිය වෙත නෙත් යොමන ආරියවතී, එනම් අඳුරු පැහැ සමක් ඇති දැරියගේ දෑසේ ලියැවී ඇත්තේ ඇයගේ මුරණ්ඩු අනාගතය නොවේද? ඇයට සදාකාලිකවම මහා ප්‍රජාපති ගෝතමියගෙ චරිතය රඟ දැක්වීමේ අවශ්‍යතාවක් හෝ හේතුවක් නොතිබුණු බව පැහැදිලිය. ඉදින් ඇය ගෝතමි යන නමින් ඇගේ ඉරණම්කාර ජීවිතයට මුල පුරන්නීය.

සත්‍යජිත් මාඉටිපේ ගේ "බොරදිය පොකුණ" පැහැදිලිවම අලංකාර සහ විශිෂ්ට සිනමා කාව්‍යයක් සේ මා දකිමි. වාරණ මණ්ඩලයට පිං සිද්ධ වන්නට ප්‍රස්තුතය තරමක් කල් ඉකුත් වී ඇතත් සිනමාරූපි බවට කිසිදු කැළලක් එක් කිරීමට කාලය අසමත්ය. මෙම සිනමා නිර්මාණය පුරාවට මා අත්විඳි අපූර්වතා බොහෝය. ඒ අතර කෞශල්‍යා ප්‍රනාන්දුගේ අද්විතීය රංගනය පිළිබඳ සිහිපත් නොකරම බැරිවේ. සැබෑවකි. දිය කැට පහණේ දඩයක්කාර විමලේ ගේ බිරිඳ ලෙසත්, සුළඟ එනු පිණිස අවිවාහක සොයුරිය ලෙසත් කෞශල්‍යා, ඉඩෝර චරිත විෂයයෙහි ප්‍රාගුණ්‍යයක් දක්වන්නීය. නමුත් "බොරදිය පොකුණේ" ආරියවතී මේ සෑම චරිතයකටම වඩා පුළුල් පරාසයක් තුළ නිදහසේ සැරිසරන බව දුටුවෙමි. එයට අවස්ථා හතරක් තුළින් නිදසුන් සපයනු හැකිවේ. විනෝද සවාරියේ දී වනවදුලක් තුළ අනුරාගයේ අනන්තය සොයන මංගලා සහ විපුල දෙස කාමාසක්තව නෙත් අයා සිටින ගෝතමි දකින්න. ඇයට සීනාත් අමාන්ට මෙන් සරාගී බැල්මක් නැත. ආශා පරේක්ට මෙන් කාමය දනවන බරි තොල් සඟලක් නැත. ඩිම්පල් කපාඩියාට මෙන් හුරුබුහුටි මුව කමලක් නොමැත. නමුත් ඒ කිසිවක් නොමැති කළුවන් ගෝතමී තුළ ආශාවෙන් සහ ජීවයෙන් පිරි ප්‍රාණවත් ගැහැණියක් ජීවත් වන බවත්, මේ මොහොත ඇය ක්‍රියාකාරී ලෙස පිබිද සිටින බවත් අපට පවසන්නේ ගස් අතරින් එබිකම් කරන කෞශල්‍යා ප්‍රනාන්දුය. ඇයගේ දෙනෙත් තුළින් සහ නලියන මුහුණ තුළින් ගෝතමී තුළ පැසවන, කැකෑරෙන ගැහැණු බව ඔබ නුදුටුවේද?

ඊ ළඟ අවස්ථාව වන්නේ විපුලගේ කායික ඇසුර සොයා දෙවැනි වරටත් ඔහුගේ කාමරයේ ජනේලය අසල තාවර වන ගෝතමිගේ දර්ශනයයි. පිරිමියෙකුගේ ඇසුර ඉල්ලා පොර බදින ගැහැණු සිත, ආත්මාභිමානය සහ ඉඳුරන් අතර හට ගන්නා අරගලය, ප්‍රතික්ෂේපය භාර ගැනීමට අකැමති මනුසත් ගතිය කෞශල්‍යා ප්‍රකට කරන්නේ ඇසට කඳුළු නංවන ලෙසිනි. සිංහල සිනමාව තුළ කායික ඇසුරක ඇවැසි බව එලෙස මානුෂික දැක්මකින් විනිවිද දුටු අවස්ථාවක් දැක නැත්තෙමි. එදා "මලට නො එන බඹරු" හි සුවිනීතා වීරසිංහත්, "තිසරාවි"හි ෂෙහාරා ජයවීරත්, "යකඩ පිහාටු" හි සේමිණි ඉද්දමල්ගොඩත් වටහා නොගත් යථාර්ථය එයය. කෙඳිරිලි සහ විලාප වලින් තොර රමණ ඇරියුමක් මෙන්ම ඒ සඳහා වූ තදබල අවශ්‍යතාවක් ද පිරිමියෙකුගෙන් ප්‍රතික්ෂේප වීම තුළ බිම ඇද වැටෙන ආත්ම ගෞරවය ද කෞශල්‍යා ග්‍රහණය කරගන්නේ විස්මිත ආකාරයෙනි.

තුන්වැනි අවස්ථාව ලෙස ගෝතමි ෆර්නැන්ඩස් සමාජ සේවා ක්‍රියාකාරිනිය ඉදිරියේ නොසන්සුන්තාවයට ලක්වන ආකාරය නිරීක්ෂණය කරන්න. වරදක් කළ පාසල් දැරියක සේ කලබලයට සහ තැතිගැන්මට ලක්ව පිළිතුරු සපයන ආකාරයත් ක්‍රියාකාරිනියගේ සාම්ප්‍රදායික ප්‍රශ්න කිරීම් අභිමුව උපදින ආත්මානුකම්පාවෙන් හඬා වැටෙන ආකාරයත් ඇය අති විශිෂ්ඨ ලෙස නිරූපණය කිරීමට සමත් වේ. අනෙක් අවස්ථාව වන්නේ චිත්‍රපටය අග භාගයේ දී ඩෙස්මන් ගේ ආදරණීය භාර්යාව ලෙස, එනම් ගෝතමී ෆර්නැන්ඩස් ලෙස ඇය නිරන්තරව මුහුණට නගන, දසන් තිස් දෙකම විහිදුවා දක්වන ප්‍රසන්න සිනහවයි. ඒ සිනහව අපට නුපුරුදුය. මෙතෙක් කල් තිබූ සීමා සහිත, බයාදු සහ අසරණ සිනහව වෙනුවට ඇයට ඇත්තේ සාම්ප්‍රදායික කුලවමියක ගේ ප්‍රහර්ශයයි. කාටවත් වුවමනා නොවූ වෙළඳ කලාපයේ කෙල්ලක ගේ සිනහවකට වඩා පතිකුලයට ගිය භාර්යාවකගේ සිනහව හාත්පසින්ම වෙනස් බව කෞශල්‍යා අපට සිහිපත් කර දෙන්නේ ඇගේ නිර්ව්‍යාජ සිනහව තුළින්ය.



අනෙක් චරිත පිළිබඳව නොව සමස්ත නිර්මාණය තුළම මා අත් විඳි සජීවි සහ යථානුරූපි සිනමා භාවිතය පිළිබඳව ද පැවසිය යුතු මනාය. දඟකාර සහ නිදහස් සිතුවිලි වලින් යුතු මංගලා ලෙස රංගනයේ යෙදෙන ඩිලානි අබේගුණවර්ධන අප වෙත ඉතිරි කරන්නේ ඇය පිළිබඳ කණගාටුවකි. මන්ද යත් සිය රංගන දිවියේ ස්වර්ණමය යුගය වාණිජ සිනමාවේ කසිකබල් නිර්මාණ තුළ දිය කර හැරි ඩිලානි තමා තුළ ඇති කුසලතාපූර්ණ හැකියාව සඟවා ගෙන සිටීමට හේතුව දන්නේ ඇය පමණි. ඇය තුළ වෙළඳ කලාපයේ යුවතියකගේ ඇවතුම් පැවතුම් නොඅඩුව දක්නට ලැබිණි. වෙනකක් තබා සාපේක්ෂව අසාර්ථක රංගනයක් ලෙස හැඳින්විය හැකි එකම රංගනය වන දුමින්ද ද සිල්වා ගේ චරිතය, එනම් පත්තිනි හේවාරාලලාගේ විපුල තුළ පවා සාධනීය ලක්ෂණ නොඅඩුව දක්නට ලැබිණි. ගුවන් හමුදා නිළධාරියෙකුගේ චරිත ස්වභාවයට ඇවැසි පෙනුම, කලාපයේ කෙල්ලන් වසඟ කරන්නට සමත් වූ කඩවසම් රූපකාය, රූමත් මංගලා ප්‍රේමයෙන් බැඳෙන්නටත්, රූමත් නොවන ගෝතමි පවා සිතින් බැඳෙන්නට තරම් තිරයේ දිස් වූ විපුල ලිංගික ආකර්ෂණයෙන් පොහොසත්ය. නමුත් සැණකෙළියේදී ගෝතමි - ඩෙස්මන් හමුවන අවස්ථාව වැනි තීරණාත්මක අවස්ථා කිහිපයකදී දෙබස් කියන්නට දක්වන කඩිමුඩිය විපුලගේ චරිතයට නොතරම්ය. අනෙක් පසින් සුළු සුළු සිදුවීම් තුළින් පවා නිර්මාණකරු කථාවේ විශ්වසනීයත්වය වැඩිදියුණු කරන අයුරු දකින්න. සුපර්වයිසර්වරියගේ අකාරුණික දඬුවමින් ඇසට කඳුලක් උණන මුත් එහි පළිය ගැනීමට ගෝතමී අමතක නොකරන්නීය. ඇඹරැල්ලා ගෙඩියක් කෙල්ලන් අතින් අත හුවමාරු වන අතර අවසානයේ ගෝතමී ට හිමිවන්නේ ඇටය කොටස පමණකි. නුමුදු ඇය එය කෙරෙහි උනන්දු නොවී පසෙකින් තබන්නීය. අනුන්ගේ බත් පත් වලින් ලැබෙන බත් පවා ඇයට පිරියක් ගෙන නොදේ. ඒ කුඩාකල සිටම ආරියවතීට හිමි වූ දෙවැනි මට්ටමේ සැලකුම් සංග්‍රහ වලට ගෝතමි දක්වන ප්‍රතිචාරය නොවේද? මංගලා විපුල ගේ ඡායාරූප එකතු කරන අතර ඉන් එකක් සොරා ගන්නා ගෝතමි, විපුල ගේ ලේන්සුවක් මංගලාගෙන්ම ඉල්ලා ගැනීමට සමත් වන්නීය. එතැනින් නොනැවතුණු ඈ අත්වැරදීමකින් එහා කාමරයට ගිය එම ලේන්සුව එහි ගොස් රැගෙන ඒමට තරම් සිත් ඇත්තියක වන්නීය. විපුල කෙරෙහි අතිශය ඇල්මක් පෙන්වන මංගලා එහා කාමරයේ සරසවි සිසුවා සමග ද ප්‍රේමයෙන් බැඳෙන්නී ගබ්සාවක් කර ගන්නා මට්ටමට පත් වන්නීය. විපුලට දාව දරුවෙක් වදා එම දරුවා අත්හැර පලා යන ගෝතමි එක් පසෙක අලුත් දරුවන් නැතිව තැවෙද්දී, ලාබාල පෙම්වතා නිසා කළලය නැසූ මංගලාට විපුල ව නීතියෙන් හිමි වුවද ඔවුන්ට දරුවන් නැති කමින් පීඩා විඳීමට සිදු වේ. මේ ඔබ අප දකිනා ලෝකය තුළ, නිතරම අසන්නට දකින්නට ලැබෙන සිදුවීම් වලට පණ ලබාදීමක් නොවේද?

බොර දිය පොකුණ පුරා ගලා යන ස්වභාවික රිද්මය සහ රටාවට කැමරාව සහ රූප රාමු මෙන්ම අධ්‍යක්ෂවරයාගේ පරිණත බව ද කදිම පිටිවහලක් සපයන බව දක්නට ලැබේ. ජගත් චමිල, ගෝතමි දකින වෙසින් පැමිණ මංගලා ව විමසන ආකාරයත්, එය වටහාගෙන තම මනෝ ලෝකය කඩා බිඳ දමා ගන්නා ගෝතමි ඔහු දුන් කඩදාසිය දෙස නොබලාම පහනක දැවී යන්නට හරින සිදුවීමත් සැබැවින්ම අපූරුය. ගෝතමි රුපියල් හත්සිය පණහක් දී ගන්නා කමිසය පරදවා මංගලා ගේ රුපියල් දෙසිය පණහේ ලාබ කමිසය ප්‍රේමයේ නාමයෙන් ජය ගන්නා ආකාරයත්, ඔවුන් බෙහෙත් ගෙන ඒමට පිටව ගිය පසු ගෝතමි කාමරය තුළට වී හඬා වැලපෙන ආකාරයත් හද කීරි ගස්වන සුළුය. නොගැලපෙන සිදුවීමකට ඇත්තේ ගෝතමි පැහැර ගන්නා ගිරිරාජ් කෞෂල්‍ය ප්‍රමුඛ පිරිසගේ ඇඳුම් පැළඳුම් සහ අධි රංගනයන්ය. සෑම චිත්‍රපටයකම මැරයින්ට පොදු නිළඇඳුම වූ ඩෙනිම් කලිසම, කළු කමිසය සහ ඩෙක් සපත්තු පැළඳි "බොරදිය පොකුණේ" මැරයින් ද ශේක්ස්පියර් නාටක වල මෙන් ඇඟට ගෙන දෙබස් පවසති. නාට්‍යානුරූපි ලෙස මුදල් දමා ගසති. නමුත් එම සිදුවීම අමතක කළ හැකි මට්ටමට අධ්‍යක්ෂවරයාගේ ස්ථාවරය අති මහත්ය. බොර දිය පොකුණ තුළ පැතලි චරිත නොමත. සැබෑ එහි මිනිසුන් ජීවත් වෙති. සත්‍යජිත් ට මේ චිත්‍රපටය පහසුවෙන්ම "ඉන්දුට මල් මිටක්" දෙවැනි කොටස බවට පත් කරන්නට ඉඩ තිබුණු නමුත්, එය "බොරදිය පොකුණ" ම කරන්නට ඔහු වසර ගණනක් තිස්සේ අරගල කළ බව අලුතින් පැවසිය යුතු නොවේ. සත්‍යජිත් තම කථා වස්තුවට අදාල වන ලිංගික දර්ශන කෙරෙහි දක්වන නිර්භීත කමත් ඒ කෙරෙහි ඔහු සහ නළු නිළියන් දක්වන සංයමයත් අතිශය පැසසුම් සහගතය. සිංහල සිනමාව යනු දශක ගණනක් සංසර්ගයේ යෙදෙන නමුත් කන්‍යාභාවය අහිමි නොවූ යුවතියකි. එබැවින් ඉතිහාසය පුරාවට ලිංගික දර්ශන අරභයා ඇතිවන සංවාද අවසානයේදී එක්කෝ නිළිය නැතිනම් අධ්‍යක්ෂවරයා හෝ නිෂ්පාදකවරයා නිරුවත් වීම සුලභ දෙයකි. එය "අම්මේ මට සමාවෙන්න" හි අනුෂ්කා මැදිවක ගේ සිට "පෙම්බර මධු" "කරුමක්කාරයෝ" සහ "හිම කතර" ට එක්වන ගීතා කුමාරසිංහ,"ඇගේ වෛරය" රඟන චන්දි රසිකා, "බහු භාර්යා" හි සංගීතා වීරරත්න, "සීත රෑ" රඟ පෑ ෂෙහාරා ජයවීර සහ "තනි තටුවෙන් පියාඹන්න" හි අනෝමා ජනාදරී දක්වාම පොදු වූ සාධකයකි. නමුත් සත්‍යජිත් සහ කෞශල්‍යා අතර අධ්‍යක්ෂණය සහ රංගනය සඳහා වූ නිහඬ ගිවිසුම අනාගත සිංහල සිනමාව අවුල් වියවුල් වලින් තොර තිරය මත පමණක් සටන් ජවනිකා දක්නට හැකි සිනමාවක් බවට පෙර ලකුණු පෙන්වයි.



අවසාන වශයෙන් මා අවධානය යොමු කරන්නේ බොරදිය පොකුණට මා වසඟ කළ දර්ශන අවස්ථා ද්විත්වයක් දෙසය. විපුල සොයා ඔහුගේ කාමරයට එන ගෝතමි ට එහි රේඩියෝවෙන් ඇසෙන්නේ "හුණු වටය" වේදිකා නාට්‍යයේ මානෙල් ජයසේන එනම් කුවේණිය ගයන මේ ගීතයයි.

සත් සියක් කපු මල් රැගෙන මම - සත් සියක් සුදු කෙඳි රැගෙන මම
සත් සියක් කපු පිළි වියන මම - සත් සියක් දෙන පළදිතේ


ගෝතමී ට විපුල ව දකින්නට වුවමනා වූ කල්හි විපුල කාමරය තුළ සිට ග්‍රිල් කූරු අතරින් ඇය දෙස බලා සිටින්නේ ඔවුනොවුන් අතර පරතරය කොතරම්දැයි අපට වැටහෙන අයුරිනි. නමුත් වසර ගණනාවක ඇවෑමෙන්, සැණකෙළියේදී අහම්බෙන් මුණ ගැසුණු පසු විපුලට ගෝතමි මුණ ගැසීමේ අවශ්‍යතාවක් හට ගනී. ඈ සොයායන විපුල ගෝතමිගේ නිවසේ ග්‍රිල් කූරු අතරින් ඇගේ ලෝකය දකියි. ඔහු නිවසට එන විට රේඩියොවෙන් ඇසෙන්නේ එදා ඇසුණු කුවේණිගේ ගීතයමය.

සත් සියක් මායා බෙලෙන් මම - සත් සියක් බන්ධන බෙලෙන් මම
සත් සියක් සක්වල සොයා මම - ගෙන්වු කුමරුන් ලඟ එතේ


ලක් ඉතිහාසය විජයගෙන් ආරම්භ වූ බව සැබෑවක් නම් කුවේණිය යනු ගෝතමිගේත්, මංගලාගේත්, සුවිනීතාගේත් සන්නාලි පරපුරේ ආරම්භක සාමාජිකාවයි. විජය කෙරේ බැඳුණු ඇයට අවසානයේ තම රැහේ උන් පවා නැති වන තැනට කටයුතු යෙදුණු අතර ගෝතමිගේත්, මංගලාගේත් ඉරණම ද ඊට වෙනස් නොවේ.

බලන්න බොරදිය පොකුණෙහි ආරියවතී නොහොත් ගෝතමි දෙස.... නොදකින්නේද ඔබ කුවේණියකගේ ගති ලකුණු?

සුන්ව ගිය පේ‍්‍රමයක ගිනි ඇත - සුන්ව ගිය ජීවයක ගිනි ඇත
අනාගතයක සුන් වූ ගිනි ඇත - අතීතයකින් උපන් ගිනි ඇත


සහන් කසීර වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails