Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පැමිණ නැවතත් වසත් කල
නැගෙත් යලි අහසට සියොත් කැළ
නූස් තුරු දෙබලයක රැඳවුණ
හිස්ව අැත අාදර නවාතැන

දෙකඩකට කඩ වේද දියතල
ඉරක් ඇඳි විට පිරුණු බඳුනක
පොදක්වත් ඉතිරිව තියේවි ද
කැටක් වැද බඳ බිඳුණු දිනයක

පොතක පිටුවක විසිරි අකුරක
අතීතය ඇත සුවඳ සුව දෙන
මලානික හිත පුන්සඳක් ලඟ
අනන්තයටත් එහා තරුවක

හිඩැස් ඇත පැටවුන් නිදපු තැන
හඬක් නැති නැලවිලිය මිමිණෙන
මඟක් ලකුණක් නොමැති අහසක
කෙසේ පියඹා යාද කිරිලිය...!

රන්සිරිමල් ප්‍රනාන්දු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අකුණු අසිපත් පහර අභිමුව ගියෙන් සිය තුඟු හිස සිඳී
නෙරළු තුරු නටඹුන් කවන්ධය ධවල අහසට බැණ වදී
උරා බිව් මකරන්ද පිළිබඳ ශේෂ කොට සැමැරුම් පොදී
දිරන සමනල් කුණක ගන්ධය සමන් වැලකට හුරු මදී

ඔරුවකට මඟ කියාදෙන්නට චණ්ඩ රළ පෙළ හා ගැටී
හබල මෙතුවක් කරපු වීරිය - ඔව්!, අගය කෙරුමට වටී
රැළි තරංගය සමඟ පාවී - දුරක්, සිඹ සුදු පෙණ කැටී
විලෙක පතුලෙක ගිලී යන්නට කැමති ඔරු තවමත් සිටී

නිහැඬියාවක සුව විදින්නට වනයකට ඉඩකඩ නොදී
විටෙක චණ්ඩව, වරෙක මන්ද්‍රව හමන සුළඟක් ඇත බැඳී
ආනපානා සතිය පිළිබඳ කමටහන් සුළඟට නොදී
රුක්ඛමූලය අතැර වනයෙන් තවුස් තෙම නික්මෙන ලදී

තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වැඩිමහල් සොයුරියගේ සැමියා අතින් දූෂණයට ලක්‌ව ගැබිනියක වී සිටින නොවැඩුණු එකොලොස් වියැති දැරියගේ ගබ්සාවට අධිකරණ අවසර පතයි - පුවතක්

තරුත් නෙත් වසාගත් රාත්‍රිය ගඟක් විය
වලාකුළු මුවා වේ හඳත් ගිණි සිලක් විය
වසන් විය සුදත් ගුණ ඇවිලවින ගිණි මැලය
අඟක් විය පිරිමි ඇඟ සිදුරු වූ ඉස් මොළය

තුරක් නොවු ලපල්ලක තටු සිඳුණු මලක් විය
පිනිත් වැකි නමුත් පෙති හැලී බිම කඳුළු විය
අතක් නොවදින තැනක රොන් සුණුත් වසන් විය
දිනක් නැත රැයක් මිස පහන් තරුවත් නිදිය

අදක් නැති වසන්තය හෙටත් නොඑනා සැටිය
හිතක් නැති ගතක් විය දිය සිඳුණු සාගරය
පණත් ඇති පණත් නැති පලක් නැති කඳුලකිය
කුසක් නොවු කුසක් තුල විසක් විය ජීවිතය

ඇදක් නැති ඉරි අඳින වගක් නැති පිහිතලය
රතක් ඇති ලේ බිඳක රහක් සොයනා සැටිය
ඉඩක් නැත ඉඩක් තුළ හඬක් නැති සිදුරකිය
බිඳක් මුත් හඬක්මය හදක් හඬනා හඬය

රවිඳු වර්ණකුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



‘ආදරයට අවහිරවීය' යි ලාබාල පෙම් යුවළ දැදුරු ඔය ජලාශයට පැන ජීවිතය අහිමි කර ගනියි. - ප්‍රවෘත්තියක්

අපි හිතාගෙන උන්නේ
ආදරේ කියන්නේ
අපේ හදවත් පුංචි පොකුණේ
පිපීගෙන එන
පුංචිමල් ජාතියක් කියලනෙ
ඉඳිකටු මලක් තරමේ.
ඒ මල් වැලේ දිග
අපේ අත්වැල් වල දිග
තරම් වෙන්නැති කියලනෙ.

ඒත් බලන්නකෝ අර
ලොකු ලොකු මල් පිපෙන
දිගමල් වැලක් එය
වැව වටේටම විහිදෙන
වියෝගිනි මල් පිපී වැලපෙන.

අපි හිතාගෙන උන්නේ
ඒ මල් සුවඳ දන්නේ
අපිම විතරක් කියලනෙ!
ඒත් බලන්නකෝ අර
වියෝ මල් සුවඳට
වැව් කණ් ඩිය දිහාවට
එන හැටි සෙනඟ දුවගෙන

චන්ද්‍රසේන බදුගම​



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජින් පුසුඹ
තැවරුණ
හුස්ම වල
මට දැණුන
ආදරේ ඇබින්දක්…..
තිබුන් නෑ පුරුද්දක්
අල්ලන විදියෙවත්..

හිතුන් නෑ මටත්
පුරුදු විදියට
'වේසියෙක්' වගෙ ඉන්න
ඒකයි හිටියෙ
මොහොතක් වැළඳගෙන...

හීනියට වගේ
මගෙ හිතත් කියනව
ආයෙමත් එයි කියල
බෝ ගහ යටට
නිවාඩුවකට ගමට යන
දවසක…

ඉතින් ආවොත් ආයෙමත්
එදා රෑ වගෙම
එනවද අරම
පුරුදු නැති විදියටම ...?

[සිතුවම : Malcolm T. Liepke]

කෞශල්‍ය පතිරණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



-කතරගම දේවාලයට යන අතර මග හමුවූ මහළු මොණරෙකු පිල් කලඔ ගලවන්නට උදව් වෙන්නට යැයි කල ඉල්ලීමකි....!!

පහත්කර පිල් කළඔ
ඔබ මොබ යනෙන විට
පැටලුනු තැනක අකුලෙක
බැරිම තැන හම ඇදී ගැලවෙන
ඒ දෙන රිදුම කොතරම්ද?

උස්සා එතරම්ම බර පිල් කළඔ
මේ වැරහරලි දෙපා
එහෙ මෙහේ වැනෙද්දී
ආලිංගනයක් මැවෙනවාද
මහළු මයුරෙකුගේ හදවතක?

දෙතිස් වද වර්ණ ගන්වා
අමුනා ඇති සෙයකි බඳ වට
ගලවා ගනු පිණිස විඳි දුක
ආඩම්බර කමක් ලෙස පෙනුනාද
කැරකෙන විටෙක වන මැද?

මිතුර, දනිමී හොඳින් හිත
ලැජ්ජා බය එමට ඇත
උස්සා නටන විට පිල
නිරුවත දකී හැම නෙත...

සෙබඩ දැන් විරසකය
පෙර මෙන් ඇඟෑලුම් නැත
තැනින් තැන වැටුනු තටු අහුලා
ගේ සරසනවාම මිස
පෙර මෙන් පිරිමදින්නේ නැත
රිදෙන තැන් හදවත....

මේ පිල් කළඔ, එය මා ගැලවිය යුතුය
හෙට අරුනේම යලි පියාඹා යා යුතුය
මෙතෙක් පිල් කළඔකට වැසී තිබු දොරටු,
නැවත බිජුවකට ඇයට ඇරයුම් කල යුතුය..!

[සිතුවම :Margaret Gibbs]

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හිමිදිරිය වන විට
පතිත වන්නට නියමිත
පිනි කැට ඉතිරිව නොතිබුණු අහසකි.

දැන් ඉතින් එය
වැරහැල්ලක් ම බව කීමට
අලුත් රූපක මොකටද?

අන්ධකාරය හා
ආදරය අතර ඇති
අයථා සම්බන්දය
යථාව ම බව
මට මෙනෙහි වන විට
ඇසුණු ඒ බියකරු ශබ්දය
ස්වර්ගයෙන් වන්නට පිළිවන.

ඔබේ ඔය සර්වබලධාරී අත් දෙක
හුදෙකලාබව මැව්වෙ මොකටද?

අඳුරු බියසුළු අහසක
කඩමාලු වුණු මොහොතක
එකදු රැල්ලක් නඟන්නට
මුරණ්ඩුම හුළඟටත් බැරි හැටි.

අණ්ඩ දැමු අහසේ
මැහුම් ගිළිහුණු තැන් තැන් වලින්
කදෝකිමි අත්තටු හඬ
නින්නාද නැඟෙමින්
නික්ම එන්නට වූයෙන්
අන්ධකාරයේ ඇත්ත වර්ණය
අවාළු පැහැය බව
මට සෙමින් පසක් වන්නට විය.

ආඝාතයට හසුවුණු
දේවතා එළි ගණන් කළ
ඒ විප්‍රවාසී අවකාශයේ
රතු මුහුද දෙබෑ කළ හැකි
දඬු මුගුරක් අත වී නම්
මා තවමත් මුහුද මැද්දේ ය.

ඇය දෑතින්
අන්ධකාරය ගසා බසා දමා අවසන
දෑත දෙස බලද්දී
මම සන්තානයේ ධෛර්යය උපද්දා
ඒ දෑස දෙස බැලුවෙමි.

අවාළු පැහැය යනු
මූණක් නොමැති ශාන්තුවරයකු බව
ස්වර්ගීය හඬෙකින්
ඇය කීයේ එවිට ය.

සියලු ශාන්තුවරයන්
අහස් වැරහැල්ලේ එල්ලී
මා දෙස බලන්නට වූයෙන්
මහ පොළොව තෙමෙන තරමට
පිනි වැටෙන බව
මට දැනිණ.

ඉදින් මට අවාළු පැහැය ගැන
කිව හැකි අන් යමක් නැත්තේ ම ය.

‘‘පැහැ අන්ධතාව ඉඟි නළුවක්ද
දල්වනු නොහෙන පහන් සිළුවක්ද
පිය නඟනු බැරි ලවැලි මළුවක්ද
කඩමාලු වුණු සොඳුරු සළුවක්ද

මඳහසට සුද තියෙන උදෑසන
ඉර වුණත් බැහැ නොකිය හිනාවෙන
මුළු මහත් හදවත ම හොරාගෙන
කඳුළු බිඳු ඇදහැලෙයි බලාගෙන

පෙනෙන තරමටම නොපෙනෙන බැවිනි
ඇහි පිල්ලමට සොඳුරු තටු මැවිනි
ඇස අසල අතැර ගිය සළරුවිනි
කුදු මහත් අතීතෙට පන පෙවිනි"

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මෙය තුවක්කුවක් නොවේ යනු මෑතකදී මා දුටු සිංහල නාට්‍ය අතරින් මා සිත වඩාත් ඇදගත් නාට්‍යයකි. ඉතා දක්ෂ, බුද්ධිමත් නාට්‍ය රචකයෙකු සිංහල නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණ සිටින බව ඉන් පෙනිණ. එය කොතරම් ආකර්ෂණීයද යත් එය දෙතුන් වරක් නරඹා යමක් ලියන්නට මට ආසා ඇති විය. එහෙත් කොළඹින් බැහැර වසන අපට එක නාට්‍ය දෙතුන් වර නැරඹීමට තබා අලුතෙන් එන නාට්‍යයක්වත් එකවරක් බලාගැනීමත් අමාරු වැඩකි. ලංකාවේ බිහිවන යම් තරමක විශිෂ්ටතාවක් හෝ ඇති නාට්‍ය දිවයිනේ ප්‍රධාන නගරවලවත් පෙන්වීමට සංස්කෘතික අමාත්‍යංශයට දායක විය නොහැකි ඇයි? අඩුතරමින් එය තෝරාගැනීමේ පදනමකින්වත් කළ හැකිය. මේවා නාට්‍ය අණුමණ්ඩලයට අවශ්‍ය නම් කළ හැකි වැඩය. ලාබෙකුත් ලැබෙන සේ කරන්නට බැරි නැත.

මෙය තුවක්කුවක් නොවේ යනු ව්‍යූහාත්මක වශයෙන් ඉතා සරල නාට්‍යයකි. එහෙත් එහි එන තේමාත්මක ගැඹුරත් අපේ අද දවසේ චින්තනයේ විවිධ ස්ථානවල ඇති උත්ප්‍රාහය ක්ෂණිකව හසු කරගන්නා දෙබසින් යුතු වීමත් නිසා මේ නාට්‍ය අතිශය රසවත්ය. මානසික රෝහලකින් ප්‍රතිකාර ගෙන බාහිර සමාජයට එක් වී සිටින බව පෙනෙන තරුණයෙකුත් සිවුරු හැර වෙන රටකට යාමට සැලසුම් කරන තරුණ භික්ෂුවකුත් නගරයකදී අහම්බෙන් මුණ ගැසීමෙන් නාට්‍යයේ ක්‍රියාදාමය ඇරඹේ. මේ දෙදෙනා අතර සිදුවන සංවාද ලියැවී ඇත්තේ ඉතා බුද්ධිමත් හාස්‍යයක් ඇති වන ලෙසය. තමන්ගේ කාලය පිළිබඳ නිර්දය වූද දුරස්ථ වූද දෘෂ්ටිය නිසා විනිවිද යන හාස්‍යයෙන් යුක්තව භාෂාව හසුරුවන්නට මේ තරුණ රචකයාට පුළුවන.

මේ නාට්‍යයෙහි එන තරුණයා මානසික වශයෙන් අසමබර නිසා ඔහුගේ දෘෂ්ටියෙන් ලංකාව පෙනෙන්නේ හොඳ සිහිය ඇති අයට එය පෙනෙන විදියට නොවේ. මානසිකව නිරෝගී සහ හොඳ තත්වයෙන් වාසය කිරීම යනු පවතින සමාජ-සංස්කෘතික කොන්දේසිවලට කීකරුව සහ අනුගතව ජීවත් වීමයි. යථාර්ථවාදීව ලෝකය වටහා ගැනීම යනු බොහෝ විට එයයි. ලෝකයේ තතු නියමාකාරයෙන් දැකීමට නම් එය පිස්සෙකුගේ ඇසින් දැකිය යුතුය. අප ස්වභාවික යැයි ගන්නා බොහෝ ව්‍යූහ සංස්කෘතික ව්‍යූහ හෙවත් අපට ගොඩ නගන ලද ව්‍යූහ බව අපට පෙනෙන්නේ එවිටය. ලෝකයේ විශිෂ්ට සාහිත්‍ය කෘති ගණනාවක් උමතු වූවන් යැයි ගැනෙන අයගේ දෘෂ්ටිකොණයෙන් ලියැවී ඇත්තේ ඒ නිසාය. නූගතුන් හා දරුවන්ගේ ඇසින් ලෝකය විස්තර කිරීමද එහිලා ගත හැකි ක්‍රියාමාර්ගයකි. ඔවුන්ට ලෝකය පෙනෙන ළාමක විලාසය තුළ ඉතා බුද්ධිමත් අන්තර්දෘෂ්ටීන් තිබිය හැකිය. මේ නාට්‍යයේ එක් ප්‍රධාන චරිතයක් වන මේ මන්දමානසික තරුණයා ලෝකය දකින ආකාරය තුළ අමුතු උත්ප්‍රාසයක් ඇත්තේ ඒ නිසාය. ඔහුගේ අතාර්කික උමතු දෘෂ්ටියෙන් විස්තර වන ඇතැම් දේ අප රට උමතු නැතැයි කියන මනුෂ්‍යයා දේවභාෂිත සේ විශ්වාස කරන අදහස්ය. ඒ නිසා නියම උමතුව ඇත්තේ කාටද යන ප්‍රශ්නය අපට ඇති වේ.

තරුණ භික්ෂූන් වහන්සේ උපැවිදිවීමට එන්නේ පන්සලේ තිබූ ස්කූටරයක් ද තල්ලු කරගෙනය. ඒ එය පදින්නට උන්වහන්සේ නොදන්නා බැවිනි. ඒ නිසා උන්වහන්සේගේ සාමාන්‍යය ගිහිලෝකයේ නීතිරීති සහ "යථාර්ථය" හරියටම නොදන්නා බව අපට පෙනේ. ස්කූටරය සහ එය පදින්නට නොදන්නා භික්ෂුව උත්ප්‍රාසවත් යුගළකරණයකි. මේ දෙදෙනාම සාමාන්‍ය ජීවිතය සහ සාමාන්‍ය දැනීම වෙතින් පියවරක් හෝ දෙකක් දුරස්ථය. ඒ නිසා ඔවුන්ට බොහෝ දේ වරදියි. එසේ වරදින්නේ ඒ දේවල් නිවැරදි නිසාම නොව ඒවා ගැන නීතිරීති ඒ දෙදෙනා හරියට නොදන්නා නිසාය. ඒ නිසා අපට යමක් හරි යයි පෙනෙන්නේ ඒවා නෛසර්ගිකව හරි නිසා නොව ඒ හරි දේවල් සම්බන්ධ නීතිරීති අප හරියට දන්නා නිසාය යන කාරණය අපට පසක් වේ.

මේ මානසිකව අසමබර තරුණයා භාෂාව වටහාගන්නේ අපට වටහා ගන්නා ආකාරයෙන් නොවේ. ඔහු භාෂාව සංකේතීය ලෝකයක් සේ නොගෙන වාචාර්ථයෙන් ගනියි. ඒ නිසා ඔහු රස්සාවක් හොයන්නේ කහල ගොඩකය. සිංහලෙන් රස්සාවක් හෙවීමටත් නැති වූ දෙයක් හෙවීමටත් භාවිත කරන්නේ එක ක්‍රියාපදයයි. ඒ නිසා ඔහු නැති වූ ඉඳිකට්ටක් වැනි දෙයක් සොයන්නාක් සේ රස්සාවක් හොයයි. ඒ වගේම අප සමාජයේ සාමාන්‍ය මිනිසා වෙත ස්වභාවිකරණය වූ හෙවත් මිනිසා සාමාන්‍ය දැනීම සේ අන්තරීකරණය කරගත් අදහස් අපටද දැකගත හැකි දේවල් බවට පත් කරයි.

නිදර්ශනයක් මෙසේය. "විභාග පාස් උනාම රස්සා තියෙනවා" යන්න අප විසින් අන්තරීකරණය කරගන්නා ලද අදහසකි. මේ අදහස මහ මුහුද තරම් ස්වභාවික දෙයක් සේ අපි අදහමු. අපි එය ප්‍රශ්න නොකර විශ්වාස කරමු. මේ උමතු තරුණායා භික්ෂූන් වහන්සේ අමතා කියන්නේ විභාග පාස් උනාම රස්සා තියෙනවා යන්න විශ්වාස නොකළේ නම් "උන්" තමාට කරන්ට් අල්ලන බවය. මෙය අපූරු කියමනකි. මෙවැනි අදහස් අපේ විඥානය තුළට ස්වභාවිකකරණය වෙන්නේ එනම් අප නැවත සිතා නොබලන සත්‍යයන් බවට ගල් ගැසෙන්නේ නිකම් නොවේ. "උන් කරන්ට් අල්ලන" නිසාය. කරන්ට් ඇල්ලීම යනු හුදෙක් කරන්ට් ඇල්ලීම නොවේ. සමාජයක අධිපති දෘෂ්ටිවාද මිනිස් විඥානය වෙත කිඳා බැස්සවීමේ හෙවත් ස්වභාවිකකරණය කිරීමේ යාන්ත්‍රණ බොහෝ ඇත. විදුලි කරන්ට්ම නොඇල්ලුවත් වෙනත් කරන්ට් අල්ලන ක්‍රම ඇත. විභාග පාස් උනාම රස්සා ඇත; ඒ නිසා විභාග පාස්වීම නිවැරදිය යන අදහස නිසා අපි බොහෝ දෙනෙකු මේ සමාජ ක්‍රමය පවත්වාගෙන යාමට දායක වෙමු. කරන්ට් ඇල්ලීමට බියෙන් කසලගොඩින් රස්සා සෙවීම ගැන භික්ෂූන් වහන්සේ විරුද්ධ වන විට තරුණයාට තරහා යයි. අප මත සමාජය විසින් පටවන ලද මිත්‍යාවන් විශ්වාස නොකරන්නැයි අපට කවුරුන් හෝ කියන විට තරහා යන්නාක් මෙනි.

එහෙත් සාමාන්‍ය අපට විකාරයක් සේ පෙනෙන මේ තරුණයා තුළ භික්ෂුව තුළ වත් නැති ආචාරධාර්මික තර්කනයක් ඇත. ඔවුන් දෙදෙනාට මරා දමන ලද මිනිසෙකුගේ මළකඳ හමු වූ විට එය වළලා දැමීමේ ආචාර්ධාර්මික අවශ්‍යතාව පහළ වන්නේ පිස්සු තරුණයාටය. භික්ෂුවට නොවේ.

උමතු තරුණයාට ස්කූටර් එළවිය හැකි නිසා ඔහු පොඩි හාමුදුරුවන් ද ස්කූටරයේ තබාගෙන යයි. ඒ යන අතර ඔවුන්ට සිදුවන දේවලින් නාට්‍යය සකස් වී ඇත. ඒ සිදුවන දේ අතර සුවිශේෂ නාට්‍යමය සිද්ධි නැතත් සිදුවන පුංචි පුංචි දේවල පවා ගැඹුරු අර්ථ මතු කරගන්නට නාට්‍යකරුවා සමත් වේ. ඉතා කුඩා අවස්ථාවකින් පවා විනිවිද යන අර්ථ මතු කරන්නට රචකයාට පුළුවන. තරුණ නළුනිළි පිරිසක් ඒ අවස්ථා ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරයි. දෙදෙනාට හමුවන පොලිස් නිලධාරීන් ද අනික් අය ද ජාතිකාභිමානී ගීතවලින් නින්දට වැටී සිටින සැටිත් ඒ නිසා ඇත්තටම සිදුවන සේ නොදකින සැටිත් අපට පෙනේ. සීමාන්තික ජාතිකවාදයෙන් නිදාගත් සමාජයක සංකල්පමය නින්ද නාට්‍යකරුවා සැබෑ නින්දක් කොට පෙන්වයි. විටෙක තරමක් අතිශයෝක්ති බහුල යැයි සිතුණද ඉන් ඇති වන්නේ අපූරු නාට්‍යමය ස්වභාවයකි.

මේ දෙදෙනා ගමන යන අතර හෝ නොයන අතර පසු කරන හෝ පසු නොකරන තුවක්කුවක් නාට්‍යයට නම සපයයි. එහි සවිකර ඇති කාල තුවක්කුවක් යටින් 'මෙය තුවක්කුවක් නොවේ' යැයි ගසා ඇත. එවිට දෙදෙනා අතර ඇති වන සංවාදය මෙසේය.

තරුණයා - ඒ උනාට තාම අපිට මේ තුවක්කුව වත් පහු කරන්න බැරි උනානෙ.
භික්ෂුව- මොන තුවක්කුවද?
තරුණයා- ඔය තියෙන්නෙ
භික්ෂුව- මේක කොහොමද බං තුවක්කුවක් වෙන්නෙ?
තරුණයා- මේක තුවක්කුවක් තමයි
භික්ෂුව- එහෙනම් මේක තුවක්කුවක් නෙමෙයි කියල ගහල තියෙන්නෙ
තරුණයා- ංආ ඒ බය හිතෙන්නෙ නැති වෙන්න
භික්ෂුව- බය හිතෙන්නෙ නැතිවෙන්න නම් මේක මෙතනින් අයින් කරන්න තිබුණනෙ
තරුණයා- එතකොට බය හිතෙන්නෙ නෑනෙ


මේ කොටස උපුටා දැක්වූයේ මේ රචකයාගේ තියුණු නිරීක්ෂණ ශක්තියත් ඉතා සුළු දෙයක වුව මතුපිට ඉක්මවා දැකීමේ ශක්තියයත් පෙන්වීමටයි. නැවත නැවත කියවන විට මේ කුඩා දෙබස් ඛණ්ඩය ඇසුරින් නොයෙක් දේ මතු කරගත හැකිය. නූතන සමාජය තුළ රාජ්‍යයේ මර්දනීය උපකරණ සාමාන්‍යකරණය කර සංස්කෘතිය තුළ පිහිටුවා ඇති ආකාරයත් එය අපේ රටේ සිදුවන සැටිත් මින් කියවේ. මෙහි එන තුවක්කුව තුවක්කුවක් නොව තුවක්කුවක සංඥාවකි. එය අයිකොනික සංඥාවක් යැයි කියන්නට පුළුවන. එනම් සංඥාවෙන් ඇගවෙන වස්තුවේම රූපයකි. එනම් සංඥාවත් අර්ථයත් අතර සැලකිය යුතු එකගතාවක් ඇත. එහෙත් තුවක්කුව නොවන තුවක්කුවට සමාජය බයගන්වා තබන්නට පුළුවන. එහෙත් එය තුවක්කුවක් ලෙසම මිස අන් ලෙසකින් වටහා ගැනීමෙන් බියෙන් අත්මිදිය හැකිද?

නාට්‍යය අවසාන වෙන්නේ විමුක්තිය සොයා පැවිදි වූ භික්ෂුව එහි නොවන විමුක්තියක් සොයා පැන යන්නට ගොස් නැවතත් භික්ෂුව ජීවිතය වෙතම යමිනියි පෙනේ. එය එක්තරා පරාජිත අවසානයකියි මට සිතිණි. කෙසේ වෙතත් ඉතා බුද්ධිමත් ලෙස හාස්‍ය හැසිරවීම අතින්ද මේ නාට්‍යය මගේ සිත් ගත්තේය. චමිල ප්‍රියංක නම් මේ නාට්‍යකරුවා අප තුළ අපේක්ෂා දල්වන නිසා ඔහු කරන දේ ගැන හිමින් සැරේ බලා සිටීම වටියි.

(මේ ලිපිය තරමක් වෙනස් ස්වරූපයකින් පෙබරවාරි 23 ඉදිරිය පුවත්පතේ පළ වේ.)

ලියනගේ අමරකීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කලාව යනු යථාර්ථය ඉදිරියෙහි තබා ඇති කැඩපතක් නොවේ. යථාර්ථය හැඩගස්වනු පිණිස හෙලනු ලබන යකුළ් පහරකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඇස අද්දර මඳහස හා හුස්ම සොයන ජීවිතයකි
හිත අද්දර නිදහස පා පාද තබන ආදරයකි
අත අද්දර පත්තිරුවක කතා කරන ගොළු දෑසකි
ගඟ අද්දර ඔබ එනතුරු බලා හිඳින හිස් දහසකි

අසූ අටට ගිහින් එන්න - එතැන ඉන්න ආස ඈයො
ගල් ගැහුණත් වෙඩි වැදුණත් බදාගන්න කීව නෑයො
'පාර දිගේ' ජන යාගෙක හඬා වැටුණ රසික බෑයො
හිල් වී ගිය පපු අතරින් 'බඹරු ඇවිත්', සහෝදරයො!

'මධුසමයක්' නොමැති තැනෙක වසන්තයක් කොහෙන් එයි ද
රැල්ලෙන් රැල්ලට නොගොසින් හිටිය එකම ඇති නෙමෙයි ද
ගව්වෙන් ගව්වට මාළිඟ මිසක් මිනිස්කම් රැඳෙයි ද
'විජය' හිටිය නං රජයට දැනෙන රස්නෙ කොහොම වෙයි ද

පොඩිම කාලෙ උන්නු යාළු රැකගන්නට ලේ දන් දුන්
'පොඩි මල්ලි'ට තිබ්බ හයිය ලොකු අයියල කෙරුවද සුන්
මිතු මළ දින උනපු කඳුළු අවිහිංසක සුසුමක හුන්
දඟගෙයි දඬුවම් විඳිද්දි ඔය හැටි කොහොමද සන්සුන්

'අහස් ගව්ව' කුලියට ගෙන පික්චර් තරු අලව අලව
රහස් කිව්ව පෙම්වතියනි, වෙනසක් නැත කළු ද සුදු ද
සහස් වසක් පසු කෙරුවත් ෆොටෝ - ඔටෝ සිඹින කුසුම
විජය මතක කෙල්ලන් හට මොකටද තව අඩුම කුඩුම

මිණි කිංකිණි හඬ පරදන ගැඹුරුම හඬ වෙන කාගෙද
පිනි සසැලෙන හිමිදිරියක 'යශෝදරා' වෙන කාගෙද
ගිනි ගන්නා ජාතිවාද දුරැලූ දිය වෙන කාගෙද
තනි වූ විට පුතුට ලීව 'විමුක්ති' ලිපි වෙන කාගෙද

සියපත සේ කළල් දියෙන් මතු වී ඉහළටම ආව
අසිපත විය රංගනයයි - ගායනයයි - බොක්ක පෑව
කැඩපත විසි වී ඡායා බිඳී යයි ද කවුරු ගාව
මොහොතකි, සැණෙකින් උපදින රුව යනු එය විජය රාව

සන්තානේ ලතාව දැන හදවතටම තට්ටු කෙරූ
'හන්තානේ කතාව' ගෙන සඳවතකම සිහිල දැරූ
හැන්දෑවේ ෂෝ එක ළඟ ජීවිතයම නතර කෙරූ
සන්තානං මෑණියනේ ක්‍රිස්තු පුතා නොවෙද හිරූ

දෙයියෙක් වුණත් ගල් ගැහෙන්න ඇත්තෙ ඇත්තටම එදිනයි
අයියෙක් වුණත් මරදානේ වැටෙන්න ඇති ඉඩ එතැනයි
ලයියගෙ වුණත් දෑතින් දුවපු බුලට්ටෙකෙන් දුක නලියයි
වෛරෙක නොවන මහ සාමයක සමනල් දෑස් යුග නිදියයි

පෙමාතුර දුර තුෂාරාවෝ - සහෝදරයෝ නොදුටු බඹරා
දමා මුහුණත වැසුම් හැරගෙන කතා නොකළද සිතුම් අඹරා
අමා පැන් සේ අදත් සිහිකොට බලා අස්සන සඟව සමරා
සමා නැත, නෙත පමා ඇත මේ සදා ආදර සිහින කුමරා!

කසුන් මහේන්ද්‍ර හීනටිගල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



Nagraj Manjule ගේ Fandry සිනමා කෘතිය, 2015 පෙබරවාරි මස 22 ඉරුදින සවස මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල් ශාලාවේදී තිර ගත වෙයි.

සවස 3.30- සිනමා කෘතිය පිළිබඳ අදහස් දැක්වීම- විකුම් ජිතේන්ද්‍ර
සවස 4.30- සිනමා කෘතිය ප්‍රදර්ශනය
-සංවාදය-

සංවිධානය- විණැන මාධ්‍ය හා කලා පදනම


Fandry- Marathi Movie- Trailer



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



2015, පෙබරවාරි 26 වැනිදා සවස 4.00ට, Philip Kaufman අධ්‍යක්ෂණය කළ, The Unbearable Lightness of Being සිනමාපටය ශ්‍රී ලංකා පදනමේ දී ප්‍රදර්ශනය කෙරේ. The Unbearable Lightness of Being (1988), මිලාන් කුන්දේරාගේ එනමින් යුත් නවකතාව පාදක කොට ගෙන තැනූවකි.

ඉන් අනතුරුව, "ස්ත්‍රී පුරුෂ භාවයන්ගේ ප්‍රති ඉදිරිපත් කිරීම හා සිනමාව" යන මැයෙන් රොහාන් පෙරේරා විසින් කරනු ලබන දෙසුමකි. සංවාදය මෙහෙයවීම සුදත් මහදිවුල්වැව විසිනි.

මෙම සිනමා රසවින්දන වැඩසටහන ශ්‍රී ලංකා පදනමේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය මගින් සංවිධානය කරනු ලබන්නකි.


The Unbearable Lightness of Being (1988)- Trailer



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



'මකරා' ලංකාවේ දී පළමුව නිෂ්පාදනය වන්නේ 1973 අගෝස්තු මාසයේ දී ය. එය පළමු නිෂ්පාදනය හෙන්රි ජයසේනයන් විසින් 'මකරා' නමින් නිපදවන අතර එහි ප්‍රධාන චරිතය රඟ දක්වන ධර්මසිරි බණ්ඩාරනායක විසින් ම 'මකරාක්ෂයා' නමින් මෙම නාට්‍ය මේ දක්වා ම පවත්වාගෙන යමින් සිටී. රුසියානු ජාතික 'ෂ්වාට්ස්' විසින් රචිත මෙම නාට්‍ය 1944 දී මොස්කව් නුවරත් ලෙනින්ග්‍රාඩ් නුවරත් මංගල දර්ශන දෙකක් පවත්වා ඇත. එහෙත් රුසියාවේ එතරම් ජනප්‍රිය නොවූ මකරා, ලොව සෙසු සමාජවාදී රාජ්‍යයන්හි ඉතා ජනප්‍රිය වූ නාට්‍යයක් විය. 1973 සිට නූතන විසි එක් වැනි සියවස දක්වා ම 'මකරා' ප්‍රේක්ෂක ආකර්ශනය සහිතව වේදිකාගත වන්නේ එහි දෘෂ්ටියේ ඇති නැවුම් බව හා කිනම් සමාජ තලයක් වුව ද විනිවිද දැකීමේ හැකියාවක් නාට්‍ය කෘතිය මඟින් ලබා දී ඇති බැවිණි. ලෝකයේ ඕනෑම තැනක, ඕනෑම රටක ජන කොට්ඨාශයකට එරෙහිව පාලක පක්ෂයක් ක්‍රියා කරන්නේ ද ඔවුන්ගේ එදිරිවාදිකම් කිසිදු වග විභාගයකින් තොරව පාලිත පක්ෂය පිළිගන්නේ ද ඒ කිනම් අවස්ථාවක් වුව විවරණය කරන්නට 'මකරා' නාට්‍ය සමත් ය. හෙන්රි ජයසේනයන් විසින් මකරා නිෂ්පාදනය කරන්නට හේතු වූ කරුණු ඉදිරිපත් කර ඇත්තේ මෙසේ ය.

"මකරා වේදිකාවට ගෙන ඒමේ දී ඇතිවන විශාලත ම බාධකය නිෂ්පාදන දුෂ්කරතාවයන්වත් අධික වියදම්වත් නොවේ. නාට්‍යයේ එන නොයෙකුත් අවස්ථා, ඇතැම් වග වාසගම් ආදිය ඇතැමකුගේ සැකයට හා කෝපයට භාජනය වීමට ඇති පුළුවන් කමයි....... ඒ කෙසේ වෙතත් මකරා නම් නිෂ්පාදනය කළ යුතු ම නාට්‍යයකි. එහිදී වාද විවාද, මත භේද පැන නගිනු නිසැක ය. 1966 දී 'මනරංජන වැඩවර්ජන' නාට්‍යයෙන් ඇරඹුණු මෙම වාද විවාද හා මතභේදවල කෙළවරක් නුදුරු අනාගතයේ වුව ද මට නම් නොපෙනේ. 'මනරංජන වැඩවර්ජන' වෘත්තීය සමිති විරෝධී නාට්‍යයක් ලෙස ඇතමෙක් දුටුවේ ය. 1966 පෙබරවාරි 8 වැනිදා සිද්ධීන් යළිත් මතුකොට, එමඟින් මිනිසුන් කුපිත කරවිය හැකි රාජ්‍ය විරෝධී නාට්‍යයක් ලෙස තවත් සමහරු එය දුටුවේ ය. 'අපට පුතේ මඟක් නැතේ ' ඊට ද වැඩි මතභේද හා වාද විවාදවලට තුඩු දුන් නාට්‍යයක් විය. 1968 පාලක මණ්ඩලය එය දුටුවේ සූක්ෂම ලෙස රජය අවමානයට ලක් කිරීමට ලියැවුණු නාට්‍යයක් ලෙස ය. එහෙත් ඇතැම් වාමාංශික පුවත් පත් එය විස්තර කළේ ධනපති පංතිය ආරක්ෂා කිරීමට ලියැවුණු 'ගොවි කම්කරු දූ පුතුන් එල්ලා මරණ' නාට්‍යයක් ලෙසය...."
(-ජයසේන, හෙන්රි. මකරා. ගොඩගේ. කොළඹ. පි.8)

එමඟින් මෙම නාට්‍ය නිෂ්පාදනය කිරීමේ දී සමාජයක් වශයෙන් පත්ව ඇති ස්ථානය හා නාට්‍යකරුට සමාජයෙන් එල්ල වූ බලපෑම තහවුරු කළ හැකිය. එවන් තත්ත්වයන් මත මකරා නිෂ්පාදනය කරන්නට ඇති හේතුව කුමක් ද? ඉහත අපගේ අවධානයට යොමු වූ ආකාරයට 1971 හා 1973 යනාදී කාල පරාසයන්හි මෙරට දේශපාලනයේ සිදු වූ පරිවර්තනයන් කෙරේ අවධානය යොමු විය. විශේෂයෙන් ම සමාජවාදී අදහස් සමාජය තුළ පැතිර යාමත් ඒ සමඟ විප්ලවීය වෙනසක් වෙනුවෙන් තරුණ නැගී සිටීම් ඇති වීමත් සිදු විය. මෙවන් කාලයක දී කලාවෙන් ඉස්මතු වන්නේ ද එකී කාලයේ සමාජ තත්ත්වයයි. විප්ලවය කළ යුතුය, සමාජ ක්‍රමය පෙරළා දැමිය යුතු ය. එහෙත් එය කළ නොහැකි ප්‍රධාන බාධකය වන්නේ තමා තුළ ම නිදා සිටින්නා වූ 'මකරා' මරා නොදැමීමයි. සමාජවාදී අදහස් සමඟ මෙකී අදහස ගැටළුකාරී වීම අන්‍යසම වේ. විප්ලවය කළ යුතු වන්නේ ධනපති පන්තියට එරෙහිව සූරා කන්නවුන්ගෙන් සමාජය බේරා ගැනීමටයි. නාට්‍යකරු විසින් පසක් කරන සත්‍ය වන්නේ 'මකරා' මරා දැමූව ද ජනතාවගේ සිත් අභ්‍යන්තරයේ නිදන්ගත මකරා මරා නොදැමුව හොත් ඔවුහු විසින් තවත් 'මකරකු' නිර්මාණය කර ගනු ඇත යන්නයි. ෂ්වාට්ස් විසින් රුසියන් විප්ලවය සිදුවන සමකාලීන යුගයේ ම මෙවන් ප්‍රතිපක්ෂ මත රැගත් නාට්‍යක් නිපදවීමෙන් රුසියානු චින්තනය ආකර්ශනය කර ගන්නට නොහැකි විය. 'මකරා' රුසියාවෙන් බැහැර වෙනත් රාජ්‍යයන්හි වඩාත් ජනප්‍රිය වන්නේ එබැවිණි.

එවකට ශ්‍රී ලාංකික ජනතාව පෙළ ගැසුනේ සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව පෙරලා දැමීමටය. ඔවුන් විශ්වාස කරන ලද්දේ මෙරට ඇති වී ඇති සියලු තත්ත්වයන්ට වග කිව යුතු කරුණ වශයෙන් හඳුනාගෙන සිටියේ ආණ්ඩු පක්ෂයයි. හෙන්රි ජයසේන එම මතයෙහි ඇති මුලාව, මිත්‍යාව නාට්‍යමය ආකාරයෙන් විග්‍රහ කරන්නට ගත් උත්සාහයක් ලෙසින් 'මකරා' හඳුන්වා දිය හැකිය. වසර කිහිපයකින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව බිඳ වැටුණි. නැවත බලයට පැමිණියේ ජේ. ආර්. ජයවර්ධනගේ විධායක බලතල සහිත ආණ්ඩුවයි. එහෙත් මකරා මිය ගිය බවක් දකින්නට නොවීය. නැවත 'මකරා' රට පුරා වේදිකා ගත වන්නේ එබැවිණි. 1988-89 භීෂණයත් සමඟින් ජනතාව සිතා සිටියේ 'මකරා' යනු එවකට පාලන බලයේ සිටි ප්‍රේමදාස ජනාධිපතිතුමා ලෙසින් ය. එම කාලයේදීත් ජනතාව ආදරයෙන් 'මකරා' වැළඳගනු ලැබීය. නොබෝ කාලයකින් ප්‍රේමදාස මහතා ද බලයෙන් ඉවත් විය. 1994 බලයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් ද 'මකරා' මිය ගිය බවක් දකින්නට නොලැබුණි. ඉන් අනතුරුව එළඹි රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ද මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ද 'මකරා' මිය ගියේ නැත. සමාජය ගිලෙමින් තිබූ 'මකර රාජ්‍යයෙන්' මිදීම සඳහා මකරා නැරඹීම සඳහා ඔවුහු පෙළ ගැසී සිටියහ. නාට්‍යයෙන් සාකච්ඡා කරන්නේ ජීවමාන බලයේ සිටින මකරුන් ගැන නොව, අප සිත් සතන්හි නිරන්තරයෙන් වැඩ වසන 'මකරුන්' පිළිබඳව ය. මකරා පරාජය කිරීම යනු තමා විසින් තමගේ සිත අභ්‍යන්තරයේ කිඳා බැස ඇති 'මකරුන්' සමූල ඝාතනය කිරීමයි. එය පහසුවෙන් ඉටු කළ හැකි කටයුත්තක් නොවේ. ජීවිතයත් මරණයත් අතර සටනකි, එය අසීරුය. එබැවින් ම කාලාන්තරයක් තිස්සේ දේශිය වශයෙන් ද විදේශීය වශයෙන් ද මකරුන් බිහි කරගනී. ඔවුන්ගේ අඥාදායකත්වයට රාජධානි යටත් කොට තබයි. ඒ වෙනුවෙන් අනුගත වෙයි. එවන් මකරුන්ට එරෙහි සටන් කරන වීරයන් බිහිවන්නේ නැත.



නාට්‍ය ආරම්භ වන්නේ මකරාගේ ග්‍රහණයට යටත්ව පවතින නුවරට 'ලන්ස්ලොට්' නම් තරුණයෙකු, වීරයෙකු පැමිණීමෙණි. මෙවන් විරුවන් ලෝක සාහිත්‍යයේ දැකිය හැකිය. ක්‍රිස්තියානි ආගමෙහි දෙවියන් වහන්සේගේ දූතයා පැමිණෙන්නේ ය. ලංකාවේ දියසෙන් කුමරා පැමිණෙන්නේ ය. එවැනි ම අයුරින් පැමිණෙන ලන්ස්ලොට් ආගමනය මකරා මරා දැමීමට පමණක් නොව තමා තුළ සිටි මකරා අවබෝධ කර ගන්නට ද හේතු වෙයි. නගරයේ දී ලන්ස්ලොට් හට හමු වන පූසා, ෂාල්, එලිසා යනාදීහු මකරුන්ගේ ග්‍රහණයට අනුගත වන්නේ ය. ඒ සියල්ල ඔවුන්ගේ උරුමයන් ලෙසින් විශ්වාස කරයි, අදහයි. ඉන් එහා වූ විමුක්තියක් ඔවුන්ට නැත. තව දින කිහිපයකින් තම දුව වූ එලිසා මකරාට ගොදුරක් වීමට තිබිය දී ඔවුන් පළ කරන ප්‍රචාරය පුදුම සහගත ය.

"ෂාල් - ඔබට කදිමට විවේක ගන්න පුළුවන් මෙහේ. අපේ නගරය බොහො ම නිස්කලංක නගරයක්. කිසිම කලබලයක් නැහැ මෙහෙ.

ලන්ස්ලොට්- මුකුත්ම නැහැ ?

ෂාල් - අපොයි නැහැ. ගිය සුමානේ ටිකක් තද සුළඟක් නම් හැමුව තමයි. ගෙවල්වල වහල දෙදරණ තරමට. ඒත් ඉතිං ඒ වගේ දේවල් සිද්ද නො වෙන්නෙ කොහෙ ද?"

(එම. පි. 8)

මකරුන් වසන ජන සමාජයන්හි වඩා ඛේදජනක තත්ත්වය මෙයයි. වඩා බිය කරුවන්නේ නගරය මකරා යටත් කර ගැනීම නොව, එයට නිරායාසයෙන් ම ජනතාව යටත් වීමයි. යටත් වීමට ද හේතු ඇත. මකරාට විරුද්ධව කිහිප විටක් ම නුවර වාසීන් අරගල කර ඇත. එහෙත් සෑම අවස්ථාවක දී ම නුවර වැසියන්ට අත් වී ඇත්තේ මරණයයි, විනාශයයි. එහෙත් මෙම ගැටුම් සියල්ල සිදු වී ඇත්තේ ලන්ස්ලොට් පැමිණීමට වසර සිය ගණනකට එපිට දී ය. එසේ නම් මේ සටන් සැබෑ ලෙසින් ම සිදු වූ ඒවායැ'යි සිතිය නොහැකි ය. පාලක මකරා විසින් ගොඩනගන ලද ව්‍යාජයන් අභියස නුවර වැසියන් යටත් වී ඇත.

මෙතරම් අසාධාරණයෙන් වැජඹෙන මකරාගේ තීරණයට 'ෂාල්' ගෙන ඇති තීරණය වන්නේ 'එලීසාව' මකරා රැගෙන ගිය පසු සිය දිවි නසා ගැනීමයි. ඔහුගේ සියදිවි නසා ගැනීම සෙසු නුවර වාසීන්ට ගැටළුවක් නොවේ. එලීසා මකරාට ගොදුරක් වීම ද නුවර වැසියන්ට ගැටළුවක් නොවේ. ඔවුන් ද යම් දිනක මකරාට ගොදුරු වනු ඇත. ඔවුන්ගේ දරුවන් ගොදුරු වනු ඇත. එහෙත් කළ හැකි දෙයක් නැත. එලීසා නමින් සකස් කළ බීමකින්, ගීතයකින් ඔවුන්ට ශෝකය යටපත් කළ හැකිය. නැවත පෙර පරිදිම ජීවිතය පවත්වාගෙන යා හැකිය.

"ෂාල් - මේ අඩවියෙන් එතුමාට මාස් පතා තුටු පඬුරු වශයෙන් දෙනව හරක් දාහකුයි, එලුවෝ දෙදාහකුයි, කුකුල් පැටව් පන්දාහකුයි, ලුණු හොණ්ඩර දෙකකුයි, ග්‍රීෂ්ම කාලෙට ගෙවතු දහයක එලවලු පලා ජාති ලැබෙනව.

ලන්ස්ලොට් - එතකොට මිනිස්සුන්ට වැඩි යමක් ඉතුරු වෙන්නෙ නෑනේ.

ෂාල් - අපොයි ඒකට කමක් නෑ. අපි කන්කඳෙිරි ගාන්නේ නෑ. පිස්සුවට ද අපි කන්කඳෙිරි ගාන්නෙ? අපේ මකරා අපට ඉන්න තුරු වෙන කිසිම මකරෙක් එන්නෙ නෑ අපට හිරි හැර කරන්න, මේ පළාතටවත්"

(එම. පි. 12)

තමාගේ ශ්‍රමය, ධනය, නිදහස, අනාගතය, ජීවිතය සියල්ල උදුරා ගන්නා මකරෙක් වෙනුවෙන් නුවර වැසියන් පක්ෂාග්‍රාහී වී ඇති ප්‍රමාණය විදහා දක්වන්නේ උත්ප්‍රාසය මතු වන අයුරෙණි. පාලකයා විසින් ජනතාවගේ දේපොළ කොල්ලකෑම පුදුම සහගත විය යුත්තක් නොවේ. වඩා පුදුම සහගත විය යුත්තේ ජනතාව එවන් ක්‍රියාවන් චාරිත්‍රයක් ලෙසින්, දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙසින් නොපිරිහෙළා පිළිගැනීමයි. මකරා පවතින්නේ එවන් ජනතාව නිසා ය. එවන් නුවරක වැසියන් පමණක් නොව ඊට එකඟ වන අවනත වන නිළධාරීන් පිරිසක් ද දුෂ්ට පාලකයෝ විසින් පත්කර ගනිති. හෙන්රි එලීසාගේ පෙම්වතා වුවත් ඔහු සේවය කරන්නේ මකරාට ය. සියල්ලෝ ම ජනතාවගෙන් සත්‍යය යටත් කරමින් යහමින් ජීවත් වෙයි.

"පුරපති - අනේ ඇත්තට ම, උඹ පුදුම මිනිහෙක්නෙ. ඇත්ත කියන්ඩ කියන්නෙ මට, පොඩි ළමයෙක් වගෙ. මම නිකම්ම නිකම් මිනිහෙක් කියල ද හිතේ ? මම මේ අඩවියේ පුරවරාධිපති. මම මටවත් ඇත්ත කියල නැහැ දැං අවුරුදු ගණනකට. ඇත්ත කියන්නෙ මොන විදිහෙ දෙයක් ද කියලවත් මට මතක නැහැ. මට තෝන්තුවාව ඇතිවෙනව ඕක මතක් වෙනකොටත්. මගෙ බඩත් පුරවා දමනවා. ඔන්න ඕක අමතක කර දමාපං. ජය වේවා මකර තුමාට....."
(එම. පි. 39)

ඔවුන් භාවිතා කරන ව්‍යාජය තරමට ම මකරාගේ ස්වභාවය වර්ණනා කර ඇත්තේ ව්‍යාජයෙනි. ඉන් බලාපොරොත්තු වන්නේ ජනතාව යටපත් කරගෙන සිටීමට ය. එපමණක් නොව මකරා හා ලන්ස්ලොට් සටනකට සැරසෙන විට එකිනෙකා පොර බදමින් සූදානම් වන්නේ මකරාගේ විනාශය දක්නට නොවේ. ලන්ස්ලොට්ගේ මරණය දකින්නට ය. ඔහු මැරී වැටෙන අයුරු, පොර බඳින අයුරු දැක සතුටු වනවා හැර නගර වැසියන්ට තවත් සොම්නසක් උපදවන්නා වූ දෙයක් නොමැත. ලන්ස්ලොට් හට ලබා දෙන ආයුධවලින් ද ඇති කරන්නේ කුමන්ත්‍රණයකි. පුරපති හිතාමතා ම වැඩකට ගත නොහැකි ආයුධ සැපයීමෙන් බලාපොරොත්තු වන්නේ ලන්ස්ලොට්ගේ මරණයයි. මෙහි ඇති හාස්‍යත්පාදක කරුණ මකරා ද නගර වැසියන්ගේ දුර්වලතා මනාව අවබෝධ කරගෙන සිටීමයි.

"මකරා - තමුසෙට දුවන්ඩ හිතෙයි. මේ වගේ මළ පෙරේතයෙක් වෙනුවෙන් දිවි පුදන්ඩ හිතෙන එකක් නෑ තමුසෙට, යාලුව. මම බොහොම ලස්සනට ඒ වැඩේ කරල තියෙනව. මමයි මුන්ගෙ කොඳු ඇට කැඩුවෙ. මුන්ගෙ ජීවය බින්ද, මිනිහෙක් දෙකට කැපුවොත්, ඒ මිනිහ මැරෙනව. නමුත්, උගෙ ජීවය බින්දොත්, ඊට පස්සෙ ඌ වහලෙක් වෙනවා...... මගේ අණසක පවතින මේ පුරවරේ විතරයි මෙහෙම අය ඉන්නෙ. අත පය වලංගු නැති, ඇස් නොපෙනෙන, කන් නෑහෙන, අවතාර වහල් බැම්මෙන් බැඳුනු හොල්මන්, කේලම් කිය කියා එක එකා කොටවන කාලකණ්නි. තමුසෙ දන්නව ද ඔය නගරපතියා පිස්සෙක් වගේ හැසිරෙන්නෙ මොකද කියල? ඒ උගේ ජීවයෙන් තොර, වහල් හිස් බව වහ ගන්ඩ. මුංගෙ ඇතුලත මුකුත් නෑ. එහෙම පිටින් ම හිස්... තමුසෙට බලා ගන්ඩ පුළුවනි."
(එම.පි. 54)

පුරපති පමණක් නොව, මෙකී ප්‍රකාශ ඉදිරිපත් කරන මකරාගේ සිත අභ්‍යන්තරයේ ද ගත යුත්තක් නැත. බිය හා සැකයෙන් පීඩිත 'මකරා' බිහිසුණු විලාසයෙන් ජීවත් වන්නෙකි. ඔවුන්ගේ ඇතුළත ඇති හිස් භාවයට නගර වැස්සන්ගේ හිස් භාවය ද සමානුපාත වේ. එහෙත් සියලු දෙනා ව්‍යාජයෙන් මවා ගත් ලෝකයක ජීවත් වෙයි.

එහෙත් ස්වභාව ධර්මයේ නියමයන්ට අනුව ලොව දිනිය යුතු ය. ඒ වෙනුවෙන් කැප වෙන්නේ කවුරුන් ද? ඔහු අභියස නිදහස, විමුක්තිය අපේක්ෂා කරන සියල්ලෝ ම පෙළ ගැසෙණු ඇත. ලන්ස්ලොට්ගේ සටන වෙනුවෙන් කළාල, හිස් වැසුම්, කඩු යනා දී සියල්ල සාදා දෙන්නේ ස්වභාවධර්මයේ නියමය අනුවයි. සත්‍යය යටපත් කළ හැකිය. එහෙත් පරාජය කළ නොහැකිය. සත්‍යය කෙදිනක මුත් නැවත මතුවෙනු ඇත. සමාජය විසින් පිළිනොගන්නා, ගරු නොකරන්නා වූ පුද්ගල කණ්ඩායම් එක් වන්නේ නුවර, මකරාගෙන් නිදහස් කර ගැනීමට ය. අවසන එලිසාගේ සුරතල් පූසාත් සටන වෙනුවෙන් දායක වීම විශේෂිත ය.

යුද්ධය ආරම්භ වූ විට ලොව සෑම තැනකට ම පොදු වූ දෙයක් වන්නේ 'යුද්ධය අලෙවි භාණ්ඩයක් ලෙසින් යොදා ගැනීමේ' ප්‍රවණතාවයයි.

"පදිකවෙළෙන්දා- ප්ස්....ප්ස්.... ඔන්න එහෙනම් අළුත්ම විද්‍යාත්මක නිර්මාණයක්. මේකට කියනව කැඩපතක් කියල. බිම බැලුවම උඩ පෙනෙනව. කුණු කොල්ලෙට යන්නෙ..... මකරව බලන්ඩ පුළුවනි තමන්ගෙ පාමුල......."
(එම. පි. 72)



ජනතාවට උඩ බලන්නට ඇවැසි විට කණ්නාඩිත්, බිම බලන්නට ඇවැසි විට කැඩපතක් ද අලෙවි කරන්නට වෙළෙන්දා පසුබට නොවේ. හෙන්රි විසින් යුධවාදී සමාජයක මාධ්‍ය කාර්යභාරය ඉටු කරයි. ඔහු විටින් විට පැමිණෙමින් ප්‍රකාශ කරන්නේ යුද්ධයේ යථා ස්වභාවය නොවේ. අවසන් මොහොතේ වුව ඔහුගේ ප්‍රකාශයන්ගෙන් ඔවුහු බලය අතහැරීමට සූදානම් නොවන බැව් හඟවයි. මකරාගේ අනුහසින් ජීවත් වන්නවුන් නිරන්තරයෙන් උත්සාහ දරන්නේ පවතින මොහොතේ හෝ අධිකාරික බලය ආරක්ෂා කර ගන්නටයි. හැත්තෑව දශකයේ පමණක් නොව විසි එක් වැනි සියවසෙහි ද මොවුන් දුලභ නොවේ. ඉතාමත් පටු සීමාවන්හි පිහිටමින් මහජනතාව රවටනු ලබන්නේ පුද්ගලික ලාභය වෙනුවෙනි.

"පුරපති- ඇයි, මොකක්ද ඒකේ වැරැද්ද? ඒක යුධ රහසක්. ලන්ස්ලොට් ගේ ඇතැම් අවයව තවමත් ඉඳහිට මඳ වශයෙන් පහර දීමට තැත් කරනව. ඒකයි, අර්ධ වශයෙන් කිව්වේ..... තව එකක් මකරතුමා එතුමගෙ එක හිසකට තාවකාලික වශයෙන් නිවාඩු දී තිබෙනවා. අවශ්‍ය වුනොත් පසුව ආපසු කැඳවීමේ බලාපොරොත්තුවෙන්......"
(එම.පි.74)

මකරා මරා දැමීමේ වාසි සහගත තත්ත්වය උදාවන්නේ පුරපතිට හා හෙන්රි හටයි. මකරා සිටින විට වරප්‍රසාද හිමි වන්නේ ද නොමැති විට වරප්‍රසාද හිමි වන්නේ ඔවුන් හටයි. මකරාගෙන් නුවර රැකගත් ලන්ස්ලොට් සමුගන්නට සිදුවන්නේ ඔහු ආදරය කරනා එලිසාත් අහිමි වීමෙනි. එහෙත් සත්‍යය ලෝකයේ පවතිනු ඇත. ලන්ස්ලොට් සතුටු වන එකම කරුණ එයයි.

එහෙත් වසරක් ගිය තැන ලන්ස්ලොට් අපේක්ෂා කළ පුරවරය බිහි වී නොමැත. මකරා වෙනුවට තවත් කෙනෙකු අසුන් දරා ඇත, ඒ පුරපති ය. මකරාට නියමව සිටි එලිසා පුරපතිට හිමි වීමට නියමිත ය. පෙර 'මකරා' සේම එකී විවාහය ද සිදු කරන්නේ එලිසාගේ කැමැත්ත විමසීමෙන් නොවේ. ඒ වෙනුවෙන් ඈගේ පියාට වරප්‍රසාද ලබා දෙමින් සිත් අවනත කර ගැනීමට උත්සහ දරන්නේ ය. පුරපතිට මානව බැඳීමෙන් ඇති ප්‍රයෝජනයක් නැත. ලන්ස්ලොට් විසින් උදාකරන ලද ඔහුගේ ජයග්‍රහණයක් ලෙසින් හුවා දක්වමින් නගරයේ වැජඹෙති. මෙය නම් ලෝ ඇති තතුය, මෙය එක් රටක දේශීය අත්දැකීමක් නොවේ. සමාජයේ වැඩ කළ පුද්ගලයින්, ජනතාවට ආදරය කළ පුද්ගලයින් ඉතිරි කළ දේ, උරුම කළ දේ, දිනා දුන් දේ ඊට කිසිදු උපකාරයක් නොකළ පිරිස් විසින් අත්පත් කරගනිමින් විරුවන් ලෙස වැජඹෙති. නිදහසින් පසු උදාවූ සෑම කාලයක දී ම එය පොදු ධර්මතාවයක් තරමට ම සරල විය, පොදු විය. එවිට ලන්ස්ලොට්ගේ ජයග්‍රහණය සොරකම් කිරීම පුදුම සහගත නොවේ. එපමණක් නොව ඔහු ආදරය කළ පෙර දිනක තම පුතුට විවාහකර දෙන්නට සූදානමින් සිටි එලිසා, පුරපති විවාහ කරගන්නට සැරසෙන්නේ චාරිත්‍ර ධර්මයන්ගේ හෝ හෘද සාක්ෂියට එකඟව වීමෙන් නොවේ. ඔවුහු අභිමුව එවන් මානව ධර්ම නැත. සත්‍ය කියා හෝ ධර්මය කියා ගුණධර්ම කිසිත් නොමැත. බලය වෙනුවෙන් කළ හැකි පහත් නින්දිත ම කටයුත්ත වුව කරන්නට ඔවුහු මැළි නොවෙති, පසුබට නොවෙති.

පුරපති නගරයේ අයිතිකරු වූ විට, භාරකරු වූ විට ඔහු ද හැසිරෙන්නේ තවත් මකරකු පරිද්දෙණි. ජනතාව පෙර පරිදිම ගරු දක්වති, ප්‍රශස්ති වයති. එපමණක් නොව නගරය මකරාගෙන් මුදවා ගන්නට කටයුතු කළ තොප්පි සාදන්නට කඩු සාදන්නට හා කළාල සාදන්නට සිදු වන්නේ සිර ගෙයහි ලැගීමටය.

සියලු වර-දාන දෙමින් සියලු වරප්‍රසාද දෙමින් ජනතාව අවනත කර ගනිමින් පාලකයන්ට අවශ්‍යය අයුරින් පාලනය ගෙන යාම ඔවුන්ගේ ස්වභාවයයි. ජනතාව කළ යුත්තේ සැබෑ ජනතා නායකයා හඳුනා ගැනීමය. එයට අවකාශයක් නැත. මන්ද මකරා සිටින්නේ තම තමන්ගේ චිත්ත අභ්‍යන්තරයේ වන හෙයිනි.

ලන්ස්ලොට් හා එලීසාගේ ප්‍රේමය, දේශපාලනික සමාජයේ ප්‍රේමය නම් මානව ධර්මයන් රෝපණය වීම සංකේතවත් කරන්නෙකි. සැබෑ ජනතා නායකයින් අභිමුව ජනතාව පීඩාවට පත්කළ අසරණ භාවයට පත් කළ පුද්ගලයින් නියාලු ලෙසින් සැගවී යයි. තම අත ඇති වැරදි වෙනකෙකු මත තබමින් නිදහස් වීමට උත්සාහ දරයි. එවිට ඔවුන් හැසිරෙන්නේ අඳබාල පුද්ගලයින් ලෙසින් ය. එහෙත් කිසිවකු ජනතාව වෙනුුවෙන් පෙනී නොසිටින බැව් දැන ගත් පසු ජනතාව පෙළන්නට සියලු කටයුතු සංවිධානය කරන්නේ ද එවන් ආත්ම විශ්වාසයක් නොමැති පුද්ගලයින් ය. ඔවුහු තමන්ගේ අඩුලුහුඬුකම් සඟවා ගන්නේ නොමැති ධෛර්යක් පෙන්වමින් කෲරත්වයක් ආරෝපණය කර ගනිමිණි.

"ලන්ස්ලොට්- පුරපති එනකොට 'මකර- මාර වීරයා දිනේවා' කියල තමුසෙ කෑ ගහන කොට මම දැක්ක තමුසෙගෙ ඇස්වල කඳුළු පිරෙනවා......

1 වැන්නා- ඒක ඇත්ත. මගේ ඇස්වලට කඳුළු ආ එක ඇත්ත සර්. ලන්ස්ලොට් බොරු කඳුළු නෙමෙයි මගේ ඇස්වල පිරුනෙ.

ලන්ස්ලොට් - නමුත් තමුසෙ හොඳට ම දන්නවා එයා නෙමෙයි මකරා මැරුවෙ කියල?

1 වැන්නා - ඔව්, මම දන්නවා - මගෙ හිත ඇතුළෙ නමුත් එළිපිට.......

ලන්ස්ලොට් - බ්‍රවුන්, පුරපති තමුසෙ එක්ක තරහ වුණු වෙලේ තමුසෙගෙ එකම පුතා බිම් ගෙයක දමල හිර කරපු එක ඇත්ත ද?

2 වැන්නා - ඒක ඇත්ත. දැං දරුවට මහ දරුනු කැස්සක් හැඳිල බිම් ගේ ඇතුලෙ තෙතමන නිසා.

ලන්ස්ලොට් - ඒත් ඊට පස්සෙත් තමුසෙ පුරපතිට තෑගි බෝග යැව්වා ?

2 වැන්නා - වෙන මොනවා කරන්න ද මම? එයාගෙ හිත ටිකක් බුරුල් කරන්ඩ?"

(එම. පි.120)

සැබෑ ජනතා නායකයා එළඹෙන විට සියල්ලන්ට ම සතුට උදාවෙනු ඇත. කීර්තිය උදාවෙනු ඇත, නිදහස උදාවෙනු ඇත. සමස්ත නාට්‍යයේ ම මුඛ්‍ය අර්ථය පිඬු කර ඇත්තේ මෙලෙසිනි.

"2 වැන්නා - අපි එක්ක ඉවසීමෙන් කටයුතු කරන්ඩ සර් ලන්ස්ලොට්. කරුණාකර ඉවසිලිමත් වන්න. අපට තුවාල නොකර නොරිදවා අපේ තුවාලවලට සාත්තු කරන්න. ඔබ විහිදවන ආලෝකයෙන් අපට සත්‍ය පසක් වේවි. ගස්මුල්වලට හානි නොකර වල් පැලෑටි පමණක් උදුරා දමන්න. ගස්වැල්වලටත් වඩා ප්‍රවේශමෙන් කටයුතු කරන්ඩ ඕනෑ නේද මිනිස්සු එක්ක?........

ලන්ස්ලොට් - එලීසා මට දෙන්න ඔබේ අත. මගේ සහෝදර සහෝදරියෙනි, ඔබ හැමෝට ම මම ආදරෙයි. නැත්නම් මොනවට ද මම මේ තරම් ඔබ වෙනුවෙන් වෙහෙසෙන්නෙ? මගේ ආදරය හා ආරක්ෂව ඔබ පිළිගන්නව නම්, හැම දෙයක් ම හරි යනවා. ඒ ගැන සැක කරන්ඩ එපා, හැම හදවතක ම සැඟවි සිටින මකරා විනාශ කළාට පසු අපට පුළුවන් ප්‍රීතියෙන්, කිව නොහැකි තරම් ප්‍රීතියෙන් ජීවත් වෙන්ඩ....."

(එම.පි. 122)

එලීසා ලන්ස්ලොට්ගේ අතිනත ගන්නේ තම හදවතෙහි සැගව සිටිනා 'මකරා' මරා දැමීමෙන් පසුවයි. නගරයේ සිටිනා අතිමහත් ජනතාව විසින් ද සිදුකළ යුත්තේ එයයි. සතුට ප්‍රීතිය ඇත්තේ එවිටයි. අප ඉදිරියේ සිටිනා මකරාට වඩා අප අභ්‍යන්තරයේ සිටිනා මකරා මරා දැමිය යුතු බැව් පසක් කරන නාට්‍යක් වශයෙන් 'මකරා' හඳුන්වා දීමට හැකිය.

අප විසින් දශක ගණනාවක් පුරා ගෙවා දමන ලද කාලය දෙස නැවත හැරී බලන විට අප ළඟ සිටිනා මකරා මරා දමා නොමැති බැව් ඉඳුරා පසක් වේ. අප සැම විට ම උත්සාහ දරන්නේ නොපෙනන නොහඳුනන මකරකු හට යටත් වී ජීවත් වීමටයි. ඔවුන්ගේ සුඛවිහරණය සකස් කිරීමයි. නාට්‍ය කරුවාගේ කාර්යභාරය පෙන්වා දීම පමණි. සංවාදයට භාජනය කිරීම පමණි. තීන්දු තීරණ දීමේ හෝ ගැනීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් නාට්‍යකරුට තිබිය නොහැකිය. ඒ අර්ථයෙන් නාට්‍යකරුගේ සමාජ කාර්ය ඉටුකර අවසන්න ය. පළමුව හෙන්රි ජයසේනයන් විසින් නිෂ්පාදනය කළ මකරා නාට්‍යයට පසුව ධර්මසිරි බණ්ඩාරනායක නිෂ්පදනය කළ මකරාක්ෂයා ද අප සමාජයක් ලෙසින් ප්‍රේක්ෂකයන් පිරිසක් විසින් නරඹා අවසන් ය. එහෙත් අප සමාජය දිනෙන් දින මකරුන්ගෙන් පිරී යමින් පවතී. පුරපතිලා ද හෙන්රිලා ද කොතෙකුත් ඇත. අපගේ ගැලවුම් කරුවන් වශයෙන් පෙනී සිටින ලන්ස්ලොට්ලා ද ටික කලක දී මකරුන් බවට පත්වන බව අප අත්දැකීමෙන් ම දනිමු. එසේ නම් අප විසින් කළ යුත්තේ මකරා මරා දැමීම හෝ ලන්ස්ලොට් කෙනකු එන තෙක් බලා සිටීම නොවේ. අප ම විසින් අප අභ්‍යන්තරයේ සැඟව සිටිනා මකරුන් මරා දැමීමයි. සමාජය නිවහල් වන්නේ ප්‍රීති දායක වන්නේ එවිටයි. මකරා නාට්‍යයෙන් මතු කරන අර්ථය එයයි.

අප අද මකරා මරා දැමුවා යැයි උදම් අනන්නේ නම් එය වැරැදි සහගතය. මකරා සිටින්නේ අපගේ හදවත් තුළය. ඔහු මරා දමන තෙක් විමුක්තිය උදා නොවෙනු ඇත!

ඡායාරූප- මකරාක්ෂයා බ්ලොග් අඩවියෙන්

ගාමිණී බස්නායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ආදරය කියන්නේ අදිසි හැඟීමක්. ෂොක් එකක්. යුරෝපයේ පමණක් නොවේ බොහෝ රටවල ආදරය විග්‍රහ කරන්නේ බැඳීමක් (Fall) කියන අර්ථය සමග. මිනිස්සු ආදරයෙන් බැඳෙනවා. මේක මිනිසාගේ ජීවිත ගමනේ එක අවස්ථාවක්. ඔබට සුන්දර ජීවිතයක් තියනවා. ඔබ වාසනාවන්තයි. ඔබට රස්සාවක් තියනව. ඔබ යාලුවෝ සමග එලියට යනවා. කනවා, බොනවා, සුදු කෙලිනවා. සෙක්ස් කරනවා.

ඒත් එක්තරා මොහොතක, සමහරවිට ලස්සන නාට්‍යමය අවස්ථාවකට පස්සේ, ඔබට ඔහු හෝ ඇය හමුවෙනව. අපි හිතමු ඔබ මහපාරේ දෙනෝදාහක් මැද ලිස්සල වැටෙනව. කවුරුහරි නන්නාඳුනන කෙනෙක් ඔබට නැගිටින්න අත දෙනව. බලනකොට ඇය ලස්සන, ඔබේ හද ඇද බැඳ ගන්න සමත් ගෑනු ළමයෙක්. ඔබලාගේ ඇස් ගැටෙනවා. ඔබ ආදරයෙන් බැදෙනවා. ඊටපස්සේ ඔබ කියනවා දෙවියනි මම ජිවිත කාලයම බලාගෙන හිටියේ ඔබ හමුවෙනකම් කියලා.

මේ වගේ ආදර අවස්ථා වලින් මිනිස්සු තම ජීවිතේම වෙනස් කරගන්නවා. තමාගේ සම්පුර්ණ අතීතය සහ වර්තමානය මේ වගේ සුවිශේෂී මොහොතවල් වලට පස්සේ හැරවුමකට ලක්කර ගන්නවා.

එහෙත් මම හිතන්නේ මේ වගේ අවස්ථා දැන් සමාජයේ එන්න එන්නම විරල වෙනවා. බොහෝ බුද්ධිමත් සංස්කෘතික කවයන් දැන් ප්‍රශ්න කරනව අපි ආයෙත් පුර්ව නුතන ආදර සම්බන්ධතා සංස්කෘතියකට යනවා කියලා. ඉස්සර ආදර හෝ විවාහ සම්බන්ධතා නිර්මාණය කරන්නේ තමාගේ ආත්මයෙන් පිටත කෙනෙක්. අම්මා, තාත්තා හෝ පවුලේ නෑයෙක්. එහෙමත් නැතිනම් ඉඩමක්, දේපොලක් වගේ භෞතික දෙයක්. ෂොක් එකට එතන ඉඩ නෑ. සම්බන්ධතාවය එන්නේ පිටින්.


Slavoj Žižek

මොඩර්න් කියල හදුන්වන අද සමාජය වැඩ කරන්නෙත් මේ දිශානතියටමයි. අද තියෙන්නේ ඩේටින් ඒජන්සීස්. ඔවුන් කියන්නේ ආදරයෙන් බැඳෙන්නේ නැතුව ආදරය කරන්න කියල. (love without fall) ආදරයෙන් බැඳුනම කරදරයි. අපි ෂොක් වෙනව. ජිවිතයේ දිශානතිය වෙනස්වෙනවා. බෙදා හදා ගන්න වෙනවා. ඒක නිසා අපි බැඳීම් වලට බයයි. ආදරය, එහි හැඟීම්කාරකය සහ වින්දනය එහෙම පිටින්ම ගන්නේ නැතුව අපි කැමති එහි විච්ඡේදනය වුනු කොටසක් පමණක් අරගෙන කරදරයක් නැතුව ඉන්න. දැඩිව නොබැඳුණු ආදරයක් හසුරුවාගන්න හරි පහසුයි. අපට කැමති වෙලාවක, කැමති තැනකින් පටන්ගෙන කැමති වෙලාවක ඉවර කරන්න පුළුවන්. ඒක අපේ භෞතික ජීවිත එක්ක ගැටෙන්නේ නෑ.

මම නිතරම කියන මගේ ජනප්‍රිය විහිළුව මෙතනට අදාළ කරගන්න පුළුවන්. සීනි කෑවම ලෙඩ හැදෙනව. ඒක නිසා අපි කැලරි නැති සීනි කාල සීනි කෑමේ ආශාව තෘප්ත කර ගන්නව. මේ වගේ අපට ඇල්කොහොල් නැති බීර, නිකොටින් නැති සිගරට් හමුවෙනවා. ඒ වගේම තමයි සෙක්ස්. සැබෑ ලිංගික තෘප්තිය කියන්නේ ශරීරය සහ මනස තෘප්තිමත් කර‍ගෙන කරන ලොකු ක්‍රියාවලියක්. ඒක බැඳීමක්. ඒ වෙනුවට නිල් චිත්‍රපට වගේ පහසු මාර්ග අපට හමුවෙනව. ඒ වගේම විරුද්ධ ලිංගිකයාගේ අතින්වත් අල්ලන්නේ නැතුව ලිංගික තෘප්තිය විදින්න අපට පුළුවන්. හරියට ආදරයෙන් බැඳෙන්නේ නැතුව ආදරය කරනව වගේ...!
පරිවර්තනය - සරද සමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වන බව මා කල් ඇතිවම දැන සිටියා. ඒකට හේතුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කේන්ද්‍රය ඊට වඩා ප්‍රබල වීමයි. නමුත් මට මේ ටික මහින්ද රාජපක්ෂ මහතාට කියා ගන්න විදිහක් තිබුණේ නැහැ." හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ‘රාජකීය ‍ජ්‍යොතිර්වේදියා’ ලෙස කාගේත් දැන හැඳුනුමට ලක්ව සිටින ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මාධ්‍යයට එසේ පවසා තිබිණ. සැබැවින්ම ඔහුගේ එම ප්‍රකාශය කාගේත් ඇස් උඩ හිඳුවන්නකි. මක්නිසාද යත් 2016 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය 2015 වසරේ පවත්වන ලෙසත් ඒ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රාජ යෝග උච්චතම ස්ථානයට පත්වන ජනවාරි අට වැනිදා බවත් සුමනදාස අබේගුණවර්ධන මහතා මහින්ද රාජපක්ෂ මහතාට කල් ඇතිවම උපදෙස් දී තිබූ බව රටම දන්නා බැවිනි.

නව රජයේ ක්‍රීඩා සහ සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා පිළිගැනීමේ උළෙලක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තවලන්තැන්න ප්‍රදේශයේදී පැවැත්විණ. එය සංවිධානය කොට තිබුණේ තවලන්තැන්න වෙළෙඳ සංගමය මගිනි. එම උත්සවය අමතමින් අමාත්‍යවරයා කළ කතාවෙන් කොටසක් ඔහුගේම වදන්වලින් මෙලෙසිනි.

"රාජපක්ෂ මහත්තයා ගෙදර යැවීමේදී අපි පළමුවෙන්ම ස්තුති කළ යුතු පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි එතුමාගේ කේන්ද්‍රකරු සුමනේ. සුමනේ තමයි අපිට මේ ජයග්‍රහණය ලබා දුන්නේ. මොකද සුමනේ නැත්නම් මේ ජනාධිපතිවරණයත් නෑ. තව අවුරුදු දෙකක් රාජපක්ෂ මහත්තයට ඉන්න තියන කාලෙත් අඩු කරලා සුමනේ මේ රටේ ජනතාවට විශාල ජයග්‍රහණයක් ලබා දුන්නා." මෙසේ කී අමාත්‍යවරයා ඉහත වාක්‍ය කිහිපයට කදිම පසුවදනක් ද ඉදිරිපත් කළේය.

"තෑන්ක් යූ සුමනේ" යනුවෙනි.

මෙවර ජනාධිපතිවරණ සමයේ මෙරට රාජ්‍ය විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ජනාධිපතිවරණය සම්බන්ධ මාධ්‍ය ප්‍රචාරක කටයුතු සිදුකරන ලද්දේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල ප්‍රචාරක මාධ්‍ය ආයතන ලෙස එළිපිටම ක්‍රියාකරමිනි. ස්වාධීන රූපවාහිනිය ඒ අතරින් ද පෙරටුවෙයි. ඒ නිසාම ස්වාධීන රූපවාහිනිය මගින් 2015 ජනපතිවරණය මුල්කොට ගත් ‍ජ්‍යොතිෂ අනාවැකි ඇතුළත් විශේෂ ‘ඇතුළාන්තය’ වැඩසටහනක් පසුගිය දෙසැම්බරයේ ප්‍රචාරය කෙරිණි.

ඒ සඳහා එක්ව සිටි ‍ජ්‍යොතිර්වේදීන් අතරින් ප්‍රමුඛතමයා වූයේ ද සුමනදාස මහතාය. එහිදී ඔහු ප්‍රේක්ෂකයන් හමුවේ සහතික කොට පවසා සිටි විශේෂ අනාවැකියක් විය. එනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙවරක් නොව සිව්වරක්ම මෙරට ජනාධිපති පදවියට පත්වන බවය. එමෙන්ම සුමනදාස මහතා එහිදී පළ කළ අනාවැකියේ විශේෂත්වයක් ද විය. එනම් රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයෙන් ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව මෙන් දස ගුණයක ඡන්ද සංඛ්‍යාවක් 2010 ජනාධිපතිවරණයෙන් ලබාගත්තා සේම එය ද අභිබවන වැඩි ඡන්ද සංඛ්‍යාවක් 2015 ජනාධිපතිවරණයෙන් ඒකාන්ත වශයෙන්ම ලබා ගන්නා බවය. එමෙන්ම ඔහු එම ප්‍රකාශය කරනුයේ මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය නොවැම්බර් 21 සිකුරාදා එවක පැවැති රජයෙන් ඉවත් වී 2015 ජනාධිපතිවරණ ‍පොදු අපේක්ෂක ලෙස දේශපාලන කරලියට පැමිණි පසු බව ද අප අමතක කළ යුතු නැත. මෙවන් තත්ත්වයක් යටතේ මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන බව තමන් කල් ඇතිවම දැන සිටි බවටත් රාජපක්ෂ මහතාට ඒ බව පැවැසීමට බියෙන් පසු වූ බවටත් ඔහු මාධ්‍යයට කළ ප්‍රකාශය කෙතරම් සාවද්‍ය කූට එකක් ද යන්න සිතා බැලීම බුද්ධිමත් ඔබට භාරකරමි.

ජනාධිපතිවරණයෙන් පසු තමන් කලින් කී අනාවැකි පිළිබඳව ආත්ම විවේචනයක් සිදු නොකොට කිතුල් ගහට ගිය මිනිහාගේ කතාවටත් වඩා බොළඳ කතාවක් කීමට තරම් අසරණ තත්ත්වයට පත් වූ මෙම ‘රාජකීය ‍ජ්‍යොතිර්වේදියාගේ’ ‍ජ්‍යොතීර්වේදී ඉතිහාසය ද ඉල ඇදෙන අනාවැකිවලින් පිරී පවතින්නකි.

ඒ බවට දැනට මා සතුව ඇති සාක්ෂි බොහොමයකි. මේ ඉන් සුළු ප්‍රමාණයක් පමණි. අවශ්‍ය විටෙක ඉතිරි සාක්ෂි ද මෙලෙසම ඉදිරිපත් කළ හැක.

2009 වසරේ පෙබරවාරි 08 ඉරිදා සිළුමිණ පත්‍රය සඳහා ඔහු විසින් දෙන ලද සම්මුඛ සාකච්ඡාවක් ද එවැනි ඉල ඇදෙන අනාවැකිවලින් පිරී තිබේ. "ජනාධිපතිතුමාගේ විතරක් ‍නෙවෙයි රටේ කේන්ද්‍රයත් හොඳ වෙලා" යනුවෙන් එහි තුන්වන පිටුවේ පළවන එම සාකච්ඡාවේ කොටස් කිහිපයක් මෙහි එලෙසින්ම උපුටා දක්වමි.

"එස්.බි. දිසානායක මහතාගේ ග්‍රහචාරය කොහොමද?"

"එතුමා මගේ පැරැණිම මිතුරෙක්. නමුත් මගේ සහෝදරයෙක් ඡන්දය ඉල්ලුවත් ඇත්ත කියන්න වෙනවා. එතුමා ඒකාන්ත වශයෙන්ම මධ්‍යම පළාතේ විපක්ෂ නායක ධුරයට පත් වෙනවා. ඒකට කිසිම බාධාවක් මතු වෙන්නේ නෑ."


සුමනදාස මහතා මෙම අනාවැකිය පවසනුයේ එස්.බී. දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී සිටි යුගයේදීය. එහෙත් ඒ වසරේම දෙසැම්බර් මාසයේ ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා එක්වනුයේ ඔහුගේ රජයේ උසස් අධ්‍යාපන අමාත්‍ය පදවිය ද හිමිකර ගනිමිනි. ඒ අනුව සුමනදාස මහතා මොන තරම් ‘අතේරෝල් අනාවැකි’ පළකරන්නෙකුදැයි සිතාගන්නට අපට පුලුවන.

ඉහත සඳහන් සිළුමිණ පත්‍රයේ පළවූ සුමනදාස මහතාගේ තවත් එබඳුම අනාවැකියක් ඔහුගේම වදන්වලින් මෙලෙසිනි.

"මම තව අනාවැකියක් කියන්නම්. ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩිලා ඇවිත් වෙනම පක්ෂයක් හදා ගත්තු විමල් වීරවංශ මහතා මේ රටේ දිගු දේශපාලන ගමනකට මුල පුරනවා. තව මාස හයක් ගත වෙද්දී (2009 අගෝස්තු මාසයේදී පමණ) ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තුනෙන් දෙකක් එහෙමත් නැත්නම් සියයට හැත්තෑපහක් විතර විමල් වීරවංශ මහතා වටා පෙළ ගැහෙනවා."

සුමනදාස මහතා මෙම අනාවැකිය පළකරනුයේ ජනතා විමුක්ති පෙරමුණේ මුල්පෙළේ ක්‍රියාකාරිකයකුව සිටි විමල් වීරවංශ මහතා ඉන් ඉවත් වී 2008 මැයි මාසයේ ජාතික නිදහස් පෙරමුණ නම් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමෙන් මාස අටක් ඇවෑමෙනි. නමුත් සුමනදාස මහතා අනාවැකි පළ කළ අන්දමට ජනතා විමුක්ති පෙරමුණේ බහුතරයක් තබා සුළුතරයක්වත් වාමාංශික දේශපාලනයෙන් සමුගෙන ජාතිවාදී දේශපාලනයකට පිවිසි වීරවංශ මහතා හා දේශපාලන දීගයකට පැමිණියේ නැත.

මෙලෙස දිව හැරෙන හැරෙන පැත්තට මෙබඳු අනාවැකි කීමේ රුසියකු වන සුමනදාස මහතා ප්‍රභාකරන්ගේ ඉරණම සම්බන්ධයෙන් සෘජු අනාවැකියක් පළ නොකළ අතර ඔහු එහිදී පළ කොට ඇත්තේ එකිනෙකට පරස්පර දියාරු අනාවැකි කිහිපයක් පමණි. එමෙන්ම යුද ජයග්‍රහණය පිළිබඳ කාල වකවානුවක් වැනි නිශ්චිත යමක් නොපවසන ඔහු මෙවැන්නක් කියා තිබේ.

"ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදීන් එක්ක ගැටුණත් ලෝකයේ සිටින විනීතම හා දක්ෂතම හමුදාව හැටියටත් අපි ගරු බුහුමන් ලබනවා. ජනාධිපතිතුමා එක්කම සරත් ෆොන්සේකා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුනුත් ලෝක ඉතිහාසයේ කැපී පෙනෙන චරිත බවට පත් වෙනවා. ඒක වළක්වන්නත් කාටවත් කුමන බලවේගයකටවත් බැහැයි කියන කාරණයත් මම ඒකාන්ත වශයෙන් කියනවා."

එහෙත් ඔහු මෙම අනාවැකිය 2009 මැයි මාසයේ යුද්ධය නිමා වූ දිනවලම තම හිත මිතුරු මහින්ද රාජපක්ෂ මහතා හා කීයේ නම් ජනරාල් සරත් ෆොන්සේකාගේ පසුගිය අමිහිරි කාලපරිච්ජේදය ඊට වඩා යහපත් වීමට ඉඩ තිබිණ.

මේ අතර මෙම රාජකීය ‍දෛවඥයා දේශපාලන අනාවැකිවලින් බැහැර අපේ රට සම්බන්ධ තවත් ප්‍රබල අනාවැකියක් ද එම පුවත්පත මගින්ම ඉදිරිපත් කොට ඇත.

ඒ ගත වූ එක්තරා කාලසීමාවක් තුළ අපේ රටේ උතුරු මැද පළාතෙන් පවා මැණික් ලැබිමේ විස්මිත ප්‍රවණතාවක් පිළිබඳවය. ඒ අනාවැකිය ඔහුගේම වදන්වලින් මෙලෙසිනි.

"2010 මැයි 02 දාත් 2011 මැයි 07 දාත් අතර කාලයේදී මේ රටේ භූමියෙන් මහා ධන නිධාන පහළ වෙනවා. ශ්‍රී ලංකා කුම්භ ලග්න ජන්ම පත්‍රයේ ධනස්ථානය ගැන කියැවෙන දෙවැන්නට ගුරු ග්‍රහයා පැමිණෙනවා. මේක මහා බලගතු යෝගයක්. සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාතේත්, උතුරු මැද පළාතේ එක්තරා තීරුවකත් ලෝකයේ දුර්ලභ, ඉතාම මිල අධික මැණික් සහිත ඉල්ලම් මතු වෙන්න ගන්නවා. සූදානමින් ඉන්න. මැණික්වලින් මහා ධනයක් උපයන්න පුළුවන් කාලයක් උදා වෙනවා." එහෙත් ඔහුගේ මෙම අනාවැකිය ද ‘අතේ රෝලකි‘. එම කාල සීමාව තුළ උතුරු මැද පළාතෙන් තබා සබරගමුවෙන්වත් එලෙස විශේෂිත මැණික් ඉල්ලම් පෑදීමක් පිළිබඳ කිසිදු තොරතුරක් නැත.

රාජකීය ‍ජ්‍යොතිර්වේදියා ලෙස සැලකෙන සුමනදාස මහතා පසුගිය කාලයේ පළ කළ අනාවැකි අතුරින් සුපිරිම විහිළුව වනුයේ කරු ජයසූරිය මහතාගේ දේශපාලන අනාගතය සම්බන්ධ අනාවැකියයි. ඉහත සඳහන් සිළුමිණ පත්‍රයේ ඒ සම්බන්ධ කොටස මෙලෙසිනි.

"සුප්‍රකට චරිත බොහොමයක කේන්ද්‍ර පිටපත් ඔබ ළඟ තිබෙන බව ඔබ කියනවා. කරු ජයසූරිය මහතාගේ කේන්ද්‍ර කොපියක් නැද්ද?"

"ජ්‍යොතිෂය පැත්තෙන් අපි දකින හැම දේම වග විභාගයක් නැතිව කියන එක ආචාරධර්ම විරෝධියි. විශේෂයෙන්ම ප්‍රකට පුද්ගලයන්ගේ ග්‍රහ බලපෑම් දුර්වල වෙන කොට ඒවා ඒ විදිහටම ප්‍රසිද්ධ කරන්න හොඳ නෑ."


එසේ පවසන සුමනදාස මහතා ඒ සමගම මුල පුරනුයේ ද ඒ ආචාර විරෝධී ක්‍රියාවටමය. ඒ අනුව වුව නමේ මුල කොටසින් 'සුමන' යනුවෙන් හැදින්වෙන ඔහු කෙතරම් 'අමනයකුදැයි' සිතාගන්නට අපට පුලුවන. ඔහුගේ ඒ අනාවැකිය මෙලෙසිනි.

"පසුගිය දෙසැම්බර් 09 දා රාත්‍රී 11.51ට ගුරු නීච වුණා. නිලතල බලය තනතුරු ලබා දෙන්නේ ගුරු ග්‍රහයායි. ඒ ගුරු මාරුවෙන් පස්සේ කරු ජයසූරිය මහතා ස්ව කැමැත්තෙන්ම ඇමැති ධුරය අත හැරියා. ජයග්‍රාහී පක්ෂයේ සිට පරාජිත පක්ෂයට ස්ව කැමැත්තෙන්ම ගියා. තවදුරටත් රාජ්‍ය පදවි තානාන්තර දරන්න එතුමාට වාසනාව නෑ. එතුමා නැවත කිසි දිනක මේ රටේ ඇමැති ධුරයක් දරන්නේ නෑ. රාජ්‍ය ගෞරව, රාජ්‍ය නිලතල ලබා දුන් ග්‍රහයෝගය අවසානයි. කරු ජයසූරිය මහතා තව බොහෝ කාලයක් දේශපාලනයේ ක්‍රියාකාරී වුණත් ඔහු කවදාවත් ඇමැති මණ්ඩලයක සාමාජිකයෙක් බවට පත් වෙන්නේ නෑ."

සුමනදාස මහතා පවසනුයේ මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත ශක්තිමත් කිරීමටයයි පවසමින් එ.ජා.ප.ය හැරදා එක්සත් ජනතා නිදහස් සන්ධානයට පැමිණ එහි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ඇමැති පදවිය ද හෙබවූ කරු ජයසූරිය මහතා 2008 දෙසැම්බර් 09 වනදා යළි එ.ජා.ප.යට එක්වූ පසුබිමකය.

කරු ජයසූරිය මහතා නැවත මේ රටේ කවදාවත්ම ඇමැති ධුරයකට පත් වෙන්නේ නැති බව ඔබට ස්ථිරවම කිවහැකිද?

‘සිළුමිණ’ මාධ්‍යවේදියා සුමනදාස මහතාගෙන් අසයි. එවිට ඔහු දෙන්නේ මෙවන් ‘අමන’ පිළිතුරකි.

"ඒකාන්තයෙන්ම ඔව්."

"කවදාවත්ම එතුමා නැවත ඇමැති ධුරයකට පත්වෙන්නේ නෑ. ඒක එතුමාගේ ප්‍රශ්නයක් ‍නෙවෙයි. ඒ තමා ග්‍රහචාරයේ හිමි ස්වභාවය. 2008 දෙසැම්බර් මාසයේ 09 වැනිදා රාත්‍රී 11.51න් පසුව එතුමාගේ රාජ යෝගය අවසාන වුණා. මේ ප්‍රකාශය මම කරන්නේ කරු ජයසූරිය මහතාගේ කේන්ද්‍රය ගැන මනා අවබෝධයක් ඇති කෙනෙක් හැටියටයි. එතුමා ඉතාම හොඳ මහත්මයෙක්. චරිතවත් කෙනෙක්. නමුත් කියන්න තියෙන තිත්ත ඇත්ත ඕකයි."

‍"ජ්‍යොතිෂයේ කියැවෙන ග්‍රහචාර, ග්‍රහ අපල, වෙනස් කර ගන්න බැරිද?"

ඒ ‘සිළුමිණෙ’න් නැගෙන ඊළඟ පැනයයි. ඊට සුමනදාස මහතා දෙන පිළිතුර කොතරම් හාස්‍යජනකදැයි විමසා බලන්න.

"පුළුවන්. එහෙම වෙනස් කර ගන්න පුළුවන් ග්‍රහ යෙදුම් තියෙනවා. ඒ කියන්නේ ග්‍රහචාරය ‍නෙවෙයි. ඒ ග්‍රහවාරයෙන් තමන්ට එල්ල වෙන පීඩාව, අපල අවම කර ගන්න විවිධ, ක්‍රම තියෙනවා. ඒ වගේම කිසිසේත්ම බලපෑම් වෙනස් කරන්න බැරි ග්‍රහචාරත් තියෙනවා. කරු ජයසූරිය මහතා අයත් වෙන්නේ මේ දෙවැනි අවස්ථාවටයි. මම නැවත කියනවා 2008 දෙසැම්බර් 09 දා රාත්‍රී 11.51 න් පස්සේ කරු ජයසූරිය මහතාගේ රාජයෝගය ප්‍රබල ග්‍රහ පිහිටීම අහෝසි වුණා."

ඒ කෙසේ හෝ මෙවර ජනපතිවරණයත් සමග මේ රාජකීය ‍ජ්‍යොතීර්වේදියාට ග්‍රහ තරු නොවන ‘දවල් තරු’ පෙන්වමින් වත්මන් රජයේ බුද්ධශාසන අමාත්‍ය පදවිය හිමිකර ගැනීමට කරු ජයසූරිය මහතා සමත්ව තිබේ. ඒ අනුව බලවත් රාජයෝග රැසකින් සමන්විත බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියමිත ධුර කාලය නිමා වීමටත් පෙර බලයෙන් පහකොට ගෙදර යැවූ සුමනදාස මහතා වෙනස් කළ නොහැකි බෙලහීන ග්‍රහපිහිටීම් රැසකට හිමිකම් කී කරු ජයසූරිය මහතා මුල් පෙළේ අමාත්‍ය පුටුවක හිඳගනු බලා මින්පසු තමන්ට ගමන් බිමන් යාමට ඇඳුම් පැළඳුම් අවශ්‍ය නොවන බවට තීරණය කළහොත් එම සිතිවිල්ලේ ද කිසිදු අසාධාරණයක් නැතැයි මට සිතේ. එමෙන්ම මෙම රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධනයන්ගේ ‍ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ විශ්වසනීයත්වය කෙසේ වෙතත් එය මින් ඉදිරියට සකල හුදී ජනයා හට සතුට දැනවිය හැකි විනෝදාස්වාද මාධ්‍යයක් ලෙස යොදා ගැනීමේ නම් සුපිරි හැකියාවක් පවතිනු ඒකාන්තය.

තිලක් සේනාසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



යහපාලන ආණ්ඩුව මේ දිනවල බොහෝ ව්‍යාපෘතිවල කාර්යබහුල වී සිටියි. ලංකාවේ පෙකණිවැල චීනයෙන් ගලවා ඇමරිකාවේ කඳවුරට දැඩිව සවිකිරීමේ ව්‍යාපෘතියේ සිට දුෂණයේ ෆයිල් මතින් මීලග මැතිවරණයට අවශ්‍ය භුමිය සකස්කරගැනීමේ මාධ්‍ය සංදර්ශන මෙන්ම අවස්ථාවාදී හා පුද්ගලවාදී ව්‍යාපෘති ද මේ අතර වේ. මේවා අතර අලුත්ම ව්‍යාපෘතිය වන්නේ කුමාර් ගුණරත්නම් මහතාව යලිත් පිටුවහල් කොට අත්දෙක පිහදාගැනීමේ ව්‍යාපෘතියයි.

මෙත්‍රී ආණ්ඩුවේ සිටින්නේ ඊයේ පෙරේදා ඉපදුනු පුංචි බබාලා නොවේ. මීට කලින් මරාගේ ආණ්ඩුවේ නම් සිටියේ පොළවේ පස් කා ජිවත්වන, පොළවේ ඇතුලේ මිස මහපොළවේ සිදුවන කිසිවක් ගැන සංවේදී නැති භුමි පුත්‍රයන් පිරිසකි. මේ භුමි පුත්‍රයන්ගේ රාජ උදහසට පත්වුණු සහ පත්වීමට නියමිතව සිටි මිනිසුන් සැඟවී පලාගිය බව රහසක් නොවේ. පසුගිය කාලයේ දේශපාලන හේතු නිසා රටෙන් පිටුවහල් වීමට හෝ පිටුවහල් කිරීමට මුහුණදුන් මිනිසුන් හා ගැහැනුන් යලිත් සියරටට පැමිණ දේශපාලනය කිරීම හෝ තමන් කැමති දෙයක් කිරීම යහ පාලනයේ නිම් වළලු පුළුල් වීමක් නොවේද?

කුමාර් මහතා පලායනවිට ඔහුට බැසිල් රාජපක්ෂ මෙන් ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය පාවිච්චි කිරීමට "අමතක" උනා වියහැක. සෝමවංශ අමරසිංහ සහෝදරයාට මෙන් පලායාම නියමාකාරයෙන් සංවිධානය කරගැනීමට "ඇමති නෑයන්" නොසිටියා විය හැකිය. එනිසා කෙසේ හෝ රටින් පලාගොස් ජීවිතය බේරාගත් කුමාර් ගුණරත්නම් නම් ශ්‍රී ලංකාවේ පුරවැසියා යලිත් සියරටට පැමිණ සිටී. දැන් ඔහු යහපාලන ආන්ඩුවෙ ගැඹුර පරික්ෂා කරමින් සිටියි. යහපාලනය යනු ප්‍රතිසංස්කරණවාදී පාලන ක්‍රියාවලියක්ද නැතහොත් නිශ්චිත මිනිසුන් පිරිසකගේ තවත් එක දේශපාලන උපක්‍රමයක් ද යන්න අනාගතය විසින් තීරණය කරනු ලබන්නේ මෙවැනි හුදකලා සිද්ධි මගිනි.

වාසනාවකට හෝ අවාසනාවකට ඉතිහාසය ගමන් කරන්නේ ඉරක් දිගේ කෙලින් නොව රවුමක් දිගේය. ඉස්සර මෙන් නොව දැන් මෙම රවුමේ පරිධිය කුඩාවී ඉතිහාසය ඉතා ඉක්මනින් අප ඉදිරියේ පොලා පනියි. නොදුරු අතීතයේ ජේ.වී.පී. සහෝදරයින් චන්ද්‍රිකා සමග දීග කද්දී හා මරා සමග භුමියේ පස් කද්දී, දැන් යහපාලනයේ නියමුවෙක් වූ රාජිත සේනාරත්න විපක්ෂයේ සිට සතිපතා හඬ නැගුවේ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් 89 භීෂණ යුගයේ රටින් පිටවු සෝමවංශ අමරසිංහ අත්අඩංගුවට ගත යුතු බවයි. එහෙත් ජේ.වී.පී. සහෝදරවරු එදා ආණ්ඩුවේ න්‍යෂ්ටිය තුල සිටිය නිසා නීතිය නිහඬ විය. එහෙත් අද රාජිත මෙන්ම ජේ.වී.පී. සහෝදරවරුද යහපාලන න්‍යෂ්ටිය තුල සිටින නිසා සෝමවංශට එරෙහි නීතිය නිහඬ වී කුමාර්ට එරෙහි නිතිය බලගැන්වී ඇත. මේ විකුණන්නේ දේශපාලන කුහකකම නොවේද?

කුමාර් ලංකාවේ සිටියොත් ඔහු කොටුවේ පාවෙන වෙලදපොලේ විසිතුරු බඩු කඩයක් දමාගෙන සිටින්නේ නැත. ඔහු ලංකාව තුල දේශපාලනය කිරීමට තීරණය කර ඇත. ඔහුගේ දේශපාලනය පාර්ලිමේන්තුව සුද්ධ පවිත්‍ර කරගෙන සමාජ ප්‍රතිසංස්කරණවාදය සහ විප්ලවවාදී හොල්මන් අතර දෝලනය වන ජනප්‍රියවාදී දේශපාලකයක් නොවේ. ඔහු විශ්වාස කරන දේශපාලනය කිරීමට හා ඒ වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය හා සංවිධානය කිරීමේ අයිතිය නිසා බිය වී සිටින්නේ කවුද?

සමාජයක් කෙතරම් පොහොසත් දැයි පරික්ෂා කිරීමට කදිම ලිට්මස් පරීක්ෂාවක් වන්නේ විවිධ සමාජ මතධාරීන්ට එම සමාජය තුල ඇති නිදහසයි. දෙමළාගේ අයිතිවාසිකම් ගැන කතාකිරීම පවා හතරවන තට්ටුවට දක්කාගෙන ගොස් ත්‍රස්‌තවාදී සයනයිඩ් කරල එල්ලු යුගයක් පසුකරගෙන විත් අපේ සමාජය දැන් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ තිබේ. යහපාලන පහන මුලින්ම දැල්වුවේ දේශපාලකයන් නොවේ. රට ගැන ආදරය කරන සිවිල් මිනිසුන් පිරිසක් යහපාලනය ගැන කථා කරද්දී බොහෝ දේශපාලකයන් සිටියේ තමාගේ අජෙන්ඩා වල හිරවෙලාය. පසුව දේශපාලකයින් ඊට ප්ලග් වීම වෙනම කාරණයකි. සමාජය වෙනුවෙන් වෙහෙසෙන මිනිසෙකුගේ තම මවුබිම තුල ජීවත්වීමේ අයිතිය අහිමි වන විට පක්ෂ අජෙන්ඩා නැති පළල් මිනිසුන්ට ඒ වෙනුවෙන් කථා කිරීමට යහපාලන ඉතිහාසය විසින් පවරා ඇති වගකීමක් නැත්ද?

ඉතිහාසය කැරකෙන්නේ රවුමක් වටය. හදිස්සියේ ඇතිවෙන දේශපාලන තත්ත්ව තුල ආරක්ෂිත බංකර සාදාගැනීමට උත්සාහ කරන මිනිසුන්ට කීමට ඇත්තේ ඔබ අත්දෙක පිසදාගෙන සුරක්ෂිතව නිදාගෙන සිටින විට "සැබෑ ඇත්ත" ඔබේ පිටුපස දොරට තට්ටුකරන දිනය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වගය.

Image- Ceylon Today

සරද සමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



2015, පෙබරවාරි 12 වැනිදා සවස 4.00Triumph of the Will වාර්තා සිනමාපටය ශ්‍රී ලංකා පදනමේදී ප්‍රදර්ශනය කෙරේ. "ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණය කියවීම" මැයෙන් වන සංවාදයේ මුඛ්‍ය අදහස් දැක්වීම ගාමිණී වේරගමගෙනි.

ශ්‍රී ලංකා පදනමේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය මගින් සංවිධානය කරනු ලබන මෙම සිනමා රසවින්දන වැඩසටහන යටතේ පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙයි.

සෑම මසකම,
පළමු බ්‍රහස්පතින්දා- ප.ව. 4:00- කියවන කවය
දෙවන බ්‍රහස්පතින්දා- ප.ව. 4:00- වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය හා සංවාදය
සිව්වන බ්‍රහස්පතින්දා- ප.ව. 4:00- චිත්‍රපට ප්‍රදර්ශනය හා සංවාදය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සංස්කෘතික විමුක්ති ගිවිසුම (CCL කණ්ඩායම) සංවිධානය කරන සාහිත මධු සාදය- මහජන සම්භාෂණයෙන්, පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනයේදී ‘ජාතිකවාදී මෛත‍්‍රියට එරෙහිව විශ්වීය පුරවැසියෙකුගේ සිහිනය’ යන මැයෙන් රාජගිරිය, පාක් ලේන් හි අංක 1003/4 ස්ථානයේ පිහිටි ‘ත‍්‍රිකෝණි’ සංස්කෘතික මධ්‍යස්ථානයේදී සාකච්ඡා වන්නේ රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සංස්කෘතික දේශපාලන පුනර් ජීවන ව්‍යාපාරය පිළිබඳවයි.

තාගෝර්ගේ ගෝරා ඇතුළු චාරුලතා, තැපැල් මහත්තයා, කබුලිවාලා මෙන්ම එරික් ඉලයප්ආරච්චිගේ ‘තාගෝර්-ආදරවන්තයාගේ කතිකාව’ නමැති වියමන ද මෙහිදී කියවීමට ලක් කරන අතර සුනිල් විජේසිරිවර්ධන, ධර්මසිරි පතිරාජ, අශෝක හඳගම, සීතා රංජනී, එස්.ජී. පුංචිහේවා, අනෝමා රාජකරුණා, හිනිඳුම සුනිල් සෙනෙවි සහ විදර්ශන කන්නන්ගර ඇතුළු සංවාද මණ්ඩපය විසින් එදින සවස 4.30 ට තාගෝර්ගේ සංස්කෘතික ප‍්‍රතිසංස්කරණ හා බෙංගාල පුනරුදය ගැන අදහස් පළකිරීමට නියමිත ය. නදීකා බණ්ඩාර විසින් මෙහෙයවනු ලබන මෙම සංවාද මණ්ඩපය තාගෝර්ගේ ගීතාංජලී කාව්‍යයේ එන ගී කවි කිහිපයක් ගායනා කරමින් රසාලිප්ත කරනුයේ චන්ද්‍රසෝම බිංදුහේවා විසිනි.

එදින ප.ව. 1:00ට තාගෝර්ගේ සාහිත්‍ය කෘතියක් පදනම් කොට ගෙන සත්‍යජිත් රායි විසින් නිර්මාණය කළ ‘ඝරේ බායිරේ’ (Home and the world) සිනමා කෘතිය ප‍්‍රදර්ශනය කෙරෙයි.

විමසීම්- 0712667592, 0715971183



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


[newstatement.com වෙබ් අඩවියේ පළ වූ Slavoj Žižek on the Charlie Hebdo massacre: Are the worst really full of passionate intensity? ලිපියේ පරිවර්තනයකි.]

දැන්, අපි සියල්ල ෂා(ර්)ලි එබ්දෝ සමූලඝාතනයෙන් පසුව මහත් වූ කම්පනයකින් පසුවන මොහොත, ධෛර්යය එකතු කර සිතීමට අවස්ථාවක් කරගත යුතු ය. අපි පැහැදිලිව මෙම ඝාතනයන් අපේ නිදහසේ හරයන් කරා එල්ල කර පහරදීම් බවට හෙලාදැකිය යුතු ය සහ කිසිදු අභ්‍යන්තර විරෝධාකල්පයකින් ("ඒ වුනත් ෂා(ර්)ලි එබ්දෝ මුස්ලිම්වරුනට ඕනෑවට වඩා අපහාස කලා, කුපිත කලා" ආදී වශයෙන්) තොරව හෙලා දැකිය යුතු ය. එහෙත් මෙසේ එකාවන් ව ශෝක වීම ප්‍රමාණවත් නැත, අප තවදුරටත් සිතිය යුතු ය.

ඒ සිතීම කෙසේවත් මේ අවරගණයේ අපරාධය සාපේක්ෂකරණයක් නොවේ. ("බටහිර ලෝකයේ අපි, තෙවන ලෝකයේ භයානක සමූලඝාතනයන් වලට වගකිව යුතු අපි, මෙවන් ක්‍රියාවන් හෙලාදකින්නේ කෙසේ ද?" යන මන්ත්‍රය) බොහෝ බටහිර ලිබරල් වාමාංශිකයින්ගේ ඉස්ලාමාෆෝබියාකාරයෙකු (ඉස්ලාමය පිළිබඳ ඇති භීතිකාවක් ඇත්තෙකු) වීමට ඇති බියට ද මේ සිතීම සම්බන්ධයෙන් කළ හැකි කිසිවක් නැත. මෙවන් ව්‍යාජ වාමාංශිකයින්ට අනුව ඉස්ලාමය පිළිබඳ ඕනෑම විවේචනයක් බටහිර ඉස්ලාමාෆෝබියාවේ ප්‍රකාශනයක් ලෙස චෝදනා ලබති; සල්මන් රෂ්ඩි ඕනෑවට වඩා මුස්ලිම්වරුන් කුපිතකරවන බවට චෝදනා එල්ල විය සහ එම නිසා (පාර්ශ්වික හෝ අවම වශයෙන්) ඔහුට මරණ දඬුවම දීමට ෆට්වා (ඉස්ලාම් පාලන ක්‍රමය) තීරණය කිරීම ගැන වගකිව යුතු ය. මෙයාකාර සිදුවීම් හමුවේ මෙවන් ස්ථාවරයක් ගැනීමෙන් අපේක්ෂා කළ හැකි ප්‍රථිපලය: බටහිර වාමාංශිකයා සිය වරදකාරී හැඟීම තුළට වඩ වඩා ගිලී යත් ම ඔවූහු වඩ වඩා ඉස්ලාම් මූලධර්මවාදීන්ගෙන් චෝදනා ලබන්නේ ඉස්ලාමය පිළිබඳ වෛරය සඟවාගත් කුහකයන් පිරිසක් ලෙස ය. මෙම වින්‍යාසය විසින් ප්‍රතිනිර්මාණය කරන්නේ සුපර් ඊගෝව පිළිබඳ විසංවාදයයි: ඔබ වඩ වඩා අනෙකාගේ ඉල්ලීමට හිස නමන සහ කීකරු වන විට, ඔබ තව තවත් වරදකාරී හැඟීමෙන් පෙළෙනු ලබයි. එය ඔබ වඩ වඩා ඉස්ලාමය ඉවසා සිටී ද ඔබ වඩ වඩා පීඩනයට වේය යන ආකාරයේ අදහසකි.

එම නිසාම ය මම මධ්‍යස්ථතාවයක් ඉල්ලා සිටින සයිමන් ජෙන්කින්ස්ගේ ප්‍රකාශය ('ගාර්ඩියන්' ජනවාරි 7) "අපේ කාර්යය විය යුත්තේ කලබල නොවී සිටීම ය, ඕනෑවට වඩා ප්‍රසිද්ධියක් නොදී සිටීම ය, සියල්ල හුදෙක් සිදුවී අවසන් ව යන භයානක සහ අවාසනාවන්ත සිදුවීම් පමණක් ය සැලකීමය" යන්න ප්‍රමාණවත් නැතැයි සලකන්නේ - ෂා(ර්)ලි එබ්දෝ වෙත එල්ල කල ප්‍රහාරය හුදෙක් එක් "සිදුවී අවසන්ව යන භයානක සහ අවාසනාවන්ත" සිදුවීමක් නොවේ. එය නිශ්චිත ආගමික සහ දේශපාලනික න්‍යායපත්‍රයකට අනුව සහ එය විශාල රටාවක කුඩා කොටසක් ලෙස සිදු විය. ඇත්ත, අපි කලබල විය යුතු නෑ, ඒ මෙමගින් අන්ධ ඉස්ලාමෝෆෝබියාවට යට වීමක් සිදුවන නිසා - නමුත් අපි අනුකම්පාවිරහිතව මෙම රටාව විශ්ලේෂණය කළ යුතු ය.

වඩා මූලික අවශ්‍යතාවය වනුයේ ත්‍රස්තවාදීන් යක්ෂකරණය කිරීම හෙවත් ඔවුන්ට ආත්මඝාතක, අන්ධභක්තික වීරත්වයක් ආරෝපණය කිරීම නොව එම යක්ෂකරණයේ මායාව හෙළිදරව් කිරීමයි. කලකට ඉහත ෆ්‍රෙඩ්‍රික් නීට්ෂේ බටහිර ශිෂ්ටාචාරය අවසාන මිනිසා (Last Man) කරා ගමන් කරන ආකාරය දුටුවේය, අවසාන මිනිසා උදාසීන අශාවක් හෝ බැඳීමක් නැති අයෙකි. සිහින දැකීමට නොහැකි, ජීවිතය ගැන වෙහෙසට පත් වුණු ඔහු, අවදානමක් ගන්නේ නැත, සොයන්නේ සැපපහසුව සහ ආරක්ෂාව පමණි, ඔවුන්ගේ දරාගැනීමේ හැකියාව පිළිබඳ ප්‍රකාශනය: "දිනපතා වස බිඳ බිඳ, සුව සිහින සඳහා. අවසානයේ දී වස ටිකක් වැඩිපුර, සුවබර මරණයක් උදෙසා. කුඩා කුඩා සතුටුදායක විඳීම් තියෙනව දවල්ට, කුඩා කුඩා සතුටුදායක මොහොතවල් තියෙනව රෑට, නමුත් සෞඛ්‍ය තත්ත්වය ගැනත් සැලකිලිමත්. 'අපි සතුට සොයා ගතිමු' අවසන් මිනිස්සු කියති, විස්මය පළකරති."

නිදහස් පළමු ලෝකය සහ එයට ඇති මූලධර්මවාදී ප්‍රතිචාරය වැටී ඇත්තේ භෞතික සම්පත් සහිත දීර්ඝ තෘප්තකර ජීවිතයක් සහ සංස්කෘතික ධනයක් අතර නොව ඊට ප්‍රතිපක්ෂ සහ උත්තරීතර හේතුවකට හෝ බලවේගයකට සිය ජීවිතය කැප කරන මගක ය. මෙම විරෝධාකල්පික ස්ථානය ඇත්තේ නීට්ෂේ පවසන ආකාරයට "සක්‍රීය" සහ "අක්‍රීය" නාස්තිකවාදය අතර නොවේ ද? මුස්ලිම් රැඩිකල්වාදීන් සියළු දේ කැපකිරීමට සූදානම් වන විට, ස්වයං විනාශයක් දක්වා අරගලයකට මැදිහත් වී සිටින විට, බටහිර අපි එදිනෙදා මුග්ධ සැපයන් තුළ නිමග්න ව සිටින නීට්ෂියානු අවසන් මිනිස්සු වෙමු. විලියම් බට්ලර් යීට්ස්ගේ "පුනරාගමනය" (Second Coming) අපේ මේ අභාග්‍යසම්පන්න තත්ත්වය මැනවින් විදහා පායි. "හොඳ මිනිසා සාධාරණීකරණය නොකරයි නිහඬ ය, නරක මිනිසා සාධාරණීකරණය කරයි ආවේගශීලී ය." මෙය උදාසීන ලිබරල්වාදීන් සහ කලහකාරී මූලධර්මවාදීන් අතර අද්‍යතන වෙනස විශිෂ්ට ලෙස පැහැදිලි කරයි. "හොඳ මිනිසා" කරලියට ඒමට සමත් නොවන අතර "නරක මිනිසා" ජාතිවාදී, ආගම්වාදී, ලිංගබේදී අන්තවාදයක නියුතු වෙයි.


Slavoj Žižek

කෙසේ හෝ ත්‍රස්තවාදී මූලධර්මවාදීන් මෙම නිර්වචනය තුළට හසු වනවා ද? ඔවුන් සියළු සැබෑ මූලධර්මවාදීන්ගේ, ටිබෙට් බෞද්ධයින්ගේ සිට එක්සත් ජනපදයේ අමීෂ් දක්වා, ඇති ලක්ෂණයක අඩුවකින් පෙලෙන බව සොයාගත හැක: ඒ සිය මතවාදයන් විශ්වාස නොකරන පිරිස කෙරෙහි ප්‍රතිවිරෝධතාවයක් හෝ ඊර්ෂ්‍යාවක් නොදැක්වීම ය, ඔවුන්ගේ ජීවන ක්‍රමය ගැන ගැඹුරු උදාසීන සහ මධ්‍යස්ථ ඇසකින් බැලීම ය. අද ඒ මූලධර්මවාදීහු තමන් විසින් සැබෑ සත්‍යය සොයාගත්තේ ය යන්න විශ්වාස කරන්නේ නම්, ඔවුන් අවිශ්වාස කරන්නන් හමුවේ තර්ජනයකට මුහුණ පා ඇතැයි සිතන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ ඇයි? බෞද්ධයෙක් බටහිර සතුට සිය ජීවිතයේ මූලික අරමුණ කරගත් සුඛපරමවාදියෙකු හමුවේ කරුණාවෙන් සහ අනුකම්පාවෙන් යුතුව ප්‍රකාශකරන්නේ සුඛපරමවාදියාගේ සතුට සොයා යන ගමන හුදෙක් ස්වයං-අවරෝධක එනම් අරමුණෙන් ඉවතට යොමු කරන ගමනක් පමණක් බවයි. මේ සැබෑ මූලධර්මවාදීන්ට ප්‍රතිපක්ෂව, ත්‍රස්තවාදී ව්‍යාජ-මූලධර්මවාදීහු සිය මතවාද අවිශ්වාස කරන්නන්ගේ පාපකාරී ජීවිතය ගැන දැඩිව කලබල වී, කුතුහලයෙන් පෙළෙමින් වශී වී ඇත. පාපකාරී අනෙකා සමග සටන් කිරීම යනු තමාගේ අභ්‍යන්තරයේ ඇති වරදකාරී අශාවන් සහ පෙළඹවීම් සමග ස්වයං අරගලයක නියුතු වීම බව කෙනෙකුට සිතිය හැක.

යීට්ස්ගේ විනිශ්චය වර්තමාන අභාග්‍යසම්පන්න තත්ත්වය හමුවේ අසමත් වන්නෙ මෙහිදී ය: ත්‍රස්තවාදීන්ගේ ආවේගශීලීබව ඔවුන් සිය දෘඩ මතවාදයන් සත්‍යේක්ෂණය කරගැනීමට අසමත් වීම පිළිබඳ සාක්ෂි දරයි. සතිපතා පළවන විකට පුවත්පතක පළවන කාටූනයක් තමන්ට තර්ජනයක් ලෙස හැඟෙන මුස්ලිම් පුද්ගලයාගේ විශ්වාසයන් කෙතරම් දුර්වල විය යුතු ද? මූලධර්මවාදී ඉස්ලාමික භීතිය ඔවුන්ගේ උත්තරීතරත්වය පිළිබඳ ආන්තික විශ්වාසය තුළ හෝ ඔවුන්ගේ සංස්කෘතික-ආගමික අනන්‍යතාවය ගෝලීය පරිභෝජකවාදී ශිෂ්ටාචාරයෙන් බේරා ගැනීම තුළ හෝ මුල් බැසගෙන නැත. මූලධර්මවාදීන්ගේ ප්‍රශ්නය අප ඔවුන්ව පහත් කොට සැලකීම නොවේ, ඊට වඩා, ඔවුන් තමන් පහත් යැයි රහසිගතව සලකාගැනීමය. දේශපාලනික වශයෙන් නිරවද්‍යය සපථකිරීමක් වන අපි ඔබ ඉදිරියේ උත්තරීතරත්වයක් පෙන්වන්නේ නැත ය යන්න පැසුණු බුද්ධියක් පල කරමින් ඉදිරිපත් කිරීම හමුයේ ඔවුන් වඩාත් දරුණු වන්නටත් ඔවුන්ගේ විරෝධයට වර්ධනය වීමටත් හේතු වන්නේ මේ තත්ත්වයයි. ප්‍රශ්නය සංස්කෘතික වෙනස්කම් නොවේ (සිය අනන්‍යතාවය ආරක්ෂාකර ගැනීම සඳහා වූ), නමුත් ඊට ප්‍රතිවිරුද්ධ කාරණය නම් මූලධර්මවාදීන් ද අප වැනි ය, කෙසේද යත්, ඔවූහු අපගේ මිනුම් දඬු සහ සම්මතයන් ඔවුන් තුළට එන්නත් කරගෙන ඇත. විසංවාදය වනුයේ, මූලධර්මවාදීන් තුළ නැත්තේ ඔවුන් තුළ ඔවුන්ගේ උත්තරීතරබව පිළිබඳ සත්‍ය 'ජාතිවාදී' විනිශ්චයක් සහ විශ්වාසයක් නැති වීම ය.

මුස්ලීම් මූලධර්මවාදය තුළ මෑතක දී සිදු වූ සිදුවීම් ස්ඵුට කර සිටින්නේ වෝල්ටර් බෙන්ජමින්ගේ ප්‍රකාශයක් වන "ෆැසිස්ට්වාදයේ නැගී සිටීමක් ම අසාර්ථක වූ විප්ලවයක් පිළිබඳ සාක්ෂි දරයි": ෆැසිස්ට්වාදයේ නැගී සිටීම වමේ පරාජයකි, නමුත් ඊට සමගාමී ව එහි විප්ලවයක විභව්‍යතාවයක්, අතෘප්තියක් පැවතුණු බව සහ වම එයට නිසි පියවරක් ගැනීමට අපොහොසත් වූ බව පැහැදිලි ය. අද ඇති ඉස්ලාමා-ෆැසිස්ට්වාදයට මේ කතාව ආදේශ කල හැකි නොවේ ද? රැඩිකල් ඉස්ලාම්වාදයේ නැගී සිටීම මුස්ලිම් රටවල අනාගමික වමේ අතුරුදන්වී යාම අතර සහසම්බන්ධයක් නැති ද? 2009 වසන්ත කාලයේ, තලිබාන්වරු, පකිස්තානයේ ස්වැට් නිම්නය අල්ලාගෙන සිටි කාලයේ දී, නිව්යෝක් ටයිම්ස් පුවත්පත එය වාර්තා කලේ ඔවුන් "ධනවත් ඉඩම්හිමියන්ගේ කුඩා කණ්ඩායම් ඉඩම් අහිමි අඳ ගොවීන් අතර ඇති ගැඹුරු නොගැලපීම් වලින් අයුතු ප්‍රයෝජනගත් පංති අරගලයක්" නිර්මාණය කළ බව ය. ඒත්, කෙසේ හෝ, ගොවීන්ගේ අසහනකාරී තත්ත්වයෙන් "අයුතු ප්‍රයෝජන" ගනිමින්, පකිස්තානයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහ ඇමරිකාවට එම අසහනකාරී තත්ත්වයෙන් "අයුතු ප්‍රයෝජන" ගෙන ඉඩම් අහිමි අඳ ගොවීන්ට සහනයක් වීමට ඉඩ නොතබනු පිණිස, තලිබාන්වරු "වැඩවසම් ක්‍රමය විශාල වශයෙන් ඉතිරිව තිබුණු පකිස්තානයට අනතුරු ඇඟවීමක්" කලේ ය යන්න ද මින් අදහස් වන්නේ? මෙහී ශෝකජනක භාවිතාව වන්නේ පාකිස්තානයේ වැඩවසම් බලවේග ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ "නිසඟ මිත්‍ර පාර්ශවයන්" බව ඉන් ගම්‍ය වීමයි.

ලිබරල්වාදයේ මූලික වටිනාකම් මොනවාද? නිදහස, සමානාත්මතාවය ආදිය? ලිබරල්වාදයේ විසංවාදය වනුයේ එය මූලධර්මවාදී ප්‍රහාරයන් හමුවේ තමාව ආරක්ෂාකර ගැනීමට අසමත් වීම ය. මූලධර්මවාදය යනු ප්‍රතිචාරයකි -ව්‍යාජ, ගුප්ත ප්‍රතිචාරයකි, ඇත්තෙන්ම ලිබරල්වාදයේ සැබෑ ගලනයට ප්‍රතිපක්ෂ එකකි, ඒ නිසා ය, ලිබරල්වාදය විසින් ම එය ප්‍රතිනිර්මාණය කරනු ලබන්නේ. වම ක්‍රියාකාරීත්වයක් හෝ ප්‍රතිපලයක් නොපෙන්වයි, ලිබරල්වාදය කෙමෙන් කෙමෙන් එය විසින් ම යටපත් කරනු ලබයි - එහි මූලික වටිනාකම් ආරක්ෂාකර ගැනීමට හැක්කේ නව්‍යකරණය කල වමකට පමණි. මේ මූලික උරුමයන් ආරක්ෂා කර ගැනීම සඳහා ලිබරල්වාදයට රැඩිකල් වමේ සහෝදරත්වය අවශ්‍ය ය. මූලධර්මවාදය පරාජය කිරීමට ඇති එක ම ක්‍රමය මෙයයි.

පැරිස් ඝාතනයන්ට ප්‍රතිචාර වශයෙන් අප සිතනවානම් සිතිය යුත්තේ සියල්ලට ඉඩ දෙන ලිබරල්වාදියෙකුගේ විජයග්‍රාහී ආත්මතෘප්තිය අතහැර දමන අරමුණෙන් ය, ලිබරල්වාදයේ සහ මූලධර්මවාදයේ ගැටුම ව්‍යාජ ගැටුමක් බවත්, එකිනෙකා මත රඳා පවතිමින් සහ අනෙකා නිර්මාණය කරමින් යන චක්‍රයක් බවත් වටහාගනිමින් ය. 1930 ගණන් වල මැක්ස් හෝකෙයිමර් ෆැසිස්ට්වාදය සහ ධනවාදය ගැන පැවසූ ප්‍රකාශය - ධනවාදය විවේචනය කිරීමට අවශ්‍යතාවයක් නැති අය ෆැසිස්ට්වාදය ගැන ද මුනිවත රැකිය යුතු ය - අද මූලධර්මවාදයට ද අදාල කරගත හැකි ය: ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය විවේචනය කිරීමට අවශ්‍යතාවයක් නැති අය ආගමික මූලධර්මවාදය ගැන ද මුනිවත රැකිය යුතු ය.
පරිවර්තනය - තාරක එරන්ද කල්දේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බේරේ වැව අද්දරින්
ඉහල අහසට නැගුනු
සංවර්ධනයේ පුරුෂ ලිංගය
බදාගන අඬනවා ඉකිබිඳ
කාලෙකට ඉස්සර
කන්‍යාභාවය සිඳගත්
කොළඹ අහස.
සිංහාසනෙන් බැස යන
මහරජු ගේ දුක්බර
විලාසය දැක.

සුරතාන්තයට පෙර මැලවුනු
ආසියාවේ ආඩම්බරය!
බලා සිටියා දුකින්
ඇදෙන විට දකුණු දිග්බාගෙට
කිරුල, කඩු කස්තාන ගිලිහුණ
රජු රැගත් දඬුමොණරය.

හාත් පස පැතිරුණු
නොහොඹිනා නිසංසල කම
ජයග්‍රහණයකැයි කියන්නේ කෙලෙස
පරාජිතයින් ගේ ලෙයින්
බේරේ වැව රතු වුනේ නැති කොට

රජු පැරදුනා තමයි
කලගුණ නොදත්,
බහුතරේ සුළුතරය ට
සුළුතරේ බහුතරය
අධෝභාගය පෑ නිසා
නොමිලේ ම

වළා කන්‍යා පටල
ඉරාගන අහස විනිවිද
ඉහල නැගි ලිඟු හකුලන
නෂ්ටකාමයේ කතිරෙන්
රජුන් පලවා හැර තෙපි
අහිමි කරගත්තේ කැමැත්තෙන්
සංවර්ධනයේ සුරතාන්තයයි
සුරතාන්තයේ ප්‍රමෝදයයි

"කිමද විප්ලවයකින් ඇති සරණය
නැතොත් පොදුවේ බෙදා රමණය "
'සාද්' ඇහුවා මතකද
(ප්‍රංශ වැසියන් ගෙන් නෙවෙයි.)
සංවර්ධනයට සින්න වුනු
ජෝන් ද සිල්වා රඟහලේ දී
තොපෙන් යටගිය දවසක.

හිතට එන දේ බිණින්න ට
ලියන්නට, සිතුවමට නගනට
නිදහසක් කුමකට ද තෙපි හට
සොරා ගෙන ඇති බැවින්
දැනටම
විප්ලවේ රතු පාට සිහිනය.

නිදි වදින විට පවා ඉඳ හිට
රජු බලා සිටී නම් නේද හොඳ?

ගිගුම් දෙන්නට බලාගන
පුපුරා පුපුරා සිටිය අහසට
කෝචෝක් සිනා පාමින්
ෆෙලිකන් කුරුල්ලෙකු වැසුවා
පිපෙන්නට පමාවන
නෙලුම් කුලුනේ
පොහොට්ටුව මත.

අශෝක හඳගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails