Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලංකේය ජාලගත අවකාශය තුළ "ගප්පියා" නොදන්නා කෙනෙකු නැති තරම්ය. ගප්පියා (තරිඳු විජේසේකර) සිය අදහස් පළ කිරීම සඳහා "අමුතු" වීඩියෝ නිර්මාණය කිරීමෙන් උපයා ගන්නා ලද කීර්තියක් ඇත්තෙකි. (බලන්න- ගප්පියා Youtube Channel)

සෙල්ලංකාර, විහිළුකාර ගප්පියා අද ආන්දෝලනාත්මක චරිතයක් වී ඇත. ඊට හේතුව ඔහු අන්තර්ජාලයෙහි පළකල චිත්‍රයකි. විශේෂත්වය නම්, ගප්පියාගේ මෙම චිත්‍රය සහ ඔහු විසින් මීටපෙර පළකර ඇති චිත්‍ර අතර විශාල පරස්පරයක් නොමැති වීමය. ඔහු තමන්ගේ හාස්‍ය ඉපැදවීමේ වීඩියෝ පට සහ චිත්‍ර, කාටූන් සදහා අවශ්‍ය ප්‍රස්තූතයන් සපයාගනුයේ එදිනෙදා ජීවිතයේ අත්දැකීම් තුළිනි. ඒ අතර අපගේ සංස්කෘතිය තුළ ඇති සමහරක් නිශේධනාත්මක කාරණාවන් ද හාස්‍යයට ලක් කෙරෙයි. සංක්‍රමණිකයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ ගතකරන ජීවිතය තුළින් ලද ලද සුවිශේෂී අත්දැකීම් ද ඒ අතර වෙයි.

ගප්පියා ගේ අළුත්ම චිත්‍රය පොසොන් පොහොය දිනය පාදක කොට ගෙන ඩිජිටල්කරණය වූ මනුෂ්‍ය ජීවිත පිළිබඳ අත්දැකීමක් උපහාසයට ලක්කිරීමකි. එහිදී ප්‍රශ්නකොට ඇත්තේ ඩිජිටල්ගත සමාජය මිසෙක බුදුදහම හෝ මිහිඳු හිමියන් නොවේ. මින් කියැවෙන උපහාසයට වඩා අද ඉස්මතුව පෙනෙන්නේ මෙම සිද්ධිය පාදක කොටගෙන ලියැවී අන්තර්ජාල සමාජ ජාල තුල පැතිර ගිය අපහාසජනක විහිළු තහළු හා සංවාද ය.

කෙසේ වුවත්, හුදු අපහාසාත්මක චෝදනා හැරුණු විට මෙම සිද්ධිය පාදක කොටගෙන ෆේස්බුක් ජාලය තුළ හටගත් සංවාදය (එය 'වර්චුවල් කලහකාරී' තත්ත්වයකි) එක්තරා ආකාරයකට රසවත් ද විය. මේ සටහන ලියැවෙන්නේ ගප්පියා පිටුවේ පළකර ඇති අදහස් පාදක කරගෙන සිදුකළ නිරීක්ෂණ කිහිපයක් සඳහන් කිරීම සදහාය.

මේ ලියන මොහොත වන විට ගප්පියාගේ චිත්‍රය පළ වී දින 2කට වඩා ගතවී ඇත. ඒ අතරතුර කාලය තුළ මෙම එම චිත්‍රය අැතුළත් සටහනට ප්‍රසාද ලකුණු (Likes) 2500කට අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර, අදහස් දැක්වීම් (Comments) 1400කට අධික ප්‍රමාණයක් ලියැවී තිබේ. මෙම සටහන විවිධ අයවළුන් විසින් 278 වතාවක් නැවත පළකර (Share කර) තිබේ. (සබැඳිය)

විරෝධය පළකර අදහස් දක්වා තිබූ පිරිස් සමාජජාල සංවාදයක මතු නොව සාමාන්‍ය සංවරශීලී කතාබහක තිබිය යුතු මූලික සදාචාර කොන්දේසි පවා කඩකරමින් සිය අදහස් දක්වා ඇති ආකාරය දක්නට ලැබුණි. (මෙය අන්තර්ජාලයේ අදහස් පළකරන ලාංකිකයන් අතර බොහෝවිට ඉස්මතුවන සුලබ තත්වයක් බවට පත්වී තිබේ.) සමහර විරෝධතාකරුවෝ ගප්පියාගේ චිත්‍රයට විරෝධය පෑමට ඔහුගේ ප්‍රධාන ෆේස්බුක් පිටුවට දමා අැති ලයික්ස්, අන්ලයික් කරන ලෙස ඔහුගේ රසිකයින්ගෙන් ඉල්ලා තිබුණි. අන්තර්ජාලය තුළ යූටියුබ් හා ෆේස්බුක් සමාජ ජාල ප්‍රධානකොට ගෙන සිය රසික පදනම ගොඩනගාගෙන ඇති ගප්පියාට විරෝධය පෑමට තිබූ හොඳම ආකාරය ද මෙයයි. මන්ද එමගින් ඔහු විසින් ගොඩනගාගත් ජනප්‍රියත්වයට දැවැන්ත ප්‍රහාරයක් එල්ලවන බැවිනි. නමුත් සිදුව තිබුණේ දින දෙකක් තුළ දී ඔහුගේ පිටුවට වැටුන ලයික්ස් ප්‍රමාණය සියයට හාරසීයකින් (400%) වැඩිවීමයි.

පළකරන ලද විරෝධාත්මක අදහස් බොහෝමයක ඇත්තේ වෛරය හා ක්‍රෝධය දැක්වෙන අදහස්ය. හුදෙක් අපහාසය හා පාගා දැමීමම නොව, ගප්පියාගේ ක්‍රියාව වැරදි බවත් එය නිවැරැදි කරවීමට අවශ්‍ය බවත් විශ්වාස කරන රසිකයින් පිරිසක් ද ඒ අතර සිටින බව පෙනෙයි. එසේ වුවත් බෞද්ධාගමට සංකේතාත්මක වැදගත්කමක් ඇති පොසොන් පොහොය දිනයේ වෛරයෙන් හා ක්‍රෝධයෙන් විරෝධය පළකිරීම නිවැරැදි නොවේ යයි කියැවෙන ශක්තිමත් අදහස් දැක්වීම ඒ අතරින් ඉස්මතු වී නොතිබුණි. අදහස් දැක්වීම් 1400කට වඩා තිබුණ ද විරෝධතා අදහස් දැක්වීමට දායක වූ පිරිස සංඛ්‍යාත්මකව එතරම් විශාල නොවේ. වෛරයෙන් ඇලලී ගොස් සිටි සමහර පුද්ගලයෝ දස වතාවකටත් වඩා පුන පුනා අදහස් පළකර තිබුණි. ඒ අනුව වැඩි ප්‍රමාණයක් වන විරෝධාත්මක අදහස් උත්පාදනය වී තිබුණේ සුළු පිරිසක් අතිනි.

සමාජ ජාලා වෙබ් අඩවි වල ප්‍රතිචාර (Comments) තුලින් අදහස් පළකරන පිරිස් ක්‍රියාකාරී හෝ වාචික (Vocal) පිරිස ලෙස හැඳින්විය හැකි අතර "Like" සහ "Share" කරන පිරිස් හුදු නිරීක්ෂකයින් හෝ නරඹන්නන් (Observers) ලෙස හැඳින්විය හැක. අදහස් පළකරන පිරිස දැනුවත්ව හෝ නොදැනුවත්ව නරඹන පිරිසගේ හැඟීම් වෙත බලපෑමක් සිදු කරති. Like කරන සහ Share කරන පිරිස් වෙතින් කෙරෙන්නේ අන් කිසිවකුගේ පණිවුඩයක් සන්නිවේදනය කිරීමට සහ ප්‍රචාරය කිරීමට දායක වීමයි. Dislike (අකමැත්ත) ප්‍රකාශ කිරීමට ලයික් කිරීම පමණටම ක්ෂණික ක්‍රමවේදයක් ෆේස්බුක් ජාලය තුල නොතිබීම මේ ක්‍රියාවේ දී යම් අාකාරයක සීමාවක් පනවයි.

ගප්පියාගේ සටහනට ලැබී ඇති ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමෙන් පෙනීයන තවත් කාරණයක් නම් ඔහුගේ රසිකයින් නොවුණු පිරිස් ද සිය අකමැත්ත ප්‍රකාශ කරමින් අදහස් ප්‍රකාශ කරනු දක්නට ලැබීමයි. මේ අනුව ඩිස්ලයික් කිරීමේ සෘජු ක්‍රමවේදයක් නොවුන ද, මෙම සටහන වෙනුවෙන් විරෝධය දක්වන බොහෝ පිරිස් තමන්ට හැකි මොනයම්ම හෝ ආකාරයකින් සිය විරෝධාකල්ප අදහස් පළකරනවා අැතැයි සිතන්නට පුළුවන.

ඉහත නිරීක්ෂණයන්ට අනුව එළැඹිය හැකි එක් නිගමනයක් නම් සැබැවින්ම මෙම චිත්‍රය අගයන පිරිස එය ගරහන පිරිසට වඩා සංඛ්‍යාත්මකව වැඩි බවයි. එහෙත් ගරහන්න්ගේ වෛරී හා අසභ්‍ය ප්‍රකාශයන් පිළිබඳ පිළිකුලෙන් බොහෝ පිරිස් අදහස් දැක්වීමෙන් වැලකුණු බව ද එ් බොහෝ දෙනෙක් තමන්ගේ අනුමැතිය ලයික් එකක් මගින් පමණක් ප්‍රකාශ කර අැති බවද පෙනේ.

කිසියම් මතයක් හෝ සිද්ධියක් අරඹයා තමන්ගේ මතවාදයට හෝ විශ්වාසයට අනුකූලව කැමැත්ත හෝ විරෝධය පළ කිරීමට ඇති ඉඩකඩ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයක් වන අතර, අදහස් දැක්වීමෙන් නොනැවතී ප්‍රචණ්ඩකාරී හා වෛරීසහගත ප්‍රකාශයන් සිදුකිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් ලෙස කිසි ලෙසකින්වත් පිළිගත නොහැකිය. වෛරීසහගත ප්‍රකාශ වලිනුත් එහා ගොස් පෞද්ගලික නින්දා, අපහාස සහ මරණ තර්ජන එල්ලකිරීම නම් සදාචාර විරෝධී පමණක් නොව නිතී විරෝධී ද ක්‍රියාවකි. ජාතිවාදී, වර්ගවාදී අදහස් මූලිකකොට ඇතිවූ තත්ත්වයන් වලදී ෆේස්බුක් සහ බ්ලොග් අඩවි වල මෙවැනි තත්ත්වයක් හට ගැනීම පසුගිය කාලය තුල දිගින් දිගටම දක්නට හැකිවිය.

එදිනෙදා සමාජය තුළ සිදුවන ක්‍රියකාරීත්වයක් හා සමපාත කොට මෙම සිදුවීම නිරීක්ෂණය කිරීමේදී ද, බහුතරයක් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින්, සදාචාර සීමාවන් බිදනොවැටෙන ලෙසින් ක්‍රියාකරන විටෙක, අධි ක්‍රියාත්මක සුළුතරයක් අනෙක් සියල්ලන්ගේ අයිතීන් ඉක්මවා යමින් හිංසාවාදී හා ප්‍රචණ්ඩකාරී වීමත් දක්නට හැකිවේ. ලාංකික ඉතිහාසයේ කළු අකුරින් සටහන්වූ 1983 කළු ජූලිය හෝ පසුගිය වසරේදී අලුත්ගම, ධර්ගා නගරය ආශ්‍රිතව ඇතිවූ මුස්ලිම් විරෝධී කලකෝලාහල වලදී ද සිදුවූ යේ ද ප්‍රජාතන්ත්‍ර විරෝධී සුළුතර පිරිසක් විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවල් මගින් නිශ්ශබ්ද සුළුතරයේ ප්‍රජාතාන්ත්‍රික ආස්ථානය බලහත්කාරයෙන් යටපත් කරනු ලැබීමයි.

සමාජයේ එදිනෙදා යහපැවැත්ම වෙනුවෙන් පොදුවේ පිළිගත් සදාචාර සීමාවන් පිළිනොගන්නා පිරිස් පාලනය කිරීමට නීති සම්පාදනය කිරීම අත්‍යවශ්‍යව ඇත. ගප්පියාගේ සටහනට එදිරිව අදහස් දැක්වූ පිරිස් මරණ තර්ජන, පුද්ගලික මඩ අපවාද වලට අමතරව, ඔහුට නැවතත් ලංකාවට නොපැමිණෙන ලෙසට ද තර්ජනය කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝමයක් ජනප්‍රිය ෆේස්බුක් පිටුවලින් ද ප්‍රතිචාර ලැබීම සුවිශේෂී කාරණයකි. මෙම පිටු ගප්පියා පිටුවටත් වඩා වැඩි රසිකයින් ප්‍රමාණයක් සිටි ඒවා වන අතර, එවැනි තත්වයක් යටතේ දී පවා සමහර ජනප්‍රිය සංස්කාරකවරුන් මූලික සදාචාර සීමාවන් ඉක්මවා කටයුතු කිරීම කණගාටුවට කරුණකි.

සමාජජාල වෙබ් අවඩියක් යනු වර්චුවල් සමාජයකි. සාමාන්‍ය සමාජයේ සිදුවන කටයුතුම වෙනත් යාන්ත්‍රණයකින් එහිදී ද සිදුවේ. අන්තර්ජාල සමාජජාලයන්ට අාවේණික වූ ද එහි පැවැත්මේ මූලික පදනම ද වූ ප්‍රජාතාන්ත්‍රීය බව සහ බාධාරහිත බව සාමාන්‍ය සමාජය තුල පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය තීව්‍ර කරවීමට අසාමාන්‍ය දායකත්වයක් ලබා දී තිබේ. ලාංකික බිමේ ප්‍රජාතන්ත්‍රවාදය මායිම් නොකරන තැන් එමට සේම සිංහල ෆෙස්බුක් සමාජය තුළද එවැනි දූපත් ඕනෑතරම් දක්නට ඇත. වඩා ශිෂ්ඨචාර සම්පන්න වන්නේ ප්‍රතිමතවාදීන් ප්‍රචණ්ඩත්වයෙන් පාගාදාමා විනාශ කිරීම නොව සමූහයක් ලෙස එක්වී වඩාත් සාධාරණ සහ නිදහස් සංකල්ප වෙනුවෙන් නැගී සිටීම බව මතක් කර දිය යුතු කාරණයක් නොවේ.

නැවතත් ගප්පියා වෙත පැමිණියහොත්, මෙම චිත්‍රය තරිඳු විජේසේකරගේ (ගප්පියාගේ) ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සළකුණු කරනු ඇත. ඔහු හුදු විහිළුකාරයෙකුට වඩා යමෙකි. සිය පටු අාකල්ප හා මතවාදයන් හා සමපාත වන තාක් කල් ගප්පියාගේ නිර්මාණ තුල හාස්‍යය පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය ද දුටු ලාංකික ෆේස්බුක් ප්‍රජාවේ සමහර ක්‍රියාකාරීන්ට සිය නිර්මාණ ලාබ සමාජ අාකර්ශණය අරභයා කෙරෙන හුදු ‘ජෝක්’ හෝ ‘ෆන්’ ගැනීම් පමණක්ම නොවන බව ඔහු පෙන්වා දී අැත.

අවසාන වශයෙන් කලහකාරී සුළුතරයකට ප්‍රජාතාන්ත්‍රික බහුතරය පාගා සිටීමට අප ඉඩදී අැත්තේ අැයි ද යන ප්‍රශ්නය නැවත සිතාබැලිය යුතුමය. නොඑසේ නම් වර්චුවල් සමාජය තුළ පමණක් නොව අප ජීවත් වන මහපොළොව මත ද ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපත්ති අගයන අප කිසිසේත්ම වගකිව නොයුතු කළු පැල්ලම් අපේ නමින් ලියැවීම නැවතිය නොහැකි වනු ඇත.

ගප්පියාගේ චිත්‍රය පිළිබඳව ලියවුණු බොහෝ වෛරී සටහන් තුලින් ඉදිරිපත්කර තිබූ සියළුම ද්වේෂසහගත ප්‍රශ්න වලට පිළිතුරු, ගප්පියාට පක්ෂව ලියවුණු පහත උපුටා දැක්වෙන සටහන්වල ගැබ්වූ අදහස් අතර කැටි වී තිබේ.

Waruna Sudantha Herath- ගප්පියාගේ ජෝක් එක නොතේරුනු තලේබාන් පන්නයේ ප්‍රතිචාරයන් කියවද්දි දැනුනේ දුකකට වඩා අනාගතය පිළිබඳව බියකි. අවම තරමෙන් ගප්පියා කියන්නේ මොකක්දැයි තේරුම් ගැනීමටවත් උත්සාහ නොකර ඌව කන්නට බුරාගෙන පනින බෞද්ධයින්ගෙ ඇසීමට ඇත්තේ එකම ප්‍රශ්නයකි. අද පොසොන් පෝය දිනයයි. ශ්‍රී ලාංකීක බෞද්ධයින්ට සුවිශේෂම දිනයයි. එදිනටවත් පන්සලකට ගොස් බණක් භාවනාවක් නොකර බුකියේ වයිරය වෑහෙන කමෙන්ට් වැක්කිරීමෙන් බලාපොරොත්තුවන අධ්‍යාත්මික සුවය කුමක්ද? (සිංහල බෞද්ධයින් යැයි කියාගන්නා උඹලා සහ අන්තවාදී මුසල්මානුවන් අතර මට නම් අබැටක තරමකවත් වෙනසක් කිව නොහැකිය.)

සුජීව කොකාවල- දැන් මේ පින්තුරේ කරන්නෙත් ගප්පියා කරන දේ මයි. මෙතැනදීත් වෙනත් සාමාජීය කාරනාවක් ගැන උපහාසයකට පොසොන් සංකේත යොදාගන්නවා. කිසිම ආගමික අපහාසයකින් තොරව. මේක ශෙයා කරනවා සිංහල බෞද්ධ කියන බොහෝ දෙනෙක්. ඒක කිසිම අවුලක් නැහැ කාටවත්

Bo Sedkid- මම උඹේ හැම post එකක්ම බලනවා. උඹ වගේ කොන්ඩේ පීරුව, රැවුල වැවුව . දැන් සුද්දියෙක් කොහොමහරි හොයාගන්න ඉන්නේ බඳින්න. මට gangsta රත්නේගේ raps කටපාඩම්. හැබැයි මේක.... මගේ හිත පෑරුවා ගප්පියා. උඹ තමා මේ කාලේ පහල වෙච්ච දේවදත්ත. මේක හින්ද බුදුදහම අදින් පස්සේ විනාස වේවි. මොකද අපේ රටේ එවුන් films බලල පොස්ට් කියවල නරක් වෙන්න තරම් බබ්බු.

Dishani Bandaranayake- ගප්පියාට බැණ මෙහි කමෙන්ට් දාන "බවුද්දයන්" ගෙන් තරම් මේ පෝස්ට් එකෙන් බුදු දහමට සිදු වන අපහාසයක් නැත!

Gayan JB- ගප්පියා කියන්න හැදුවේ අද හැමෝටම සෙල්ෆි මේනියාව තියනවා කියලා හරිම සරලව... ඒක දැකපු විදිහ වැරදි ඇති මිනිස්සු. ගප්පියෝ..... පන්සිල් පද පහ රකින්නේ නැති එවුන් අද බොරුවට කෑ ගහනව උන් රහත් වෙලා වගේ... උඹ තෝරාගත්තු මාතෘකාව වැරදි ඇති.. උඹ ඒකට නිහතමානීව සමාව ගත්තා... ඒත් උඹ දැන් එක දෙයක් මතක තියාගනින්.... මිනිස්සුන්ට හොඳ 1000ක් කරත් වැඩක් නැහැ, එක වැරැද්දක් දැක්කොත් ඒ මිනිස්සු අර හොඳ 1000ම අමතක කරලා එක වැරැද්ද පොලිෂ් කරන්න දන්නවා කියලා....
උඹට පුලුවන් ගප්පියා.... උඹ උඹේ ගමන පලයන්....

A- මචන් ගෙදර කව්රුත් පන්සල් ගිහින්, ගල් භාගයක් තියෙනවා ගහමුද?
B- පොඩ්ඩක් ඉඳපන්, මේ ගප්පියා පොසොන් එකට ෆොටෝ එකක් දාල, මුට කුණුහරුපෙන් දෙකක් කියල කමෙන්ට් එකක් දාල එන්නම්...


සංඛ කිරිඳිවැල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails