Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


ඉකුත් දා අප අතරින් සමුගත් නාට්‍යවේදනිය සෝමලතා සුබසිංහ පිළිබඳ ප්‍රසන්නජිත් අබේසූරිය සැකසූ ලිපියකි. 2015.06.07 දින රාවය පුවත්පතෙහි මෙම ලිපියේ සංක්ෂිප්තයක් පළ විය.

ප‍්‍රතිභාන්විත රංගන ශිල්පිනියක, නාට්‍ය රචිකාවියක, නාට්‍ය අධ්‍යක්‍ෂවරියක, රංගකලා ආචාර්යවරියක, රංගායතන අධ්‍යක්‍ෂිකාවක, නාට්‍ය හා රංගකලා අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයෙ හි උපදේශිකාවක වශයෙන් හා විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරියක වැනි නන් වැදෑරුම් අංශයන්ගෙන් දෙස් විදෙස් හි ඉටු කලා වූ සුවිශේෂී මෙහෙවර හේතුවෙන් සිංහල නාට්‍ය කලාවෙහි කාන්තා නියෝජනය තුළ අද්විතීය නාමයක් සෝමලතා සුබසිංහ නාට්‍යවේදනියට හිමිවන්නේ ය.

සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත නාට්‍යයන් හි නාට්‍යධර්මී ශෛලියෙන් රංගනය ආරම්භ කළ ඇය, ස්වභාවිකත්වයට ලංවූ යථාර්ථවාදී ශෛලියෙන් නිර්මිත නාට්‍යවල ලෝකධර්මී ශෛලියෙන් ද එක සේ සාර්ථකව රංගනයේ යෙදුණේ සිංහල නාට්‍ය කලාවට අමරණීය චරිත රැසක් එක් කරමිනි.

එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යයේ කලූහාමි, මූදු පුත්තු නාට්‍යයේ සරා, දිරිය මව නාට්‍යයේ දිරිය මව, චෙරි උයන නාට්‍යයේ රැනවෙස්කයා ආර්යාව, බර්නාඩාගේ සිපිරිගෙය නාට්‍යයේ බර්නාඩා වැනි සංස්කෘතික, භූගෝලීය හා යුගයයන් වශයෙන් හා රංග ශෛලියෙන් එකිනෙකට පරස්පර වූ චරිත රැසක් ඇය වේදිකාව මත ප‍්‍රතිනිර්මාණය කළේ ඇයටම සුවිශේෂ වූ රංග මාධුර්යයක් හා රංග පෞරුෂයක් ද එක් කරමිනි.



ශී‍්‍ර ලංකාව තුළ සැබෑ ළමා නාට්‍ය කලාවක් ස්ථාපිත කිරීමට ඇය තම පෞද්ගලික ධනය, ශ‍්‍රමය හා කාලය කැපකොට ළමා හා යොවුන් නාට්‍ය ආයතනය ආරම්භකර විශිෂ්ට ගණයේ ළමා නාට්‍ය රැසක් නිර්මාණය කිරීමෙන් ද, අනාගතයේ ශ‍්‍රී ලාංකේය නාට්‍ය කෙත අස්වැද්දීමට දැනුමින් හා දක්‍ෂතාවයෙන් සන්නද්ධ ශිල්පීන් රැසක් බිහි කිරීමෙන් ද ඇය සිංහල නාට්‍ය කලාවට සිදු කළ මෙහෙවර අපිරිමිත ය. වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන ත‍්‍රිවිධ මාධ්‍යයන්හි නිර්මාණ දායකත්වය සඳහාත්, අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ හා සාමාජයීය කාර්යයන්හි ද සිදු කළ මෙහෙවර වෙනුවෙන් ඇය දෙස් විදෙස් හි ගෞරව සම්මානයට හා උපහාරයට ලක් වූ අවස්ථා ගණනාවකි.

1936 වසරේ ජූලි මස 02 වැනි දින ගම්පහ දිස්ත‍්‍රික්කයේ විගොඩ ග‍්‍රාමයෙහි ජන්මය ලත් සෝමලතා සුබසිංහ එකල එම පළාතේ මහත් ගෞරවාදරය දිනා සිටි දිවුලපිටිය පිරිමි පාසලේ මුල්ගුරුවරයා වූ දොන් ජගිලිස් සුබසිංහ මහතාට හා දංකොටුව යෝගියානෙහි විසූ පාසල් ගුරුවරියක වූ අගිදහාමි අමරසිංහ මහත්මියට දාව උපන් තිදරුවන් ගෙන් මද්දුමී වූවා ය. වැඩිමල් සොහොයුරෙකු සහ බාල සොහොයුරියක සමඟ ගැමි පරිසරයක හැදී වැඞීම, සෝමලතා සුබසිංහගේ පසුකාලීන කලා දිවියේ පෝෂණයට මහත් පිටිවහලක් වී ඇත.

දිවුලපිටිය පාසලට ඇතුළත්ව අධ්‍යාපනයේ අත්පොත් තැබූ ඇය, තුන්වන පන්තියට සමත් වූ පසු එම පාසලේ අධ්‍යාපනය අතහැර දැමීමට සිදුවූයේ පියාට ලැබුණු ස්ථාන මාරුවක් හේතුවෙනි. අතිශය සුන්දර ගැමි පරිසරයක මවුපිය සොහොයුරු නෑදෑ සෙනෙහස හා සොබා සෞන්දර්යයේ මිහිර විඳිමින් ජීවත් වූ සෝමලතා දැරිය කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ නේවාසිකාගාර ශිෂ්‍යාවක ලෙස අධ්‍යාපනය ලැබීම ආරම්භ කරනුයේ ඉංගී‍්‍රසි අධ්‍යාපනය කෙරෙහි තම පියාට තිබූ දැඩි උනන්දුව නිසාම ය.

ගැමි පරිසරයේ දී කුඩාකල පටන් චිත‍්‍ර ඇඳීමෙන්, සුරංගනා කතා හා ජන කතා ඇසීමෙන් සෞන්දර්යාත්මක හා නිර්මාණාත්මක චින්තනය අවදිවෙමින් වැඩුණු සෝමලතා ශිෂ්‍යාවට ක්ලේරා මොට්වානි විදුහල්පතිනියගේ පාලනය යටතේ පැවති මියුසියස් විද්‍යාලයේ දී සම්භාව්‍ය විශ්ව සාහිත්‍ය පරිශීලනයට, රසවිඳීමට, මෙන්ම නර්තනය, සංගීතය වැනි විෂයයන් කෙරෙහි අවධානය යොමු කිරීමටත් අවස්ථාව ලැබිණි.



විශිෂ්ට සාමාර්ථ සහිතව ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන සහතික පත‍්‍ර විභාගයෙන් සමත් වූ ඇය කොළඹ බෞද්ධ බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා සමත්ව 1958 වසරේ දී පේරාදෙණිය සරසවියට ඇතුළත් වූවා ය. 1956 සිදු වූ දේශපාලන පෙරළිය හේතුවෙන් මෙරට ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා අධ්‍යාපනික වැනි සෑම ක්‍ෂේත‍්‍රයකම ප‍්‍රබල ප‍්‍රබෝධාත්මක පරිවර්තනයක් සිදුවෙමින් පැවති මෙම යුගයේ පේරාදෙණිය සරසවියට ඇතුළත් වීම ඇයගේ ජීවන මගේ අනාගතය සකස් කිරීමක් විය. 1956 වසරේ මනමේ බිහිවීමත් සමඟ නාට්‍ය කලාවේ නූතන යුගය ඇරඹීමේ පුරෝගාමී මෙහෙවරට උරදුන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පර්යේෂණාත්මක නාට්‍ය නිර්මාණයන් වූ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍යයේ "කලූහාමි" ලෙසත් "රත්තරන්" නාට්‍යයේ "මැහැල්ල" ලෙසත් රංගනයට දායක වෙමින් ඇය ප‍්‍රසිද්ධ වේදිකා රංගනයට අවතීර්ණ වූවා ය. 1961 වසරේ දී සරසවි අධ්‍යාපනය නිමා කොට ශාස්ත‍්‍රවේ දී උපාධිධාරිනියක ලෙස ඉන් පිටවන්නේ සිංහල නාට්‍ය ක්‍ෂේත‍්‍රයට එක් වූ කුසලතා පූර්ණ රංගන ශිල්පිනියක ලෙසින් පේ‍්‍රක්‍ෂකයන්ගේ ආදරය දිනා ගනිමිනි. එම වසරේ සිට ගුරු වෘත්තියට එක් වූ ඇය තමා උගත් බෞද්ධ කාන්තා විද්‍යාලයේ ම සේවයට එක් වූවා ය.



විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලද වකවානුවේ සරසවියේ සිංහල නාට්‍ය සංගමයේ සභාපතීත්වය දැරූ එමෙන්ම මනමේ නාට්‍යයේ මුල් නිෂ්පාදනයේ වැදි දෙටුගේ චරිතය නිරුපණය කළ පසුකාලීනව ශ‍්‍රී ලංකාවේ පරිපාලන ක්ෂේත‍්‍රයේ විශිෂ්ටතම නිලධාරියකු වූ ලයනල් ප‍්‍රනාන්දු මහතා සමඟ ඇය 1962 වසරේදී යුග දිවියට එළඹියා ය. කෞශල්‍යා ප‍්‍රනාන්දු, ශ්‍යාමලිකා ප‍්‍රනාන්දු දියණියන් දෙදෙනාගේ මව වූ සෝමලතා සුබසිංහ තම දරුවන්ට පමණක් නොව පාසල් ගුරුවරියක ලෙසත් රංගකලා ආචාර්යවරියක ලෙසත් බොහෝ දරු දැරියන්ට මවක් වීමට සිය දිවියෙන් වැඩි කාලයක් කැප කළාය.

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලින් ආරම්භ කළ ඇයගේ රංගනයෙන් ඔපවත් වූ නාට්‍ය සියල්ලම සිංහල නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ කඩඉම් නාට්‍ය ලෙස ඉතිහාසගත වී ඇත. දයානන්ද ගුණවර්ධනගේ "නරිබෑනා", සිදත් ශ‍්‍රී නන්ද ලෝචනගේ "අත්තක මල් පරව ගියා", සරච්චන්ද්‍රයන්ගේ "පබාවතී" සහ "කදාවළලූ", ගුණසේන ගලප්පත්තිගේ "මූදු පුත්තු" සහ "ලියතඹරා", ධම්ම ජාගොඩගේ "වෙස්මුහුණු", හෙන්රි ජයසේනගේ "දිරිය මව", රංජිත් ධර්මකීර්තිගේ "හිරු නැති ලොව", "චෙරි උයන" සහ "අන්ගාරා ගඟ ගලා බසී", චූලා කාරියවසම්ගේ "සිරිත් විරිත්", රංජනි ඔබේසේකරගේ "බර්නාඩාගේ සිපිරි ගෙය", ෆ‍්‍රිට්ස් බෙනවිට්ස්ගේ "ආඬි රැලේ නාඩගම" ආදී නාට්‍ය අතුරින් මූදු පුත්තු නාට්‍යයේ සරාගේ භූමිකාව හා දිරිය මව නාට්‍යයේ දිරිය මවගේ භූමිකාව ඇයගේ වේදිකා නාට්‍ය රංගන ජීවිතයේ සදානුස්මරණීය සිහිවටනයන් වේ. එතෙක් සිංහල වේදිකාවේ දැක නොතිබූ අපූර්වතම චරිතයක් වූ සරාගේ චරිතය රඟමින්, එතෙක් ශෛලිගත නැතහොත් නාට්‍ය ධර්මී ශෛලියෙන් නිර්මාණය වූ නාට්‍යයන්හි නර්තනය හා ගායනය බහුලව භාවිත කරමින් රඟපෑමේ යෙදී සිටි සෝමලතා සුබසිංහ ලෝකධර්මී ශෛලියේ යථාර්ථවාදී රංගනයට ද එකසේ දක්‍ෂතාව දක්වන්නියක බව සනාථ කිරීමට සමත් වූවා ය.


දිරිය මව

වේදිකා නාට්‍යයේ රංගනයට පමණක් සීමා නොවූ ඇය, සරච්චන්ද්‍රයන්ගේ "මහාසාර", "කදාවළලූ","වෙස්සන්තර" වැනි නාට්‍යයන් හි රංග වින්‍යාස නිර්මාණකරණයට ද දායක විය. විවිධ නර්තන සම්ප‍්‍රදායයන් පිළිබඳ වසන්ත කුමාර, කේ. ඇස්. ප‍්‍රනාන්දු වැනි ගුරුවරුන් යටතේ නර්තනය හැදෑරීමෙන් හා ආනන්ද සමරකෝන්, ඩබ්.ඞී. අමරදේව, රොම්ලස් මාස්ටර් වැනි ගුරුවරුන්ගෙන් සංගීතය ඉගෙනීමෙන් ඇය සතු වූ ප‍්‍රායෝගික දැනුම ඵලදායී ලෙස ඒ සඳහා යොදා ගත හැකි විය.

සිංහල වේදිකා නාට්‍යයේ මහා යුග පුරුෂයා වූ සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයයෙන් වේදිකාවට ප‍්‍රවේශ වූවා සේම, සිංහල සිනමා රංගනයට සෝමලතා සුබසිංහ එක්වන්නේ සිංහල සිනමාවේ මහා යුග පුරුෂයා වූ ලෙස්ටර් ජේම්ස් පීරීස්ගේ "මඩොල් දූව" චිත‍්‍රපටයෙනි. එතැන් සිට සුනිල් ආරියරත්නගේ "සිරිබෝ අයියා", තිස්ස අබේසේකරගේ "මහගෙදර", "විරාගය", "ගුරුගෙදර", ටී. අර්ජුනගේ "වසන්තයේ දවසක්", අශෝක හඳගමගේ "මේ මගේ සඳයි" වැනි ඉතාමත් සීමිත වූ චිත‍්‍රපට ගණනක ඇය රඟපෑ චරිත සියල්ලම සදා මතකයේ රැදෙන පේ‍්‍රක්‍ෂක ප‍්‍රසාදය දිනාගත් රංගනයන් විය. හොඳම සහය නිළිය ලෙස වසන්තේ දවසක් චිත‍්‍රපටයේ, රංගනය සඳහා ජනාධිපති සම්මානයත්, විරාගය චිත‍්‍රපටයේ රංගනය සඳහා ස්වර්ණ සංඛ සම්මානයත් ඇය දිනාගත්තා ය.

සිංහල නාට්‍ය කලාවේ පුරෝගාමී නාට්‍යකරුවන්ගේ නිර්මාණවලට දායකත්වය ලබාදීමෙන් ද චෙකොස්ලෝවැකියාව, හංගේරියාව, බල්ගේරියාව, රුසියාව, නැගෙනහිර ජර්මනිය, එංගලන්තය වැනි ළමා නාට්‍යය කලාව ඉතා උසස් මට්ටමින් පවතින රටවලින් ලද දැනුම ද අත්දැකීම් ද ඇතිව 1980 වසරේදී "ළමා හා යොවුන් රංග පීඨය" ආරම්භ කළ සෝමලතා සුබසිංහ තමන් ලද දැනුම අනාගත පරපුරට දායාද කරනු වස් තම රංගපීඨය මඟින් නාට්‍ය වැඩමුළු පැවැත්වීමටත් එම ශීල්පීන්ගෙන් නාට්‍ය නිෂ්පාදනය කිරීමත් ආරම්භ කළාය. විශේෂයෙන්ම ළමා නාට්‍ය කලාව පිළිබඳ මෙරට කිසිවකුගේ අවධානය යොමු නොවූ කාලයක ළමා මනස වඩාත් හොඳින් අවබෝධ කොටගෙන ළමා මනෝ විද්‍යාවට අනුකූලව සැබෑ ළමා නාට්‍ය කලාවක් බිහිකිරීමට ඇය ඇයගේ රංගන ජීවීතයත්, පෞද්ගලික ජීවීතයේ බොහෝ දේත් කැප කළාය.

"පුංචි අපට දැන් තේරෙයි", "තොප්පි වෙළෙන්දා", "රත්මලී", "ගමරාළ දිව්‍ය ලෝකෙට", "හිමකුමරිය", "වළස් පවුල", "පාර හරහා" වැනි ළමා නාට්‍ය ගණනක් ඇය රචනා කොට නිෂ්පාදනය කළ අතර "කතන්දර දෙකක්" නමින් 1980 දශකයේ සිට අද දක්වා රඟදැක්වෙන "පුංචි අපට දැන් තේරෙයි" හා "තොප්පි වෙළෙන්දා" මෙරට ළමා නාට්‍ය කලාවේ පරමාදර්ශී නිර්මාණ ලෙස විචාරක හා පේ‍්‍රක්‍ෂක අවධානය දිනාගත් නාට්‍ය දෙකකි. "හිම කුමරිය" ඇයගේ ළමා නාට්‍ය නිෂ්පාදන අතර විශිෂ්ටතම නිර්මාණය වේ.



විකෘති

ඇයගේ නාට්‍ය නිර්මාණ අතර වඩාත් විචාරයට බඳුන් වූ හා ජනපි‍්‍රයත්වය දිනාගත් නාට්‍යය වූයේ "විකෘති" නාට්‍යයයි. 1982 වසරේදී නිර්මාණය වූ "විකෘති" මෙරට යොවුන් තේමාත්මක නාට්‍ය අතර විශිෂ්ටතම වූත් සර්වකාලීන වූත් නිර්මාණයක් ලෙස 1982 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව රඟදැක්වේ. මෙම නාට්‍ය සියල්ල ඉංගී‍්‍රසි බසින් ද මෙරට මෙන්ම විදේශ රටවල් ගණනාවක ද රඟ දැක්වීමට ද අවස්ථාවක් උදාවීමෙන් ඇය මෙරටට ඉමහත් කීර්තියක් අත්කර දුන්නා ය.

අතලොස්සක් වූ සිංහල නාට්‍ය අධ්‍යක්‍ෂවරියන් අතර ප‍්‍රමුඛයෙකු වූ සෝමලතා විදේශීය නාට්‍ය අනුවර්තන හා පරිවර්තන කෘතීන් ද නිෂ්පාදනය කරමින් සම්මානයට පාත‍්‍ර විය. ඒ අතර නුගුගිවා තියන්ගො (Ngũgĩ wa Thiong'o) ගේ The Trial of Dedan Kimathi නාට්‍යය ඉංගී‍්‍රසි භාෂාවෙන් හා එහි සිංහල පරිවර්තනය "යදම්" නමින් ද නිර්මාණය කළ අතර 1993 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ දී වසරේ හොඳම නාට්‍යය ඇතුලූ සම්මාන රැසක් එයට හිමිවිය. සොෆොක්ලීස්ගේ "ඇන්ටිගනී" නාට්‍යයේ සිංහල පරිවර්තනය නිෂ්පාදනය සඳහා 1994 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී හොඳම නාට්‍ය සඳහා නිර්දේශ වූ අතර සම්මාන කිහිපයක් ද හිමිවිය. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ "දිරිය මව" සිංහල පරිවර්තනය "මවකගේ සංග‍්‍රාමය" නමින් නිෂ්පාදනය කරමින් එහි මවගේ භූමිකාව රඟ දැක්වී ය.


දිරිය මව

කොළඹ විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංගකලාව පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලාව ද හැදැරූ ඇය ශී‍්‍ර ලාංකේය නාට්‍ය හා රංගකලාව විෂය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට විශාල මෙහෙවරක් කළා ය. ළමා හා යොවුන් රංග පීඨය ආරම්භ කොට එමගින් ශී‍්‍ර ලාංකේය නාට්‍ය කලාවේ අනාගතය පෝෂණය කිරීමට දැනුමින් හා දක්ෂතාවයෙන් පිරිපුන් ශිල්පීන් විශාල ප‍්‍රමාණයක් බිහි කරන්නට සිය ජීවිත කාලයම කැපකළ ඇය, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය රංගකලායතනය, ටවර්හෝල් රඟහල පදනම, ජාතික තරුණසේවා සභාව වැනි ආයතනයන්හි පැවැත්වෙන නාට්‍ය හා රංගකලා පාඨමාලාවන් හි ප‍්‍රධානතම උපදේශිකාවක් බවට පත් වූවා ය.

එමෙන් ම ශී‍්‍ර ලාංකේය පාසල් පද්ධතිය තුළ හා උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුළ නාට්‍ය හා රංග කලාව විෂය හඳුන්වා දීම හා ප‍්‍රවර්ධනය කිරීමේ කාර්යයේ දී විෂය මාලා සංවර්ධන කමිටු උපදේශකවරියක් ලෙස විශාල මෙහෙවරක් ඉටු කළා ය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන් ප‍්‍රමුඛ ශී‍්‍ර ලාංකේය ප‍්‍රශස්ත නිර්මාණකරුවන් හා එක්ව කටයුතු කිරීම, දෙස් විදෙස් නාට්‍ය පාඨමාලාවන් හැදැරීම, දෙස් විදෙස් සම්මන්ත‍්‍රණ සඳහා සහභාගී වී පර්යේෂණ පත‍්‍රිකා ඉදිරිපත් කිරීම, විදේශීය උසස් නාට්‍ය නිෂ්පාදන හා නාට්‍ය ආයතන නැරඹීම යන සියල්ලෙන් ඇය ලබාගත්තා වූ ප‍්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම මෙරට නාට්‍ය හා රංගකලා අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට විශාල ආලෝකයක් විය. රංගන ශිල්පිනියක, නාට්‍ය රචිකාවියක, අධ්‍යක්‍ෂවරියක, ගුරුවරියක, නාට්‍ය හා රංග කලා විෂයයේ උපදේශකවරියක, නාට්‍ය ආයතන අධ්‍යක්‍ෂවරියක, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරියක, විෂය මාලා සංවර්ධන කමිටු සම්පත් දායිකාවක ලෙස තම සාමාජීය වගකීම් නොපිරිහෙලා ඉටුකළ අතර ම කාර්යබහුල පරිපාලන නිලධාරියෙකු තම ස්වාමියා වූ බැවින් ආමාත්‍ය ලේකම් බිරිඳක්, ආණ්ඩුකාරවරයෙකුගේ බිරිඳක්, දිසාපතිවරයෙකූගේ බිරිඳක්, තානාපතිවරයෙකුගේ බිරිඳක් වැනි විවිධාකාර වූ සිය වගකීම් ඉටුකරමින් තම දරුවන්ගේ ආරක්‍ෂාව, අධ්‍යාපනය හා ඔවුන්ගේ අනාගතය යහපත් කරන්නට වෙහෙසෙන දයාබර මවක් ලෙස ද ඇය සිය ජීවිත කාලය තුළ, රංග භූමිය මත පමණක් නොව පෞද්ගලික ජීවීතයේ දී ද විවිධ වූ භූමිකාවන් රැසක සාර්ථකව ජීවත් වූවා ය. ඒ සඳහා ඇයට දෙස් විදෙස් ගෞරව උපහාර ඇගයීම් සම්මාන රැසක් හිමි වූ අතර මෙරට රසික ජනතාව ගේ නොමඳ ගෞරවාදරය හා භක්ති පූර්වක ප‍්‍රසාදය ඇයට හිමි වී ඇත.



සෝමලතා සුබසිංහගේ නිර්මාණ දායකත්වය හා අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ කාර්යභාරය-

සේවා පළපුරුද්ද-

1962-1975 උපාධිධාරී ගුරු- අධ්‍යාපන අමාත්‍යාංශය
1973-1975 ප‍්‍රාථමික සෞන්දර්ය අධ්‍යාපන විෂය මාලා කමිටු සභාපති
1973-1975 උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය මාලා කමිටු සාමාජික- විෂය මාලා සංවර්ධන මධ්‍යස්ථානය
1975-1980 සෞන්දර්ය අධ්‍යාපන ඒකකය අධ්‍යාපන දෙපාර්තමේන්තුව

ගූවන් විදුලි වැඩසටහන්-

1962-1980 කාන්තාවන් හා ළමයින් සඳහා ගූවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය
1975-1980 දරුවන් සඳහා ගුවන් විදුලි වැඩසටහන් රචනය හා නිෂ්පාදනය

නාට්‍ය ශිල්පිණියක ලෙස ලැබූ වෘත්තීයමය අත්දැකීම්-

1958 සිට වේදිකා නාට්‍යවල ප‍්‍රධාන භූමිකා රඟපෑම
1975 සිට සිනමා හා රූපවාහිනී නිළියක ලෙස කටයුතු කිරීම
1979 සිට නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය

දරන ලද තනතූරු-

1979 සිට ජාත්‍යන්තර ළමා හා යොවුන් නාට්‍ය ආයතනයේ සභාපති
1980 සිට ශී‍්‍ර ලංකා ළමා හා යොවුන් රංගායතනයේ ආරම්භක හා අධ්‍යක්ෂක
2005 සිට මොරටුව විශ්වවිද්‍යාලයේ පීඨ සාමාජික


ඇන්ටිගනී

ස්තන්ත‍්‍ර, පරිවර්තන හා අනුවර්තන රචනා ඇසුරින් අධ්‍යක්ෂණය කළ නාට්‍ය-

1982 විකෘති- ස්වතන්ත‍්‍ර නාට්‍යය
1985 පාර හරහා- ස්වතන්ත‍්‍ර නාට්‍යය
1986 සඳ කිඳුරු- ගුණසේන ගලප්පත්ති රචනය
1990 මූදු පුත්තු- ගාර්ෂියා ලෝකාගේ "යෙර්මා" ඇසුරින් ගුණසේන ගලප්පත්ති හා මහගම සේකර රචනය
1990 පවර නුවරක්- සිංහල සම්භාව්‍ය කාව්‍ය ආශ‍්‍රිත අනුවර්තනයකි
1991 ඔපෙරා වොන්යොසි- වොලී සොයින්කාගේ රචනය සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි ත්‍රෛයිභාෂික අනුවර්තනය- කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග‍්‍රීසි අධ්‍යයන අංශය
1992 ද ට‍්‍රයල් ඔෆ් ඩෙඩෑන් කිමති- නුගුගිවා තියොන්ගො හා මිකරෙ ගිතහෙ මුගො රචනය- කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග‍්‍රීසි අධ්‍යයන අංශය
1992 යදම්- නුගුගිවා තියොන්ගො "ද ට‍්‍රයල් ඔෆ් ඩෙඩෑන් කිමති" හි සිංහල පරිවර්තනය
1993 ඇන්ටිගනී- සොෆොක්ලීස් ගේ නාට්‍යයේ සිංහල පරිවර්තනය
1998 මවකගේ සංග‍්‍රාමය- බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් ගේ "මදර් කරේජ් ඇන්ඩ් හර් චිල්ඩ්රන්" සිංහල පරිවර්තනය


තොප්පි වෙළෙන්දා

ළමා නාට්‍ය-

1979 පුංචි අපට දැන් තේරෙයි
1979 තොප්පි වෙළෙන්දා
1981 ගමරාල දිව්‍ය ලෝකෙට
1981 රත්මලී
1988 ඔට්ටුයි
1995 හිම කුමරිය
2003 වලස් පවුල

නාට්‍ය අධ්‍යාපන අත්දැකීම්-

1980-2013 ළමා හා යොවුන් නාට්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ
1990-1995 නාට්‍ය හා රංගකලා පශ්චාද් උපාධි ඩිප්ලෝමාව අධ්‍යාපන පීඨය- කොළඹ විශ්වවිද්‍යාලය
1980-1990 ලන්ඩනයේ ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ විභාග පරීක්‍ෂක
1991 ඉන්දියාවේ නව දිල්ලි නගරයේ පැවැත් වූ "ආසියා රේන්බෝවීක්" වැඩසටහන සඳහා කණ්ඩායම් පුහුණු කිරීම, යොමු කිරීම සහ සහභාගීත්වය
1997 බංගලාදේශයේ, ඩකා නගරයේ පැවැත්වූ ළමා හා යොවුන් නාට්‍ය උළෙලට සහභාගී වීම "වී නෝ ඉට් හා හැට් සෙලර්" නාට්‍ය ශ‍්‍රී ලංකාව නියෝජනය
2001 ඉන්දියාවේ ත‍්‍රීවෙන්ඩ‍්‍රම්, චෙන්නායි හා නව දිල්ලි නගරවල "විකෘති" සහ "හැට් සෙලර්" නාට්‍ය ශ‍්‍රී ලංකා ඉන්දියා සංස්කෘතික සහයෝගීතාවයේ 50 වන වසර වෙනුවෙන් රංග ගත කිරීම
2001 "විකෘති" සහ "හැට් සෙලර්" නාට්‍ය ඉංග‍්‍රීසි නිෂ්පාදන ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න්, සිඞ්නි හා කැන්බරා නගරවල රංග ගත කිරීම
2002 ප‍්‍රංශයේ පැවැත්වූ ජාත්‍යන්තර ළමා නාට්‍ය සමුළුවට සහභාගීවීම සහ "හැට් සෙලර්" නාට්‍ය රඟ දැක්වීම
2002 දකුණු කොරියාවේ සෝල් නගරයේ පැවැත්වූ ප‍්‍රාසංගික කලා උළෙලට සහභාගී වීම හා "හැට් සෙලර්" නාට්‍ය රංග ගත කිරීම



මූදු පුත්තු

ප‍්‍රකාශන-

1985 විකෘති
2005 පුංචි අපට දැන් තේරෙයි හා තොප්පි වෙළෙන්දා
2005 රත්මලී, ගමරාළ දිව්‍ය ලෝකෙට, හිම කුමරිය
2008 වලස් පවුල



සම්මාන-

1980 හොඳම සහය නිළිය- ජනාධිපති සම්මාන උළෙල වසන්තයේ දවසක් චිත‍්‍රපටය සඳහා
1987 හොඳම සහය නිළිය- ස්වර්ණ සංඛ සම්මාන උළෙල විරාගය චිත‍්‍රපටය සඳහා
1988 කලාසූරී- ජනාධිපති සම්මානය
1993 රාජ්‍ය නාට්‍ය උළෙල "යදම්" නාට්‍යය සඳහා හොඳම පරිවර්තන නිෂ්පාදනය, හොඳම පරිවර්තන පෙල හා හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම සහාය නිළිය, හොඳම අංග රචනා
1993 රාජ්‍ය නාට්‍ය උළෙලේදී ශ‍්‍රී ලංකා නාට්‍ය කලාව උදෙසා කළ දායකත්වය වෙනුවෙන් එදිරිවීර සරච්චන්ද්‍ර සම්මානය
1994 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී "ඇන්ටිගනී" නාට්‍යය සඳහා හොඳම නිළිය, හොඳම සහාය නිළිය, සම්මාන ලැබීම හා හොඳම නාට්‍ය, හොඳම අධ්‍යක්‍ෂණය හා හොඳම පරිවර්තනය සඳහා නිර්දේශ වීම
1996 වේදිකාව, සිනමාව, රූපවාහිනිය වෙනුවෙන් කළ දායකත්වය සඳහා "රංග ශිරෝමනී" ජාතික සම්මානය
1997 ශ‍්‍රි ලංකා ළමා හා යොවුන් නාට්‍ය වෙනුවෙන් ජපන් තානාපති කාර්යාලයෙන් "බුන්කා" සම්මානය ලැබීම
1998 ජාත්‍යන්තර සිංහ සමාජයේ "සොන්ටා" සම්මානය
2000 ශ‍්‍රී ලාංකේය නාට්‍ය කලාව වෙනුවෙන් කළ මෙහෙවර සඳහා සහස‍්‍ර සම්මානය
2003 සංස්කෘතික අමාත්‍යාංශයේ ජාතික ළමා නාට්‍ය උළෙලේදී ජාතික ඇගයීම් සම්මානය
2004 සංස්කෘතික හා ජාතික උරුමය පිළිබඳ අමාත්‍යාංශයේ ශ‍්‍රී ලංකාවේ නාට්‍ය කලාව ප‍්‍රවර්ධනය හා සංරක්‍ෂණය වෙනුවෙන් ජාතික සම්මානය
2008 ජාතික ජනමාධ්‍ය සඳහා කළ සේවාව වෙනුවෙන් ගෞරව සම්මානය
2012 ගැමි දරුවෝ- පේරාදෙණි සරසවි මිතුරු සංසදයෙන් පිරිනමන ලද ගෞරව සම්මානය

ප‍්‍රසන්නජිත් අබේසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails