Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ක‍්‍රි.පූ. 1300 වන විට මෝගල් අධිරාජ්‍යයා ලෙස පත්ව සිටි අල්ලාවුදින් ඛල්ජි (Allaudin Khilji) යුගයේ විසූ කීර්තිමත් සංගීතඥ අමීර් කුෂ්රු (Amir Khusru) විසින් පර්සියානු සංගීත භාණ්ඩයක් දියුණු කර "සිතාරය" නිර්මාණය කර ඇති බව කියවේ. ඒ ඇසුරන්, 18 වන සියවසේ දී වර්තමාන ස්වරූපයේ සිතාරය නිර්මාණය කර ඇත. මා පුදුමයට පත් වූයේ් අමීර් කුෂ්රුට වඩා වසර 1400 කට ඉහත දී ලංකාවේ විසූ එළාර නැමැති පාලකයෙකු ගේ දියණියක සිතාරයක් වාදනය කරමින් ගී ගයන ඓතිහාසික චිත‍්‍රපටයක් දැකීමෙනි. මා කණගාටුවන්නේ මේ සිනමා ඛේදවාචකය ගැන නොව, නිර්මාපකයා ප්‍රෙක්ෂක අප ගැන සිතා සිටින ආකාරය ගැන ය. මීට වසර 500 කට පෙර ලංකාවේ සිතාරය නොතිබුණ බව දැනගත්දාට මේ 'ඓතිහාසික චිත‍්‍රපට' නිර්මාපකයා තමන් කළ බව කියන මහා පර්යේෂණය ගැන ලැජ්ජාවට පත්වනු ඇත.

මා මේ කතා කරන්නේ ඓතිහාසික චිත‍්‍රපට 'ඓතිහාසික චිත‍්‍රපට' නොවීමේ කතාව ගැන ය. 'ඓතිහාසික චිත‍්‍රපටයක' කතාවෙන් කියවෙන කාලයට අයත් කාර්මික, වාස්තුවිද්‍යා, භාෂා, ආගමික, සංස්කෘතික තත්වය හැකිතාක් ප‍්‍රතිනිර්මාණය කිරීමට පර්යේෂණ කළ යුතු ය. ඇඳුම් පැළදුම්, නිවාස සහ උපකරණ එදා තිබුණු තාක්ෂණය සහ නිෂ්පාදන ආර්ථිකය යටතේ නිෂ්පාදනය කළ හැකි ඒවා විය යුතුය. නිර්මාපකයා වර්තමානයේ සිටිමින් අතීතය ප‍්‍රතිනිර්මාණය කිරීම තේරුම් ගෙන ඇති ආකාරය කියවෙන එක් දෙබසක් මෙසේ ය.

"එළාරට පැරණි බ‍්‍රාහ්මී අක්ෂර කියවන්න පුඵවන්."

දේවානම්පියතිස්ස සහ මහසෙන් යුගය තෙක් කාලයට අයත් අකුරු මෙකල "පැරණි බ‍්‍රාහ්මී අක්ෂර" වුවද එකල ඒවා "පැරණි අක්ෂර" වූයේ නැත. අනෙක් අතට දේවානම්පියතිස්ස සහ මහසෙන් යුගය අතර අක්ෂර "බ‍්‍රාහ්මී අක්ෂර" ලෙස හඳුන්වන්නේ ඉංග‍්‍රීසි යටත් විජිත යුගයේ දී සිට ය. උක්ත දෙබස හා සමාන විශාල දෙබස් ප‍්‍රමාණයක් මගින් කර ඇත්තේ නිර්මාපකයා තම අතීත හැදෑරීම අතිශය ආගන්තුක විලාශයකින් ගෙනහැර පා ඇති බව සනාථ කිරීම බව පෙනෙයි.



නිර්මාපකයා තම වටිනා සොයාගැනීමක් ලෙස බොහොමයක් පුරාජේරුවලදී (සාකච්ඡා) කියන්නේ 'ගැමුණු' දුෂ්ඨ ගාමිණී කළේ එළාරගේ පුරෝහිතයා බව යි. දුටුගැමුණු යුගයේ ව්‍යවහාර කළ භාෂාව මෙකල 'ප‍්‍රාකෘත සිංහලය' ලෙස හැදින්වෙයි. එය දීර්ඝ ස්වර නැති උච්චාර විලාශයක් ගත් සිංහලයේ අප දන්නා පැරණිම අවස්ථාවයි. මෙරට ව්‍යවහාර භාෂාව ප‍්‍රාකෘත වුවද පසු කලෙක වංශකතා ලීවේ ඉංදියාවේ පාලි භාෂාවෙන් ය. සමහර ප‍්‍රාකෘත ශිලා ලිපිවල 'දුටක ගාමිණී අබ මහරජ' ලෙස දුටුගැමුණු හදුන්වා ඇත. 1970 ශිලාලේඛන සංග‍්‍රහයේ හැදින්වීමේ පරණවිතාන මහතා (Inscription of ceylon. Vol; 1: introduction) සංස්කෘත භාෂාවේ දු(ර්)ෂ්ඨ යන්නෙන් බිදුණු ප‍්‍රාකෘත ‘දුටක’ යන්නෙහි තේරුම ‘වීර’ බව පෙන්වා දී ඇත. පසු කලෙක පාලි වංස කතා කරුවන් මුඛවහරේ දුටක යන්න වෙනුවට ‘දුෂ්ඨ’ යන පාලි වචනය යොදා ඊට ‘ගැහැණු ඇඳුම් කතාවක්’ අමුණා ඇති බව පෙනෙයි. පරණවිතාන විසින් ‘වීර ගාමීණී ව දුෂ්ඨ ගාමිණී’ කර ඇත්තේ මහාවංස කතුවරයා බව 1970 තරම් ඈතක දී වාග්විද්‍යා පදනමකින් සනාථ කර තිබෙයි. එය නො දැන මහා ප‍්‍රාඥයෙකු ලෙස ‘භට්ටාර’ කතාවක් ඇදබා ගෙන තමන් කරගත් විනාශය ගැන නිර්මාපකයා දැනගත් දා ලැජ්ජා වනවා නියතය. මේ කියන කොත්මළේ ගමනට වඩා තාර්කික යමක් ධාතුවංශයෙන් කියවෙන දුටුගැමුණු පුරාවෘත්තයෙන් පිළිබිඹු වන නමුත් එය නොසලකා හැර ඇති බව පෙනෙයි. නැති නම් අප ප්‍රබුද්ධ නොවන නිසා පෙනෙන හැටි විය හැකි ය.

එළාර ක‍්‍රි.පූ. 205 දී ලංකාව ආක‍්‍රමණය කළ ඛාරවේල රජුගේ සහාය ගත් අයෙකු බව නිර්මාපකයා කියයි. එහෙත් ඛාරවේල රජ වූයේ පවා එළාරට වසර 35 පසුව, ක‍්‍රි. පූ. 170 ආසන්න කාලයක දී ය. ඛාරවේල රජුගේ හත්තකුම්පා ශිලා ලිපිය අනුව ඔහුගේ 11 වන වර්ෂයේ දී හෙවත් ක‍්‍රි. පූ. 161 දී ‘ත‍්‍රිමිරදේශසංඝ’ නැමැති චෝල රාජ්‍ය එකතුවක් විනාශ කර ඇති බව කියවේ. එළාර ‘ත‍්‍රිමිරදේශසංඝ’ යෙන් පැමිණි අයෙක් වීමේ සම්භාවිතාවය ඉහල අගයක් ගනී. දුටුගැමුණු සහ ඛාරවේළ සමකාලීනව රාජ්‍යත්වයට පත්ව ඇති බව පෙනෙයි. දුටුගැමුණු ඛාරවේලගෙන් සහාය ගත්තායැ’යි කිවහැකි වුද සිහිබුද්ධිය ඇතිව ‘ඛාරවේලගෙන් උදව්ගත් එළාර කෙනෙකු’ ගැන අංක ගණිතය තිබෙනතාක් පිළිගත නො හැකි සේ පෙනෙයි.



කාවන්තිස්ස යුගයේ මහවැලි ගඟේ කසාතොටේ රැකවල් යෙදීමෙන් ද, දුටුගැමුණු සේරු නුවරට යාමෙන් ද මංගල මහාචේතිය ඉදිකිරීමෙන් ද කාවන්තිස්ස යුගය පුරාම මහවැලි ගඟෙන් මෙපිට කාවන්තිස්ස පාලනය කළ බව පෙනෙයි. නමුත් මහියංගනයේ සිට එළාරගේ සෙනවිවරු 32 ක් සමග දුටුගැමුණු සටන් කරයි. මෙයින් පෙනෙන්නේ කාවන්තිස්සගේ මරණයෙන් පසුව එළාර රුහුණ ආක‍්‍රමණය කර ඇති බවයි. නිර්මාපකයා මෙවැනි අප‍්‍රකට සිදුවීම් සැළකිල්ලට ගත්තා නම් යුද්ධය ඇතිවූ ආකාරය මනාව ගොඩනැගිය හැකිව තිබුණි. නමුත් චිත‍්‍රපටයේ දුටුගැමුණුගේ සටනට ආසන්න සිදුවීම සහ මහජනයා ඊට එකඟ කරගන්නා අයුරු අතාර්කිකය. දුටුගැමුණු යුද්ධය ට පිටත් වීම පෙනෙන්නේ ‘මුලින් මහාවංශය ලියා, පසුව එහි තිබුණු යුද්ධය කළා’ සේය.

දකුණු ඉන්දියාවේ අමරාවතී, නාගාර්ජුනකොණ්ඩ වැනි ස්ථූප වල කැටයම් ඵලක දුටුගැමුණු යුගයට ආසන්න කාලයක දී නිර්මාණය කළ නිසා ඒවායින් නිරූපනය වන වාස්තවිත පරිසරය තත්කාලීන ලංකාවේ වාස්තවිත පරිසයට ඉතාමත් සමාන විය හැකි ය. අඩුතරමින් එළාරගේ වාසය කළ ස්ථාන හෝ අමරාවතී, නාගාර්ජුනකොණ්ඩ කැටයම් ඵලක වලින් පිළිබිඔු වන පෙනුම තිබිණි. එහෙත්, ඒ කලා කතෘතිවලින් නිරූපය වන ගෘහනිර්මාණ සහ මහරජ ගැමුණු චිත‍්‍රපටයේ ගෘහනිර්මාණ අහසට පොළොව මෙන් වෙනස්ය. කාවන්තිස්ස මාළිගා කුඵණු ආදිය මවා පාන්නේ ලන්දේසි ආණ්ඩුකාරයෙකුගේ නිළ නිවසක සේයාවයි. මාළිගා ඇතුළත දුහුල් තිර රෙදි දැමූ ජනෙල් කොළඹ හතේ බංගලා වැනිය. මේ තරම් වියදම් නොකර අඩුතරමේ අජන්තා චිත‍්‍ර කීපයක් බලා තිබුණේ නම් පෙරදිග ගෘහ නිර්මාණ ශිල්පයට ආවේණික ලක්ෂණ තේරුම් ගත හැකිව තිබුණි. මෙකල පවා අලෙවියට ඇති උලු වර්ගයක් සෙවිලි කළ ගොඩනැගිලි නිසා එකවරම සමහර දර්ශන පෙනෙන්නේ ‘ඉන්ටවල් එකේ වෙළඳ දැන්වීම්’ ලෙස ය. එබැවින් ඓතිහාසික වාස්තුවිද්‍යාව පිළිබඳ කිසිදු ප‍්‍රමාණවත් අධ්‍යනයක් කර නැති බව පෙනෙයි. පෙරදිග සංස්කෘතික අංග ප‍්‍රතිනිර්මාණය කිරීමේදී මෙවැනි දෝෂ තිබුණේ එම්. සාර්ලිස්ගේ බෞද්ධ චිත‍්‍රවල තිහේ දශකයේදීය. 1970 වන විට සොයිලියස් මැන්දිස් විසින් එවැනි දුබලතා බොහෝමක් මගහරවා තිබුණ ද චිත‍්‍රපටි නිර්මාපකයන් තවම සාර්ලිස් යුගයේ සිටීම හාස්‍යජනක ය. නැති නම් අප ප්‍රබුද්ධ නොවන නිසා අපට පෙනෙන හැටි විය හැකි ය.

දුටුගැමුණු යුගයේ තිබුණු පේෂකර්මාන්ත තාක්ෂණය යටතේ කිසිලෙසකින් හෝ සෑදවිය නොහැකි නයිිලෝන් රෙදිවර්ග පෞරාණික පෙනුමට මහත් සේ බාදාවකි. අද වෙළඳ පොළේ ඇති රෙදි මීට අවුරුදු 2000 කට කලින් තිබුණු බව තේරුම් ගැනීමට සිනමාකරණය හෝ කලා අධ්‍යක්ෂණය පිලීබඳ දැනුම නැතිවද තේරුම් ගත හැකි ය. ඇදුම් වල මේ විහිළු ගතිය නිසාම එළාර පෙන්නෙ රෝම කොළොසියමක ග්ලැඩියේටර් කෙනෙක් වගෙයි. දස මහ යෝදයෝත් එහෙමයි. රනින් කළ සන්නාහ, පපුවේ සිංහ මුහුණු ආදිය නිසා දස මහ යෝදයෝ රෝම හමුදාකාරයෝ වගෙයි. මේ ලෙස පෙරදිග සෞභාග්‍ය වරදා ‘විජාතික දුටුගැමුණු කෙනෙකු’ මවා ඇති සේ ය. මේ විජාතික ගැමුණුට ජාතික බව කියන කල්ලියේ පුද පූජා ලැබීම පුදුම විය යුතු නැත. ඔවුන් එසේ ය.

එදා කපුරෙදි කොස් ගසේ පතුරු තම්බා පඬු පොවාගත් චීවර පොරවා ඇති නමුත් චිත‍්‍රපටයේ භික්ෂූන් පොරවා සිටිනේ මෙකල සින්තටික් රෙදිවලින් ගාමන්ට්වල මැසූ චීවර බව පැහැදිළිවම පෙනෙයි. රාජකීය කාන්තාවන් හිස රෙදිකඩකින් වසා සිටි බව දැකිය හැකිය.
නමුත් මුස්ලිම් ආක‍්‍රමණය වූ 12 වන සියවසෙන් මෙපිට ලංකාවේ තබා ඉන්දියාවේ වත් කාන්තාවන් එසේ නො පැළඳි බව අජන්තා-සාංචි කැටයම් ආදිය පවා සාක්ෂි දරන බව ඒ.එල්. බෂාම් "අසිරිමත් ඉන්දියාව" කෘතියේ පෙන්වා දෙයි. මේ ලෙස වේල් පැළදි කාන්තා රූප ලස්සන විය හැකි නමුදු අතීත ප‍්‍රතිිිනිර්මාණ කාර්යය නම් නොවේ. මේ වේල් පැළඳි කාන්තාවන් මෝගල් යුගයේ මුස්ලිම් රාජ සභාවක් වැනි ය. මේ නිසා ‘මුස්ලිම් දුටුගැමුණු’ කෙනෙකු දක්වා අතීතය විකෘති කර ඇති සේ ය. මේ අවිචාරී ගතිය කොතෙක්ද යත් මෙකල බිහිවූ ඓතිහාසික චිත‍්‍රපට සියල්ල එකම මැෂිමකින් හදපු බඩු ගොඩක් වැනිය.

කතාව මහා ආඛ්‍යානයක් නිසා සිය ගණනක් චරිත හැසිර විය යුතුය. මේ සංකීර්ණ ක‍්‍රියාදාමයේ චරිත ස්ථාපන කර ඇති අයුරු අතාර්කික බව පෙනෙයි. රජුගේ ප‍්‍රධාන සේනාධිපතිවරු රට පුරා ඇති කඳවුරු වල රාජකාරි කළ යුතු වුත් දස මහා යෝධයෝ අනපු නැති බූරු කූට්ටමක කොළ ටික වගේ එක පෙලට සිටින අයුරු දකින විට සිනා උපදවයි. සෙනවිවරු විශේෂ අවස්ථාවක දී හැර රටපුරා රැකවල් කරමින් මහත් වෙහෙසකර දිවියක් ගත කරන්නෝ විය යුතුය. මහරජ ගැමුණු චිත‍්‍රපටයේ එක පොදියට ගුලිවී කිසිම වැඩක් නැතිව සිටින දස මහා යෝධයන් දකින විට පොතක් වීඩියෝ කිරීමට ගොස් අමාරුවේ වැටුන නිර්මාපයෙකුගේ දුගී ප‍්‍රතිභාව ගැන මහත් අනුකම්පා උපදවයි. සමහරවිට මේ දෝෂ දකින විට වෙනත් අයෙක් කර වැරදුණු නිසා මේ කියන අධ්‍යක්ෂකවරයාගේ නම මීට ඈදා තිබෙන්නේද යන සැකය පවා පහල වෙනවාය.


Maharaja Gemunu- Trailer

එසේම වංශකතා සහ ශිලා ලිපි අධ්‍යනය කළ විට, විහාර මහාදේවිය බලවත් වූයේ අනෙකක් නිසා නොව කැළණි රාජ වංශයේ සහාය ලබා ගැනීමට ඇගේ මව් පස උරුමය වැදගත් වූ නිසා බව පෙනෙයි. නමුත් ධාතුවංශයෙන් කියවෙන කැළණි තිස්ස රජපරපුරේ එකල කළ දේශපාලන බලපෑම චිත‍්‍රපටයේ දක්නට නැත. දස බෑ පරපුර පිළිබඳ ධාතුවංශයේ විස්තර ද ප‍්‍රාකෘත ශිලා ලිපි ගණානාවකින් ද එවකට මාගම හැර වෙනත් පාලන අධිකාරීන් ගණනාවක් අනාවරණය කරයි. මේ කිසිදු දේශපාලන ඒකකයක් චිත‍්‍රපටයේ නො කියවෙයි. අඩුතරමින් කුමරු සෝම නුවරට යාම සහ දස බෑ පරපුරේ ගිරිඅබය වැනි කුමාරවරුන්ගේ බලපෑම් චිත‍්‍රපටයේ කිසිත් නොකියවෙයි. එළාර දුටුගැමුණුට කිසිදු අභියෝගයක් නොකර ‘මෙහෙයුම් මැදිරියකට වී කොඩිගලවමින් සිටී’! මේ විහිළුවද නිර්මාපකයා කළැ’යි කියපු මහා පර්යේෂණය?

දුටුගැමුණු යුගයේ ප්‍රාදේශීය රාජ්‍ය ගණනාවක් අතර බලය බෙදී තිබුණු ආකරය සහ ඒ වෙත එළඔ එළාරට එරෙහි කඳවුර මෙහෙයවීමේ දැවැන්ත දුෂ්කර මෙහෙවර පිළිබිඹු කර දුටුගැමුණූගේ ශ්‍රේෂ්ඨත්වය හොදින් ඉස්මතු කළ හැකිව තිබුණි. ආඳාගල සන්නසේ කියවෙන කාවන්තිස්ස රජ පවුලේ දියණිවරුන්ද, කැලණිතිස්ස රජුගේ පුත් ‘අය අශලි’ එමෙන්ම වෙනත් ප‍්‍රාදේශීය රජවරු වන ඕලූගම්ගල 'රජ ශිව', යටහලෙන ‘දුශතර පවුල’, කිරිමකුඵගොල්ල ‘අය කෙර’, එමෙන්ම ‘අය සුරතිශ’, අය අබය, රණගිරිමඩ ‘රජ උති’ චිත දේවිය ආදීන්ගෙන් කියවෙන ප‍්‍රාදේශීය රාජ වංශ රැසක් බල ව්‍යාප්තියට කළ අරගලය ප‍්‍රාකෘත ශිලා ලිපිවලින් කියවේ. නමුත් ඒවා වෙත කිසිදු බැල්මක් නොහෙලා වටිනා කාලය එළාරගේ කෙල්ලගෙ සිංදු වලට පාවිච්චි කර තිබීමට පටු දෘෂ්ඨියේ ප‍්‍රතිඵලයකි.

‘ෆයිට් පහයි-සිංදු දෙකේ අනුපාතයට’ හදපු මේ චිත‍්‍රපටය වැඩිම හිංසාවක් කර ඇත්තේ සංගීත අධ්‍යක්ෂණයෙන් බව සිතෙයි. චිත‍්‍රපටයෙන් කියවෙන ඓතිහාසික යුගයට ආවේණික වාදන භාණ්ඩ ප‍්‍රතිනිර්මාණය කර පසුබිම් සංගීතය උසස් තත්වයකට ගෙන ආ හැකිව තිබුණි. පර්යේෂණ කළ යුත්තේ මුදල් වියදම් කළ යුත්තේ ඒවාට ය. එහෙත් ඒ සියල්ල නොසලකා ඇති බව පෙනෙයි. එක අතකින් පශ්චාත් මැතිවරණ ප‍්‍රචාරකපටයක මෙවැනි දෝෂයක් තිබීම පුදුම විය යුතු නොවේ.

අනෙක් අතට, ඓතිහාසික චිත‍්‍රපට බව කියන සමහරවිට දේශපාලනික ප‍්‍රචාරකපටයක් නැරඹීමට මුදල් ගෙවන්නට සිදුවීම ගැන කණගාටු වෙමින් මම සිනමාහලෙන් එළියට ගියෙමි. මෙවැනි චිත‍්‍රපටක් කළ අයෙකු අනෙක් ඊනියා ඓතිහාසික චිත‍්‍රපටකරුවන්ගෙන් බිඳක් හෝ වෙනස් නැති බව පෙනයි. ඉතිහාස විෂයය තහනම් කර තිබුණු රටක ‘ඓතිහාසික සිනමාවක්’ සෙවීම යකඩ ගිනිගත් ගෙයි පුළුන් සෙවීමක් බව මහරජ ගැමුණු පසක් කළ බව නම් පැහැදිලිය.

[මාර්තු පළමුවන දා රිවිර පුවත්පතෙහි පළවූ ලිපියෙහි සංශෝධිත පිටපතකි.]

ලලීන්ද්‍ර සන්නස්ගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails