Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කූරගල ඓතිහාසික සහ ආගමික අනන්‍යතාව පිළිබද දශක ගණනක් තිස්සේ පවතින ආරවුල ඉතා මෑතකදී ඇතිවූ කළහකාරී වාතාවරණයත් සමගම නැවතත් සංකීර්ණ වූයේය. පසුගියදා සිහල රාවය සහ තවත් බෞද්ධ මූලධාර්මවාදී කොටස් කිහිපයක් සහ පොලීසිය අතරත් කූරගල ප්‍රදේශයේ වැසියන් අතරත් යම් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය. කෙසේවෙතත්, මෙවැනි මතභේදාත්මක සිදුවීම් වල අතීතය දශක කිහිපයක් දක්වා පසුපසට දිවයයි.

කූරගල පිළිබද අවධානය යොමුකරන්නෙකුට පෙනී යන්නේ එය, ප්‍රධාන වශයෙන් ඓතිහාසික සහ ප්‍රාග්ඓතිහාසික සංස්කෘතික ස්ථර තුනකින් යුක්ත වන බවයි. කූරගලයට යන බොහෝ දෙනෙකු ට දක්නට ඇත්තේ ක්‍රි. පූ සමයට අයත් ලෙන් ලිපි සහිත කටා‍රම් කෙටූ ගුහා සංකීරණයක් සහ එම ගුහා තුළ ඉදිකර ඇති ඉස්ලාම් ආගමට අයත් ගොඩනැගිලි මෙන්ම වර්ණාලේප කොට විකෘති කරනු ලදුව ඇති ගුහා සංකීර්ණ සමස්තයකි.

මේ අතර කූරගල ප්‍රාග්ඓතිහාසික අනන්‍යතාව සොයාගනු ලබන්නේ ඉතා මෑතක වන අතර ඒ පිළිබද විස්තාරාත්මක පර්යේෂණ වාර්තාව මේ දක්වාත් එළි දක්වා නොමැත. එනිසා මේ ලිපිය තුළ දී මා වඩාත් උත්සහ කරන්නේ කූරගල ඓතිහාසික තත්වයන් පිළිබද සාකච්ඡා කිරීමට ත්, එහි පුරාවිද්‍යාත්මක පසුබිම සැකෙවින් දැක්වීමට ත් ය.

මූලිකවම කූරගල සතු ‍බෞද්ධ අනන්‍යතාව කූරගල ‍ඇති කටාරම් ලෙන් සංකීර්ණය නිසාද එහිලා හමුවන 'දම ගුත තෙරස ලෙනෙ', (ධම්මගුප්ත තෙරුන්ගේ ලෙන) , 'දතහ සමුදහ ලෙනෙ' ( දතගේත් සමුද ගේත් ලෙන ) , 'පරුමක සුමනහ පරුමකලු සුමය' , ( සුමන නම් ප්‍රධානියාගේත් සහ සුම්මා නම් ප්‍රධාන තැනැත්තියගේත් ..............) වැනි ලෙන් ලිපි වලිනුත් ඉතා පැහැදිලුව ස්ඵුට වී ඇත. මෙම ලෙන් ලිපි ක්‍රි. පූ 3 ත් ක්‍රි. ව 1 ත් අතර භාවිත මුල් බ්‍රාහ්මී අක්ෂර වලින් ලියා ඇති නිසා කූරගල සතු බෞද්ධ උරුමය අදින් වසර 3000 කට පෙර අතීතයක් දක්වා දිවයනු ඇත.

එමෙන්ම මෙකී සංස්කෘතික ස්ථරයට කූරගල සහ එය අවට ඇති බුදුගල, පබ්බතාරාමය, දියවින්න මෙන්ම කිරිමකුල්ගොල්ල ආදී ලෙන් සංකීර්ණයන්ද ඇතුලත් කළ හැකි අතර ඊට අමතරව කූරගල සිට දියවින්න දක්වා දිවෙන කල්තොට මොහොර තුළ ඇති අනෙකුත් තනි මෙන්ම පොකුරු වශයෙන් ඇති කටාරම් කෙටූ සහ කොටා නැති ගුහා ද ඇතුලත් කොට මෙය තනි අස්තිත්වයක් වශයෙන් ගෙන සලකා බැලිය හැකි බව මෑතකදී මහාචාර්ය රාජ් සෝමදේව විසින් මත දැක්වීමක් කරණු ලැබිනි. එමෙන්ම ඉහත ස්ථරයන්ගෙන් පිටපත් කරණ ලද ලෙන් ලිපිවල අන්තර්ගතය සහ අක්ෂරවල ඇති රූප විද්‍යාත්මක වෙනස්කම් පිළිබදව අවධානය යොමු කරමින් බුදු දහම මෙරට ආයතනගත වීම පිළිබද දිනවකවානු දැනට නීර්ණය කර ඇති කාලයට වඩා පෙර කාලයකට අයත් විය හැකි බව ද අවධාරණය කෙරිනි.

එහෙත් කූරගල බෞද්ධ උරුමය වෙනුවෙන් පෙනී සිටින ජාති සහ ආගම් හිතකාමී කොටස් කූරගල වෙනුවෙන් පෙනී සිටින්නේ මෙකී උරුමය පිළිබද දැනුමින් වත් නොවේ. ඒ වෙනුවට ඔවුන් මතුකරන්නේ හුදු ඉස්ලාමීය විරෝධයක් පමණි.

කෙසේ වෙතත් කූරගල සතුව පවතින ඉස්ලාමීය අනන්‍යතාවද නොතකා හැරිය නොහැක්කකි.

'ඛුටබ් මොහියුද්දීන් අබ්දූල් කදීර් ජයිලනි' (Qutub Mohiyuddin Abdul Kadir Jaiyliny) හෙවත් 'ගවුස් ඉ ඇසෑම්' මැදපෙරදිග, පක්ස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව ආදි රටවල සිටින ඉස්ලාමීය බැතිමතුන් විසින් මහත් ගෞරවයෙන් සලකනු ලබන ඉස්ලාමීය ආගමික ඉතිහාසය තුළ සිටින ශ්‍රේෂ්ඨ උගතුන්ගෙන් අයෙකි.

මොහු ක්‍රි. ව 1077 දී කැස්පියන් මුහුදට දකුණු දෙසින් ඇති නායිෆ් නම් ඉරානියානු ගමෙහි ඉතාමත් ධාර්මික පවුලකට අයත් ව උපත ලැබූවෙකි. කුඩා කලම පියා මිය ගියායින් පසුව තම අධ්‍යාපන කටුයුතු සදහා බැග්ඩෑඩ් නුවරට පැමිණියේය. ඉතාමත් ධාර්මික ජීවිතයක් ගත කළ ඔහු වසර 90ක් ආයු වළදා ක්‍රි. ව 1166 දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ ජීවිත කාලය තුළ වසර 13 ක කාලයක් ඉතාමත් අභිරහස් ආකාරයට අතුරුදහන් වී සිටි අතර ඉස්ලාම් ලෝකයේ බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ඔහු මෙම කාලය මුළුල්ලේ 'දෆ්තර් ජයිලනී' හෙවත් ‘කූරගල' ට වී භාවනායෝගීව සිටි බවයි.

කූරගල ට දී ඇති ස්ථාන නාමය ද මෙම විශ්වාසය මත පදනම්ව ඇත. කූරගල ප්‍රධාන ලෙනට ඉහලින් කඳු ඉස්මත්තේ පිහිටා ඇති හිටුවන්ගල නම් ලෙන ඉස්ලාමීය බැතිමතුන් විසින් හදුන්වනු ලබන්නේ " කල්- අඩි- මලේ" යනුවෙනි. අත්ල සහිත කදු මුදුන යන අර්ථය ඇති මෙය මොහියුද්දීන් ශාන්තුවරයා විසින් තැබු අත්ල සලකුණ බවයි. එමෙන්ම ඔහු කූරගලට පැමිණ ඇත්තේ ශ්‍රීපාදය වන්දනා කිරීමෙන් අනතුරුවය . ඉන් පසුව ඔහු කල්- අඩි මලේ (පා සලකුණු තැබූ කන්ද) හෙවත් සෝරන්ග මලේ ( උමං ගුහාව) ට පැමිණ ඇත. මෙම දුර්ග මාර්ගය තුළ ඔහු දශකයකට ආසන්න කාලයක් නැවතී භාවනා කළ බවත්, ඉන් පසුව ඔහුට දිව්‍යමය අවබෝධ ශක්තිය ශාක්සාත් වී ඇති බවත් ඉස්ලාමීය බැතිමතුන් තුළ ඇති විශ්වාසයකි.

ඛුටබ් මොහියුද්දීන් ගේ කූරගල සබදතාව පිළිබදව ඇති ද්‍රව්‍යාත්මක සාක්ෂි වශයෙන් ඇත්තේ 1922 දී සොයාගත් ‘මොහියුද්දීන් ගේ ශිෂ්‍යයා' යන අරුත්දෙන වැකිය සටහන් කොට තිබූ සොහොන් ගැබ කි. එය ක්‍රි. ව. 1322 ට අයත් බව විශ්වාස කරයි. එනම් මෙය පිහිටුවා ඇත්තේ ඛුටබ් මොහියුද්දීන්ගේ අභාව‍යෙන් වසර 154 කට පමණ පසුය. අනෙක් සාධකය වන්නේ හිටුවන්ගල නම් ගුහාව තුළ ඇති අරාබි ‍භාෂාවෙන් ලියන ලද වැකි සමුහයයි. එහෙත් මෙම සාධක සියල්ල පිළිබද ප්‍රමාණාත්මක ඓතිහාසික හෝ අක්ෂර විද්‍යාත්මක මෙන්ම පුරාවිද්‍යාත්මක ඇගයුමක් ද කර නොමැත.

මෙම සංස්කෘතික ස්ථර දෙකට වඩා පැරණි ඉතාමත් පැරණි සංස්කෘතික ස්ථරයක්ද කූරගල ආශ්‍රිත ව ඇත. ඒ මේ වන විට ප්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාඥයින් විසින් අනුමාන කරන පරිද්දෙන් කූරගල ප්‍රධාන ගුහාව තුළ ඇති අදින් වසර 16000 ක සිට 6000 ක් දක්වා වූ කාලයට අයත් ප්‍රාග්ඓතිහාසික සංස්කෘතික තැන්පතුවයි. දැනට ප්‍රකාශයට පත්කර නොමැති වුවද පසුගිය වර්ෂයේ කැනීම් මගින් සොයාගත් මානව ඇටසැකිල්ල අදින් වසර 6000 කට වඩා තරමක් පැරණි බව මේ පිළිබද වන ඇතැම් සංවාදයන්ගෙන් අනාවරණය වේ. තත්ත්වය එය වන විට කූරගල ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික දැනුම වර්ධනය කිරීම සදහාද විශාල දායකත්වයක් සපයන සංස්කෘතික භූමි දර්ශනයක් බවට පත්වෙයි. මක්නිසාද යත් භූගෝලීයව ගත්තද ශ්‍රී ලංකාවේ සිටි දඩයක්කාර, අන්නගවේශී ( foraging ) කණ්ඩායම් නව ජීවන රටාවක් සදහා ගම්‍යාතවක් ලබාගැනීම පිලිබඳ කරණු අනාවරණය වන සංවේදී භූමි භාගයක මෙම ගුහා සංකීර්ණය පිහිටා තිබෙන බැවිනි. කූරගලින් ‍සොයාගත් ඉතා පිරිසිදු තිරිවාණා පාෂාණයෙන් ( Clear Quartz Implements ) සෑදු ශිලා මෙවලම් වල ඇති දියුණු තාක්ෂණික ලක්ෂණ තුළින්ද මේය වඩාත් පැහැදිලි වනු ඇත. මෙකී ගම්‍යතාව පිළිබද සාධක රංචමඩම, උඩ රංච මඩම, හල්දුම්මුල්ල ආශ්‍රිතව මෑත කාලීනව සිදුකරණ ලද කැනීම් හා ගවේශන වලින්ද මනාව පැහැදිලි වන තත්ත්වයකි.

පසුගිය වර්ෂයේ ගොඩගත් 'කූරගල මුත්තා' දඩයමින් හෝ එකතු කර ගැනීමට ලැබුණු දෙයක් කා බී තම දිවිපෙවෙත රැක ගන්නට ඇත. ඒ සදහා ඔහු කල්තොට මොහොර පසුකොට පහළින් ඇති වළවේ ගග දක්වාත්, තැන්න පසුකරයමින් බඹරගල නැග උස් සමෝච්ච රේඛා වල පිහිටි පතන් බිම් දක්වාත් ඇවිද හෝර්ටන් තැන්න පුරාත් සැරිසරන්නට ඇත. ඔහුට එකී සමස්ත භූමි භාගයම තනි යායක් වශයෙන් පෙනෙන්නට ඇත. එකී මනෝභාවය සැලකිල්ලට ගතහොත්, වර්තමානය තුළ කූරගල සම්බන්ධයෙන් ඇති වී ඇති ඓතිහාසික සහ භෞමික අනන්‍යතාව පිළිබද අර්බුදය පිළිබද ඇතිවන්නේ උත්ප්‍රාසාත්මක හැගීමක් නොවේ ද... ?

කෙසේ වෙතත් කූරගල බෞද්ධ - ඉස්ලාම් හෝ සිංහල - මුස්ලිම් ගැටුම, මාධ්‍ය හෝ විද්වතුන් අතරත්, මහජනයා අතරත් සාකච්ඡාවට ගැනෙන්නේ ඊට සම්බන්ධ පාර්ශව වලට හෝ ගැටුම් වලට අනන්‍ය වෙමිනි. එහෙත් ඔවුන් කිසිවෙකුත් කූරගල සම්බන්ධ විධිමත් කතිකාවතකට පැමිණීමට හෝ ආසන්න වශයෙන් එබදු කතිකාවක් ආරම්භ කිරීමට පවා අතිශයින් උදාසීනය. මෙහි ප්‍රතිඵලය වශයෙන් ඉන්දියාවේ 'බබ්රි මස්ජීද්' ඇසුරු කොටගෙන හටගත් ‘අයෝධ්‍යා මතභේදය' තරම් සංකීර්ණ තත්ත්වයට මෙකී ගැටලුව වර්ධනය විය හැකි බවට පුරෝකතනය කළ හැක.

මේ පිළිබද මාධ්‍ය මගින් මතුකරන ප්‍රවාදයන් යම් ආන්තික බවක් ද පෙන්නුම් කරණ බව පෙනෙන්නේ 2013 වර්ෂයේ එනම් කූරගල සම්බන්ධයෙන් රාජ්‍ය හා අනෙකුත් ජාති හිතෛශී සහ දේශහිතෛශී කණ්ඩයම් වල වැඩිම මැදිහත් වීමක් කළ වර්ෂයේදී එම මැදිහත් වීම අලලා Latheef Farook (1) විසින් සහ Dharisha Bastian(2) විසින් ද ඔවුන් දෙදෙනාගේ ආන්තික කරුණු දැක්වීමට Dharshanie Ratnawalli(3) විසින් ලියන පිළිතුරු ලිපිය හරහාද උත්සහ කර ඇත්තේ ඒ ඒ එක් ඓතිහාසික අනන්‍යතාවන් සතු අයිතිය සහ ඒවා බාහිර සමාජයට කෙතරම් සංවේදීද යන්න පැහැදිලි කිරීමට මිස, කූරගල සතු බහුසංස්කෘතික අනන්‍යතාව පිළිගන්නා ආකාරයෙන් හෝ එකී අනන්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් අතර සංහිදියාවක් ඇතිවන ආකාරයෙන් නොවේ. ඇතැම් විට එය මාධ්‍යවේදියා තුළින් අපේක්ෂාකළ නොහැකි තත්ත්වයකි.

මේ සම්බන්ධයෙන් සෘජුව කටයුතු කළ යුතු උරුම කළමනාකරුවන්ද නිද්‍රෝපගතය. එමෙන්ම ‘බබ්රි මස්ජීද්' උදාහරණයම ගතහොත් ඒ සම්බන්ධ නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තම අවසන් විනිශ්චය සදහා පුරාවිද්‍යඥයින් විසින් ලබා දුන් වාර්තාව සැලකිල්ලට ගත් බව ද අමතක කළ නොහැක. ඒ අනුව බලන විට, මෙරට කූරගල තත්වය සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයින්ටද ඉතිහාසඥයින්ටද මගනොහැර යා හැකි විශාල වගකීමක් ඇත. විශේෂයෙන්ම ස්ථානීය පුරාවිද්‍යාව හා අනන්‍යතාව පුරාවිද්‍යාව තුළ මේ සම්බන්ධයෙන් කතා බහට ලක් විය යුතු ය. කීර්තිධර ඇමරිකානු පුරාවිද්‍යාඥ ලුවිස් ආර් බින්ෆර්ඩ් විසින් විස්තර කරන ලද්දේ පුරාවිද්‍යාව අවබෝධ කරගැනීම සදහා අප විසින් ස්ථාන අවබෝධකරගත යුතු බවයි. එනම් Archaeology of Place හෙවත් ස්ථානීය පුරාවිද්‍යාව හරහා යම් ස්ථානයක් සතු ඓතිහාසික සංස්කෘතික අනන්‍යතාව අවබෝධ කරගැනීමට උත්සහ කිරීමයි. මෙහිදී ඔහු විසින් ප්‍රධාන වශයෙන් අදහස් කළේ යම් ස්ථානයකින් මානව චර්යාව මත වෙනස් කරණ ලද මානව කෘති හෝ භූමිදර්ශනය ගැන වැඩි අවධාරණයයක් සිදු කරණු ලැබුවද යම් සුවිශේෂිත්වයක් සහිත පිහිටීම් 'සුවිශේෂී ස්ථාන' වශයෙන් හදුනාගැනීම තුළින් ම එම ස්ථාන හා මානවයා අතර පැවති සබදතාව පිළිබද අදහසක් ද නිතැතින් මතුවීම නොවැලැක්විය හැකි බව යි. මානව ජීවිතය අවකාශයන් හා බැදී පවතින අතරම ඔවුන්ගේ මතකයන්ද ඒ හා ස්ථානගත වේ.

ගැස්ටන් බාර්ක්ලාඩ් ( Gaston Bachelard) නම් ප්‍රංශ දාර්ශනිකයා පෙන්වා දෙන ආකාරයට යම් අතීත සිදුවීමක් හෝ ක්‍රියාවලියක සිදුවීම කෙතරම් කාලයක් තිස්සේ පැවතියේද යන්න පිළිබද මතකයක් නොතිබුනද අපට එය සිදුවූයේ කොහේද යන්න පිළිබදව සාමාන්‍යයෙන් අනුමාන කළ හැකිය. මතක‍යට ඇති කාර්යභාරයන්ගෙන් එකක් වන්නේ පුද්ගල අනන්‍යතාව ඛණ්ඩනය වීමට වැලැක්වීම නම්, මෙය ළගාකරගත හැකි ප්‍රධානම ආකාරයක් වන්නේ යම් වාස්‍ය ස්ථානයක් විනිශ්චය කරගැනීමෙනි. මේ ආකාරයෙන් විවිධ ජීවන මාර්ගයන් ඇති මිනිසුන් මෙන්ම යම් අවකාශයක් තුළ සැරිසැරීම නිසාම පුද්ගල අනන්‍යතාවට සහ එකී ස්ථානයට හිමිවන වටිනාකම මගහැර යා නොහැක්කේය. තවද යම් කණ්ඩායමක අනන්‍යතාව බිහිවන්නේ යම් ස්ථානයක් තුළ සිදුවන ඔවුන්ගේ ‍පොදු හැසීරීම මත වන අතරම මෙම වාසය කිරීම නිසා ඇතිවන සබදතාව ස්ථානීය අනන්‍යතාව වර්ධනය වීම සදහා දායක වේ. එමෙන්ම යම් ස්ථානයක් සතු 'ද්‍රව්‍යමය යථාර්තයන්' අවබෝධකොටගත යුත්තේ ද ඒවායේ ජනනය හෝ පැවැත්ම පිළිබද සියුම් විශ්ලේෂණයන් තුළිනි.

යථාර්ථය තුළදී ස්ථානයන් සෑම ලෙසකින්ම අර්ථපූර්ණය. මන්ද අප විසින් අර්ථයන් රහිත ස්ථානයන්ට අර්ථයන් එකතු කරන්නේ නැති බැවිනි. එහෙයින් වර්ගීකරණමය වශයෙන් වෙනස දැක්වීම සදහා ස්ථාන, පුද්ගලයන්, භෞතික ශරීර හෝ සමාජීය දේහයන් වශයෙන් ‍ ‍වෙන්කොට දැක්විය නොහැක. මක්නිසාද යත් පුද්ගලයන්ගේ කායික අභිමුඛ වීම් සහ සමාජ සම්බන්ධතා අර්ථවත් සමාජ සම්බන්ධතා තුළ එකට අන්තර්ගත වන බැවිනි. දීර්ඝ කාලයක් තිස්සේ අවකාශය තුළ සිදුවන සිදුවීම් හරහා අනන්‍යතාවන් සැක‍සෙන අතර ම සමාජ සම්බන්ධතා පුනර්ජනනය වීමද සිදුවේ. ( Gregory 1989 , 354).

මේ ආකාරයෙන් බාක්ලාර්ඩ් විසින් හදුන්වන ලබන අනන්‍යතාවේ විසරණය සහ ඛණ්ඩනය සත්‍යවශයෙන්ම අවකාශය සහ කාලය හරහා සිදුවන විසරණයකි. මානවයා, අවකාශය සහ කාලය අතර සිදුවන සබඳතා ගොන්නනකට මැදිවී දිවිගෙවයි. ( Thrift 1991,458) . එමෙන්ම යම් ස්ථානයන් අතර පවතින අත්දැකීම් අන්වගත කිරීම සදහා කිසියම් ආඛ්‍යානමය ව්‍යුහහයක් ඇති අතර ‍මෙය පුද්ගල අනන්‍යතාව පිළිබද ආඛ්‍යානයට සමාන්තරය.

පුද්ගල කතාන්දර අවකාශීය කතාන්දර වල ට සමවාය වන අතර එමගින් ස්ථාන අන්වගත කරණු ලබන අතර (De Certeau 1984) එකී ස්ථාන සෘජුවම ස්වාත්මගත හැගිමකට අන්තර්ග්‍රහණය වේ. මේ ආකාරයෙන් පුද්ගල හෝ කණ්ඩායම් අනන්‍යතාවන් සමග සම්මිශ්‍රණය වෙමින් සහ ඒවායේම චිරන්තන විපර්යයන්ට හසුවෙමින් ස්ථාන යම් කාලික ගතිලක්ෂණ අත්පත් කරගනී.

මේ අනුව අපගේ පෞද්ගලික හා පොදු අතීතය තුළ පවතින ස්ථාන නිරන්තරයෙන් භෞතික වෙනස්වීම් වලට සහ විනාශ වීම් වලට ලක්වන අතර එම ස්ථාන භාවිතයට ගනු ලබන්නන් විසින් නිරන්තරයෙන් ප්‍රති- ඇගයීමට සහ ප්‍රති- අර්ථනිරූපනයට ලක්කරයි. ස්ථාන සම්බන්ධයෙන් මානවයින්ගේ හැසිරීම කාලයෙන් කාලයට වෙනස් විය හැකි අතර එම සබදතා කිසිසේත් ම සදාකාලික හෝ ස්ථාවර නොවේ. අප අවට තිබෙන සියල්ලක්ම වෙනස් වීමට ලක්වන අතර මානව පැවැත්මේ රිද්මයන් වඩා පුළුල් පරාසයක විහිදී ඇත. (Ingold 1993,164) මෙකී පරාස එකිනෙකට වෙන් කර භූගෝලීයව, සංස්කෘතිකව හා මානව අතීතය විවිධ ස්ථරායන්ට සාපේක්ෂව වර්ගකර දැක්වීමට කිරීමට යම් යම් පුද්ගල කණ්ඩායම් කැමැත්තක් දැක්වුව ද භූමිදර්ශනයක කාලික (temporality) භාවය සැලකිල්ලට ගැනීමේ දී මෙය වැරදි ක්‍රියාමාර්ගයකි.

එහෙයින් කූරගල පිළිබද යම් ශාස්ත්‍රාලීය මැදිහත් වීමක් සිදුකළ යුත්තේ ද, සංහිඳියාවක් යෝජනා කළ හැක්කේ ද, මෙකී න්‍යායාත්මක පසුබිම පිළිබද අවධානයෙන් යුතුව මිස, මතුපිටින් පමණක් බලා නොවේ.

පෙර සඳහන් කළ ලිපි සදහා අන්තර්ජාල සබඳතා :
(1) On BBS Claim: Get Ready To Celebrate Vesak At Kuragala
(2) KURAGALA MOSQUE CONTROVERSY- WHAT HAPPENED
(3) Kuragala Lessons: Fighting With Honour For A Stake In A Layered Heritage

දිනේෂ් ඩී. දේවගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails